වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




හෙට ලොව අද දුටු නිමල මාධ්‍යය තාන්ත්‍රිකයා

හෙට ලොව අද දුටු නිමල මාධ්‍යය තාන්ත්‍රිකයා

සම්ප්‍රදාය මත සීරුවෙන් සිට ගනිමින් ගතානුගතිකත්වයට අභියෝග කළ අපේ කාලයේ ශූර විද්‍යුත් මාධ්‍ය කැරලිකරුවා පසුගියදා සදා කාලයටම සිය දෙනෙත් පියා ගත්තේය.

සැබැවින්ම නිමල් ලක්ෂපතිආරච්චි මෙතරම් ඉක්මණින් සිය ජීවන ගමන් මගෙන් සමුගෙන යතැයි කිසිවකුටත් නිකමට හෝ නොසිතෙන්නට ඇත. එහෙත් නොසිදු විය යුතු දෙයක් එසේ සිදු වූයේ දෛවයත්, ඉරණමත් ජීවිතය සමඟින් රඟන රැගුමක් පමණක් යන්න අපට පසක් කර දෙමිනි.

නිමල් ලක්ෂපතිආරච්චි මෙරට නුතන ගුවන් විදුලි කලාවේ පියා ලෙස ඇතැමුන් හඳුන්වති. අදහති. රූපවාහිනිය විසින් කිසිදු සමාවක් නොදී ආක්‍රමණය කරන ලදුව, නිවසේ කොහේ හෝ අඳුරු මුල්ලක දූවිල්ලෙන් බැටකමින් පිටස්තරයකු වී සිටි ගුවන් විදුලිය නැවතත් ගෙයි මැද සාලයේ කැබිනට්ටුව මතට කැඳවා ඒමේ ගෞරවය නිතැතින්ම හිමි විය යුත්තේ නිමල්ටය. ජ්. ර්. රේඩියෝ කලාව මෙරටට හඳුන්වා දෙමින් සිරස ගුවන් විදුලිය හරහා 90 දසකයේ මුල් භාගයේ ඔහු සිදු කළ විප්ලවය මෙරට රේඩියෝ මාධ්‍ය කලාවේ සැබෑම පෙරළියක් වූ බව නොරහසකි. මේ වෙනස හරහා බොහෝ දෙනකු නිමල් දුටුවේ ‘විශ්ව කර්මයකු’ ලෙසය. එහෙත් ඇතැමකුට ඔහු ත්‍රස්තවාදියකු විය. ඔවුන් එදා ‘සිරස’ හැඳින් වූයේ නිමල්ගේ පන්නිපිටියේ මොන්ටිසෝරිය නමිනි.

‘මම ගුවන් විදුලියට එන කාලයේ විකාශය වුණේ කෙටි හා මධ්‍යම තරංග. මේ ඔස්සේ එක තැන පල්වෙමින් තිබූ රේඩියෝව තාක්ෂණික දුර්වලකම් නිසාත්, ගුණාත්මක බවෙන් පිරිහීම නිසාත් ශ්‍රාවකයාට එපා වෙලයි තිබුණේ. 1990 මුල වෙන කොට අපේ රටේ ගුවන් විදුලිය විශාල අර්බුදයකට මුහුණ පා තිබුණා. විශේෂයෙන්ම රූපවාහිනිය නිසා. අසන්නා නැවත එකතු කර ගත හැකි රේඩියෝ කලාවක් බිහි කිරීමේ අභියෝගය මම බාර ගත්තේ ඔය වගේ පසුබිමක් උඩ. ඒ වෙන කොට ලෝකයේ තිබුණ නවතම රේඩියෝ තාක්ෂණයත්, දැක්මත් උපයෝගී කරගෙන ඊට හරි යන සූත්‍රයකට අපේ රේඩියෝව හදලා, කරකවලා තිබ්බා. අහක බලාගෙන හිටපු අපේ අසන්නෝ නැවත ඇවිත් ආදරයෙන් රේඩියෝව වැළැඳ ගත්තා. අද රේඩියෝවට, ටෙලිවිෂණය තර්ජනයක් නෙවේ.’

ඉකුත් මැයි 31 වැනිදා නිමල් ‘සරසවිය’ පුවත්පතට මා සමඟ කළ සංවාදයකදී ඔහු සිය මාධ්‍ය භාවිතය පිළිබඳ එසේ සඳහන් කළේය. එය ඔහුගේ අවසන් පුවත්පත් සාකච්ඡාව යැයි මම අනුමාන කරමි.

‘මචං උඹ ආර්ටිකල් එක හොඳට, රහට ලියලා තිබුණා. අපි පස්සේ හම්බ වෙමු. ඕනෑ උදව්වක් කියපන්.’

ලිපිය පළ වූ දිනට පසු දිනයේ මගේ ජංගම දුරකථනයට කතා කොට නිමල් එසේ පැවසුයේ තෘප්තිමත් හැඟීමකින් යුතුවය. ‘මචං’, ‘බං’ කියා ඔහු මට ආමන්ත්‍රණය කළ ද මා හැම විටම ඔහු ඇමතුවේ නිමල් අයියා කියාය. ඒ ඔහු මට වඩා වැඩිමහලු නිසාම නොව, කිසියම් ගෞරවනීය හැඟීමක් ඔහු කෙරෙහි මා සිතේ තිබූ බැවිනි.

නිමල් කොහොමටත් හොඳ මනුස්සයෙකි. කුහකයන්, අධමයන් මෙන්ම සෙප්පඩ විජ්ජාකරුවන්ගෙන් ගහන මේ විෂම කලා ලොවේ ඔහු සැබැවින්ම අනුනට සෙනෙහස දැක් වූ මිත්‍රශීලි මිනිසෙකි. ඔහු සිය ගෝල බාලයන්ට පවා ‘මචං’, ‘බං’, ‘බොලං’ කියා ඇමතුවේ ඒ මිත්‍රශිලී බව නිසාවෙනි.

සැබැවින්ම මා නිමල් අයියා හඳුනා ගතතේ මින් වසර විස්සකට පමණ පෙරය. එවකට මා ප්‍රවීණ පුවත්පත් කලාවේදී අර්නස්ට් වඩුගේ කර්තෘත්වය දැරූ ‘සුමියුරු’ පුවත්පතේ සේවය කරමින් සිටියෙමි. නිමල් දිනපතාම පාහේ සවස් යාමයේ ජාවත්තේ පිහිටි ‘රස’ කාර්යාලයට ගොඩ වදින්නේ ප්‍රධාන පිටු සැලසුම් ශිල්පියා ලෙස කටයුතුª කළ හේම ශ්‍රීී අමරසිංහ හමුවීමටය. ඒ ‘සිරස’ ගුවන් විදුලිය ආරම්භ කිරීමට පිඹුරුපත් සැකසෙමින් තිබූ අවධියයි. කෙසේ හෝ ‘සිරස’ ආරම්භ වීම නිමිති කොට ගෙන කොළඹ ‘ටාජ් සමුද්‍රා’ හෝටලයේ පැවැති සුහද හමුවකට නිමල් අයියාගේ ඇරැයුමෙන් මම ද සහභාගී වූ බව මට මතකය.

නිමල්ගේ මාධ්‍ය කලා දිවියේ මහ ගෙදර ගුවන් විදුලියයි. 1978 වසරේ ඔහු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවට එක්වන්නේ ක්‍රියාකාරී සහායකයකු ලෙසිනි. යූ. ආරියවිමල්, සුගතපාල ද සිල්වා, දයානන්ද ගුණවර්ධන වැනි ප්‍රවීණයන් ඇසුරේ සිය සැඟවුණු සහජ කුසලතාවන් වැඩි දියුණු කර ගත් නිමල් ගුවන් විදුලි මාධ්‍යයේ බහුවිධ චරිතයක් බවට පත්වන්නේ නිරායාසයෙනි.

සහන නිවේදකයකු, ප්‍රවෘත්ති නිවේදකයකු, ගුවන් විදුලි නාට්‍ය ශිල්පියකු වශයෙන් මෙන්ම වැඩ සටහන් නිෂ්පාදකවරයකු වශයෙන් ද නිමල් සිය අපූර්ව ප්‍රතිභාව විදහා දැක් වූවේ කිසිවකුට දෙවෙනි නොවෙමිනි.

එකල ගුවන් විදුියේ අතිශය ජනප්‍රිය ‘ගජමුතු’ නාටකයේ ‘ගලබොඩ අප්පු’ චරිතයට පණ දුන්නේ නිමල්ය. ‘වජිරා’, ‘මොනරතැන්න’ ආදී ගුවන් විදුලි නාට්‍යය කිහිපයකටම සිය ගැඹුරු හඬින් ජීවය දුන් ඔහු ‘අම්බිගා ගීතයෙන් ගීතය’ වැඩ සටහන ද පසු කලෙක අපූරුවට ඉදිරිපත් කළේය.

නිමල් අයියා මගේ නිවේදන කලාවට අලුත් මාවතක් සකසා දුන් ගුරුවරයෙක්. ඔහු සතුව තිබූ හැකියාව පුදුමාකාරයි. ඔහුට සම කරන්න පුළුවන් ඉදිරි දැක්මක්, මාධ්‍යය භාවිතයක් වෙනත් මාධ්‍යවේදියකු සතුව තිබුණා කියලා මම හිතන්නේ නැහැ. ඔහුගේ කොමර්ෂල් වොයිස් එක ඉතාමත් ප්‍රබලයි. මේ මොහොතේ පවා ඔහුගේ වෙළෙඳ දැන්විම් ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනවා. රූපවාහිනියෙන් විකාශය වෙනවා. ඇත්තටම නිමල් අයියා මගේ ආදරණීය ගුරුවරයාගේ අකල් වියෝව අපට වගේම මේ රටේ විද්‍යුත් මාධ්‍ය කලාවටත් කිසිදා පිරවිය නොහැකි පාඩුවක්.

නිමල්ගේ ගෝල පරපුරේ ඉදිරියෙන්ම සිටිනා සිරස ගුවන් විදුලිියේ මහජන සම්භන්ධතා අධ්‍යක්ෂ හා ජනප්‍රිය නිවේදක ප්‍රියන්ත විජේසිංහ මේ ශෝකාකූල මොහොතේ මා සමඟ පැවසුවේ එවැන්නකි. ‘සිරස’ ගුවන් විදුලිය හරහා නිමල් විසින් සිදු කරන ලද්දේ මෙරට රේඩියෝ කලාව උඩු යටිකුරු කිරිම පමණක්ම නොව ගෞරවාන්විත වෘත්තිකයන් පිරිසක් බිහි කිරිමකි. ඔහු වැඩ සටහන් නිෂ්පාදනය කළා සේම ගුවන් විදුලි ක්ෂේත්‍රයේ නව තනතුරු හා ඊට සරිලන වෘත්තීය වටිනාකම් ද ඇති කළේය.

කැලුම් ශ්‍රීමාල්, කිංස්ලි රත්නායක, ප්‍රියන්ත විජේසිංහ, චාමික රොෂාන්, තමාලි පීරිස්, නිශාන්ති දිල්රුක්ෂි, සුරංගි ද අල්විස්, තනුජා ජයවර්ධන, නාරද බක්මීවැව ඇතුළු නව පරපුරේ ගුවන් විදුලි, රූපවාහිනී නිවේදක, නිවේදිකාවන් රටට හඳුන්වා දී ඔවුන් ජාතික තලයේ සංනිවේදකයන් බවට පත් කිරීමේ ගෞරවය මා දන්නා තරමින් හිමි විය යුත්තේ නිමල්ටය. නිමල්ගේ අතිශය කිට්ටුවන්ත ගමන් සගයකු වූ කැලුම් ශ්‍රීමාල් විටෙක නිමල්ව හඳුන්වා දුන්නේ ‘අපේ කාලයේ මාධ්‍ය තාන්ත්‍රිකයාණෝ’ යනුවෙනි.

ක්‍රියාකාරී සහායකයකු ලෙසින් ගුවන් විදුලියට පැමිණි නිමල් පසු කලෙක එහි අධ්‍යක්ෂ ජෙනරාල් ධූරයට ද පත් විය. එදිනම ඔහු ජාතික රූපවාහිනී සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් ධූරයේ ද වැඩ භාර ගත්තේය. එකම දිනක මෙම ආයතන දෙකේ එකී තනතුරට පත් වූ එකම නිලධාරියා ඔහු පමණකැයි මම විශ්වාස කරමි.

නායකත්වය, ප්‍රධානත්වය සහ මුල් පුටුව නිමල් ගේ වාත්තීය ජීවිතය පුරා කලින් කල ඔහුට හිමි විය. ඒ ඔහු සතු වෘත්තීය දැනුමත්, නිර්මාණශීලීභාවයත්, අප්‍රතිහත ධෛර්යත් නිසාවෙනැයි මට සිතේ. සීමාසහිත කැපිටල් මහරාජා ආයතනයේ සහකාර වැඩ සටහන් කලමණාකරු ලෙස එම ආයතනයට සම්බන්ධ වූ නිමල් අවසානයේ එහි සමුහ අධ්‍යක්ෂ තනතුරට ද පත් විය. එය එම ආයතනයේ සභාපති තනතුරට පමණක් දෙවැනි වූවකි.

‘සිරස’ යන්නෙහි සාමාන්‍ය අරුත ‘හිස’ වුවත් නිමල් සිරස ගුවන් විදුලියට එම නම තබන ලද්දේ ඊට වඩා පුළුල් අරුතක් ද කැටි කරය. නිමල්ට අනුව සිරස යනු ‘සියලු රස සමගින්’ යන වැකියේ කෙටි යෙදුමය. ඔහුගේ නිර්මාණශීලිත්වය කියා පෑමට එකී නම් තැබීම පමණක් වුව ද ප්‍රමාණවත් යැයි මට සිතේ.

‘සිරස’ ගුවන් විදුලිය සමගින් මෙරටට බිහි වන්නේ අලුත් රේඩියෝ කලාවක් පමණක්ම නොවේ. එය නව විද්‍යුත් මාධ්‍ය සංනිවේදන කලාවක හා සංස්කෘතියක ද ඇරඹුමකි. සාම්ප්‍රදායික ගුවන් විදුලියේ හැඩතල සහමුලින්ම වෙනස් කළ ‘සිරස’ බාල, තරුණ, මහලු කොයි කාගේත් ගුවන් විදුලිය සේ විරාජමාන වන්නේ මුළු මහත් ශ්‍රාවක ජනතාවගේ ප්‍රසාදය දිනා ගනිමිනි. සැබැවින්ම කොළඹ තිබූ රේඩියෝව, ගම් දනව්වලට රැගෙන ගියේ නිමල්ගේ මේ අලුත් කලාවයි.

එම්. ටී. වී. ආයතනය මගින් 1998 වසරේ ජුනි 10 වැනිදා ‘සිරස’ රූපවාහිනිය අරඹන්නේ මෙරට රූපවාහිනී මාධ්‍ය ක්ෂේත්‍රයේ ද විශාල පෙරළියක් සිදු කරමිනි. ඒ කාර්ය උදෙසා ද පුරෝගාමී මෙහෙවර සිදු කරන ලද්දේ නිමල්ය. මුළුමනින්ම සිංහල රූපවාහිනී විකාශනයක් ලෙසින් ‘සිරස’ ඇසිදිසි මාධ්‍ය ලෝකයේ දිනෙන් දින ඉහළටම ගියේය. මාධ්‍ය සැලසුම් සෑදීමේ රුසියකු වූ නිමල් සෙසු මාධ්‍ය ආයතනවලට සැබෑම අභියෝගයක් වූයේය. එළිමහන් ප්‍රසංග වේදිකාවේ අත්දැකීම් සජීවීව නිවසේ ආලින්දයට ගෙන යමින් ඔහු ‘අසුරු සැනින්’ වැඩ සටහන හරහා අලුත්ම කලාවක් රටට හඳුන්වා දුන්නේය. දැයේ දූ දරුවන්ගේ කුසලතා ඔප් නැංවීමට ඔහු ‘පුංචි පැංචි’ වැඩ සටහන නිර්මාණය කළේය. ශ්‍රාවකයා නොඑසේ නම් ප්‍රේක්ෂකයා දුරකථන මගින් සම්බන්ධ කර ගනිමින් වඩාත් විචිත්‍රවත් ලෙස වැඩ සටහන් ඉදිරිපත් කිරීමේ ප්‍රවණතාව ඇති වූයේ ද නිමල් ගේ සංකල්පයකට අනුවය.

‘සුදර්ශිය’ නිමල් සිය සහෘද හිතවතුන් සමඟ නිතර ගැවසුන තැනකි. සුදර්ශියේ නුග සෙවණ යට හිත මිතුරන් පිරිවරා බොහෝ සැඳෑ යාමයන් හි ඔහු ජීවිතය පිළිබඳ බොහෝ දැ කතා කළේය. තර්ක, විතර්ක කළේය. කොළඹ සංස්කෘතික ආයතනය හෙවත් සුදර්ශියේ ලේකම් හා සභාපති ධූරයන් ද ඉසිලූ නිමල් මාධ්‍ය ක්ෂේතයේ ‘දැවැන්ත පොරක්’ වී සිටියදී පවා ඉසිඹුවක් ලද මොහොතක සුඛෝපභෝගි රියෙන් පැමිණ ටයි පටිය ගලවා පසෙකින් තබා සුපුරුදු නුග සෙවණේ මොහොතක් ගිමන් හරින්නට තරම් සරල, සැහැල්ලු මිනිසකු විය.

ඉකුත් 23 වැනිදා ‘හිරු’ ටී. වී. ඇරඹුණේ මෙරට ප්‍රථම ඩිජිටල් රූපවාහිනී නාලිකාව ලෙසිනි. එහි වැඩ සටහන් අධ්‍යක්ෂවරයා වූයේ නිමල්ය. පෙර මා සඳහන් කළ සම්මුඛ සාකච්ඡාව ඔහු සමඟ පැවැත්වූයේ මේ නවතම කාර්ය භාරය මුල් කරගෙනය. ඇනලොග් යුගය පසු කරමින් ඩිජිටල්කරණය කරා ලාංකේය රූපවාහිනී මාධ්‍යය රැගෙන යාමේ ගෞරවය ද හිමි වන්නේ නිමල්ටමය. මේ සාකච්ඡාවේදී ‘ඩිජිටල්’ යන්න සරලව කෙටියෙන් විග්‍රහ කරන ලෙස මම ඔහුගෙන් ඉල්ලා සිටියෙමි.

‘ඇනලොග් කියන්නේ හරියට කොළඹ ඉඳන් අනුරාධපුරයට කේක් ගෙඩියක් යවනවා වගේ වැඩක්. මේ ක්‍රමයේදී කේක් එක තැළිලා, පොඩි වෙලා, පුස්කාලා, මේ ඕනෑම දෙයක් වෙලා තියෙන්න පුළුවන්. නමුත් ඩිජිටල් ක්‍රමයේදී එහෙම වෙන්නේ නෑ. මේ ක්‍රමයේදී අපි කරන්නේ කේක් එක ප්‍රවාහනය කරනවා වෙනුවට අමු ද්‍රව්‍යයත්, රෙසිපි එකත් ගෙදරටම යවනවා වගේ වැඩක්. දැන් ඒ කේක් එක හදන්නේ අපිමයි.’

ඒ නිමල් අයියා මට දුන් අපුූරු, සරල පිළිතුරයි. ‘ඩිජිටල්’ කියන වචනය රූපවාහිනිය පැත්තෙන් හරියටම තේරෙන භාෂාවෙන් කියලා දුන්නේ නිමල් ලක්ෂපතිආරච්චි විතරයි.’ අප ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න නිමල්ගේ විග්‍රහය පිළිබඳ වරෙක ප්‍රසාද පූර්වකව මා හා පැවසුවේ එලෙසිනි.

මේ අපූර්ව කැරලිකරුවා ජීවන ගමන් මගට විරාමය තැබුවේ ජූලි 20 වැනි දින උදෑසන කොළඹ පෞද්ගලික රෝහලකදීය. වෛද්‍ය වාර්තාවන්ට අනුව ඒ හදිසි හෘර්දයාබාධයකිනි. ප්‍රංශයේ සංචාරයකින් පසුව ඔහු යළිත් මෙරටට පැමිණියේ ඊට පෙර දිනය. 1954 නොවැම්බර් 22 ඉපිද අවුරුදු පනස් අටක් ආයු වළඳා ඔහු අපෙන් සමු ගත්තේ තවත් සියවසක් පුරා පවතින මාධ්‍ය සංස්කෘතියක් මෙරට බිහි කරමිනි. මාධ්‍ය ලෝකයේ මේ විප්ලවකාරී පෙරගමන් කරුවාට නිවන්සුව අත්වේවායි අප ප්‍රාර්ථනා කරන්නෙමු.