වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




කලාවේ දිගු ගමනකට සැරසෙන චතුරිකා

කලාවේ දිගු ගමනකට සැරසෙන චතුරිකා

ඇගේ නම චතුරිකා. නර්තනය, රංගනය වගේම නිරූපණ ක්ෂේත්‍රයටත් ඈ උපන් හපනියක්. ගම්පහ බණ්ඩාරනායක පරාක්‍රම විද්‍යාලයෙන් බිහි කළ මේ රුවැත්තිය සැබෑම වාසනාවන්තියක්. පිල් විදහා රඟන මොනරියකගේ මනරම් නැටුම් පාන ඈ රංගනයට දක්වන ලැදියාව වචනයට පෙරළන්නට අමාරුයි.

පුංචිම කාලේ ඉඳන් ඇයට උවමනා වෙලා තිබුණේ නර්තන ශිල්පිනියක් වෙන්න. කණ්ණාඩිය ඉදිරිපස කාටත් නොතේරෙන සේ පෑ රැගුම් ඈ ප්‍රසිද්ධියට පත් කරන්නේ සිරස නාලිකාවේ නේත්‍රා, දෙරණ නාලිකාවේ සිටි ඔෆ් ඩාන්ස්, ස්වර්ණවාහිනියේ මෙගා ස්ටාර් හරහා.

මේ දවස්වල ඈ රිදී තිරයේත් අපට හමු වෙනවා. ඒ සුපර් සික්ස් චිත්‍රපටයේ නර්තන ශිල්පිනියක් විදියට. නර්තනයෙන් එහාට ගියාම චතුරිකා දේදුන්නෙන් එහා, අළුපාට හීන වැහි පබළු සේල වගේ ටෙලි නාට්‍යවලත් අපට හුරුයි. පුරුදුයි. ටෙලි නාට්‍ය චිත්‍රපටය පමණක් නොවෙයි වේදිකාවේදී ඈ අප හමු වන්නේ ටෙනිසන් කුරේගේ ධ් චථ ඉපඪ ඹ්චදඬච හරහා.

විදේශීය නර්තන ප්‍රසංග නිසාම කාර්යබහුල චතුරිකා, අලුත්ම රංග ක්‍රම පිළිබඳ ගවේශණය කරන්නියක ලෙසටත් ප්‍රකටයි.

රංගනයෙන්, නර්තනයෙන් වගේම නිරූපණ ක්ෂේත්‍රයේ දිගුª ගමනක් අරඹන්නට සිහින දකින ඇගේ හිත ලොකු බලාපොරොත්තු ගොන්නකින් පිරිල.

කලාවේ ඕනෑම අතකින් ඉදිරියට යමින් ප්‍රේක්ෂක සිත් සනසන්නට පෙරුම් පුරන ඈට ඒ ගමන යන්නට ලැබේවා කියල අපිත් ප්‍රාර්ථනා කරන්නේ ඈ සැබෑ දක්ෂියෙක් නිසාමයි.

- චන්ද්‍රකාන්ති රත්නායක


වේදිකාවෙන් උපන් පියසීලි හේමලතා සුරවීර

ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත. අපිට හුරු පුරුදු මේ කියමන වෙනස් කළ ඇය වේදිකාව තිඹිරි ගෙය කර ගනිමින් සිනමාව, පුංචි තිරය තුළ තම හැකියාව විදහා දැක්වූවා පමණක් නොව ලියන්න, කියන්න, නටන්නට, ගයන්නට ද උපන් හපන්කම්වලින් හෙබි අපූරු ශිල්පිනියක්.

ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානයක් දිනාගත් පියසීලි හේමලතා සුරවීරයි.

බලාපොරොත්තු අපිව ජීවත් කරවනවා. එක බලාපොරොත්තුවක් නැති වෙලා යනකොට තවත් එකක් එතනට එනවා. මටත් හීනයක් තිබුණා. ඒ හීනේ හැබෑවක් කර ගන්න ගොඩාක් දුක් වින්දා.

කවදාවත් මම ඉස්සරහට තිබ්බ අඩිය පස්සට ගත්තේ නෑ. මේ ඇය ඇගේ ගමන පැමිණි අයුරුයි. සැබවින්ම ඇගේ ධෛර්ය, ආත්ම විශ්වාසය ඇගේ ගමනට ආශිර්වාදයක් වූවාය.

වෙලගෙදර මහ විදුහල් වේදිකාව ඇගේ ආරම්භයයි. එතනින් පටන් ගත් ඈ වේදිකාව, සුබ සහ යස, ස්ත්‍රී, හැංගි මුත්තෝ හැංගියෝ, පැංචා, වීදුරු බිත්ති, මැක්බත්, ගිමන් හල, කඳුළු දියේ මල් පිපිලා යන වේදිකා නාට්‍යවලටද, දෙවෙනි අම්මා, ලක් කුටුම්බය, සසර දුටිමි, වියපත් අඩවිය, ගිරි දෙරණ, තට්ටු ගෙවල්, සංසාරේ පිය සටහන් යන ටෙලි නාට්‍යවලට ද, භව දුක, භව තරණය, ක්ෂේම භූමි යන සිනමා නිර්මාණවලට ද රංගනයෙන් දායක විය.

මේ සියලු දෙයින් ලත් අත්දැකීම් මත ඇය 2011 ඔක්තෝබර් මස ‘රඟ සොබා’ නමින් නාරාහේන්පිට චිත්‍රාලේන් පාසලේ ප්‍රසංගයක් පැවැත් වූවාය. අද ඇය තම තනිකම, හුදෙකලාව මකා ගන්නේ කවි නිර්මාණයන්, සුදු පිරියම් කළ බිත්තියේ අදින සිතුවම්වලිනි.

කලා ලොව ඇගේ මුළු ජීවිතයමය. ආදරණීය මවගේ චරිතයට ඇය තාමත් ආදරය කරයි. ඉතින් පියසීලි හේමලතා සුරවීර තම ජීවිතයේ ඉදිරිය කැප කරන්නෙත් රංගනයටමයි.


සරසවිය හරහා ආ රෝසි

ඇය රෝසි ප්‍රනාන්දුයි. ජය අපටයි සිනමා නිර්මාණයට නළු නිළියන් අවශ්‍යයි යනුවෙන් සරස විය පුවත්පතේ පළ වූ දැන්වීමකට ප්‍රතිචාර දැක්වීමේ ප්‍රතිඵලයක් ලෙස ඇය සිනමාවට එක් වූවාය.

බම්බලපිටියේ ඉපිද බම්බලපිටිය ශාන්ත මරියා විදුහලෙන් සිප් සතර හැදෑරූ ඇයට පාසල් වේදිකාව නම් නුහුරු නුපුරුදු තැනක් නොවීය.

එයින් ලත් අත්දැකීම්, ආභාෂය මත මවගේ විරෝධය මැදම චිත්‍රපට නළු සේන ප්‍රේමබන්දු (ගායක සමන් පුෂ්පවර්ණගේ පියා) බිරිය රාණි ප්‍රේමබන්දු, කඳපොල කුමාරතුංග මහතාට හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙසින් එතුමන්ගේ හිම රාත්‍රිය ටෙලි නාට්‍යයට දායක විය.

පසුව පිංකඳ සිමෝනා, ඉක්බිති, දූ දරුවෝ, මනාප ප්‍රේමය, සඳුන්ගිර ඇතුළු ටෙලි නාට්‍ය 25 කට පමණ රංගනයෙන් දායක වී ඇත. දැනට කෝපි කඩේ ටෙලි නාට්‍යයට තම රංගනය මුසු කරයි.

චෙරියෝ ඩොක්ටර්, ජය කොතැනද, සොමි බෝයි, සිහින දෙව්දුව, ටාසන් 2, අංගුලිමාල, ගුඩ් බායි ටෝකියෝ, මවුබිමේ වීරයෝ, කිව්වද නහී නොකීවද නහී යන සිනමා නිර්මාණයන්ගෙන් ද, සොල්දර ගෙදර, ඇමතිකම, ඉසුරු සොයා ඇතුළු වේදිකා නාට්‍ය 15 ක පමණ ඇය රඟපෑවාය.

වසර 30 ක් පුරාවට ඇගේ ගමනට ශක්තියක් වූ ඇගේ ආදරණීය දෙමාපියන්, සුනිල් සෝම පීරිස්, සුරේෂ් කුමාරසිංහයන්, එරංග සේනාරත්නයන් අද ද ඇය සිහිපත් කරන්නේ සැබෑම කෘතවේදිත්වයකිනි.

අපේ වැඩ වෙඩි වගේ, සිනමා නිර්මාණ තුළින් ඉදිරියේදී ඇය ඔබ හමුවට ඒමට නියමිතය.