|
||||||||||
සුර කුමරියන් ඔහු එනතුරු බලා සිටී
අහස් කුසෙන් ඇද හැළෙන වැහි බින්දුවලටත් වඩා වැඩි වේගයෙන් ජනතා දෑස්වලින් කඳුළු බිඳු රූරා වැටෙයි. මේ මහා ජන ගඟ ඇදී යන්නේ පරම්හාන්ස් සොහොන් බිමටයි. එකිනෙකාගේ දෑත් මත රැඳි කුසුමන් වීදුරු දෙන මත පතිත වී බිම වැටෙයි. මල් පෙති එක් වී ඔහු යන සුර ලොවට පලසක් තනයි. දෙව්ලොව දෙව්ලියන් නොසන්සුන්ය. බොලිවුඩයේ සිහින කුමරු පැමිණෙන තුරු ඔවුහු මඟ බලා සිටිති. ඔවුන් භාරත සිනමාවේ පළමු සුපිරි තරුව, රාජේශ් ඛන්නා ගැන කොතෙකුත් කතා අසා ඇත. ඔහුගේ වාහනයට පවා හාදුවක් දෙන්න, ලෙයින් ලියුම් ලියන්න, ක්ලාන්ත වන තුරුම ඔහුගේ රූගත කිරීම් නරඹන්නට පොරකෑ යෞවනියන්ගේ ගණන අසීමිතය. අප්‍රමාණය. ඔහුට පෙම් බැඳි ළාබාලම දැරිය හත් හැවිරිදිය. රාජේශ්ගේ පෙම දිනා ගැනීම දෙව් ලියකට ද පහසු නොවේ.
මෙතරම් උමතුවක් ඇති කළ තරුවක්, ජීවිතයේ තව බොහෝ සැතපුම් කණු පසු කරන්නට තිබියදීම දෙනෙත් පියා ගැනීම, සිය වසක ආයු කාලයක් ඇති බොලිවුඩයේ කඳුළින්ම ලියැවුණු පුවතකි. මේ අවාසනාවන්ත, අකල් අවසානයට මුල පිරුණේ මීට වසර එකහමාරකට පෙරදීය. රාජේශ් ඛන්නා පිළිකා රෝගයට ගොදුරු වී ඇති බව හඳුනා ගත්තේය. ඒ වන විට අක්ෂේ කුමාර්ගේ (අකීගේ) පියා ද පිළිකා රෝගයෙන් මිය ගොස් වැඩි කාලයක් නැත. අකී, පුතකු මෙන් මාමණ්ඩියගේ සුවය පතා ක්‍රියා කළේය. ඔහුගේ සිත සතුටින් තැබීමට හැකි සෑම උපක්‍රමයක්ම යෙදුවේය. දියණිය, ට්වින්කල් ඛන්නා පියා අසළින්ම සිටියාය. පසුගිය දෙසැම්බර් 29 වැනිදා ගොවේහිදී රාජේශ්ගේ උපන් දිනය පවුලේ සියල්ලන්ගේම සහභාගිත්වයෙන් ජයටම පැවැත්විණි. මේ කාලයේදී ඔහුට සෙවණැල්ලක් වෙමින් පසුපස සිටි කාන්තා චරිත දෙකකි. ඒ ඔහුගේ පළමු පෙම්වතිය වූ අන්ජු මහේන්ද්‍ර සහ බිරිය ඩිම්පල් කපාඩියායි. දින විස්සකට පෙර රාජේශ්ට තමන්ගේ ආයු කාලය අවසන් බව දැනුණි.
තිරයේ සුපිරි වීරයන්, ළැගුම් ගන්නේ ජනතා හදවතේය. ඒ නිසා ඔවුන් කිසිදා මිය යන්නේ නැත. මේ අමරණීය කතා නායකයා උපත ලැබුවේ අම්රිත්සාර්හී 1942 දෙසැම්බර් 29 වැනි දිනයි. ඒ රාජේශ් ඛන්නා නමින් නම් නොවෙයි. ජතින් අරෝරා නමිනි. හින්දු රජ රුහිරයකට උරුමකම් කී ඔහුට මාපිය සෙනෙහස අහිමි වුව ද, ලේ නෑයන් වූ චුන්නි ලාල් ඛන්නා හා ලීලා දේවි මවුපියෝ වූහ. ඔහුට ‘නළු පිස්සුව’ වැළැඳුණේ පාසල් කාලයේදීයි. ඔහු මෙන්ම නළු උමතුව වැළැඳී ක්ෂේත්‍රයට පිවිසි ජිතේන්ද්‍ර ද (රවි කපූර්) අකුරු කළේ සාන්ත සෙබස්තියන් උසස් පාසලේ එකම පන්තියේය. සිනමාවට පිවිසෙන්න ජතින්ගේ තිබූ උනන්දුව දුටු බාප්පා ඔහුගේ නම රාජේශ් ලෙස වෙනස් කළේය. රාජේශ්ට සිනමාවට පිවිසීමට පාර කැපුණේ 1965 දී ෆිල්ම් ෆෙයාර් සඟරාවෙන් පැවැත් වූ ‘ටැලන්ට් හන්ට්’ තරගයෙන් ජය ලැබුණු පසුවයි. ‘ආක්රි කාත්’ (1966) ඔහු රැඟූ පළමු සිනමා පටයයි. තිරයට එක්වුණු අලුත්ම කඩවසම් රූපකාය යොවුන් සිත් පමණක් නොව මහලු සිත් ද උමතු කළේය. බිගුවන් දෑසින් පානා ඉඟි බිඟි, ප්‍රේමණීය නර්තන රිද්මය, කොණ්ඩා, ඇඳුම් විලාසිතා, පරම පවිත්‍ර අහිංසක වත කමල භාරත සිනමාවට ආශ්චර්යයක් උදා කළේ, අලුත් ඉරක් පෑයුවා සේය.
‘බන්ධන්’ දෙදෙනා අතර හත් වසරක බැඳීමක් ගොඩ නඟන්නට සමත් විය. ඇය රාජේශ්ට වඩා සිවු වසරක් බාල වූවාය. රාජේශ්ගෙන් වෙන් වූ ඇය ගැරි සෝබර්ස් සමඟ විවාහ ගිවිස ගත්තාය. එහෙත් අන්ජු අදටත් වඩාත් ප්‍රසිද්ධ රාජේශ් ඛන්නාගේ කුලුඳුල් පෙම්වතිය ලෙසයි. රාජේශ්, අන්ජුට පෙමින් බැඳී සිටියදී, අන්ජුගේ අසල් නිවෙසේ පදිංචි පාසල් යන වයසේ දැරියක් ඔහුට උමතු වී සිටියාය. ඇය ඔහුගේ ජීවිතයට පසුකාලීනව සම්බන්ධ වූ ටීනා මුනිම්ය. අන්ජු, රාජේශ් වෙන් වූ පසු දාහත් වසරක් යනතුරුම එකිනෙකා සමඟ කතාබස්කර නැත. වසර පහළොවක් බාල ඩිම්පල් කපාඩියා රාජේශ්ගේ ඊළඟ පෙම්වතිය වූවාය. සොළොස් හැවිරිදි ඩිම්පල් සිනමාවට පා තැබුවා පමණි. ඇය කුලුඳුලේ රැඟූ බොබී (1973) සිනමා පටය තිරගත වීමට මාස හයක් තිබියදී රාජේශ්, ඩිම්පල් විවාහකර ගත්තේය. ට්වින්කල් (1974) හා රින්කි (1977) ට මාපියන්වූහ. ඇය රාජේශ්ගේ ඉල්ලීමට රඟපෑමෙන් ඈත් වූවාය. ටීනා මුනිම්, රාජේශ්ගේ සිත සොරා ගත් පසු ඩිම්පල් තවදුරටත් තුන්කොන් ප්‍රේමයක කොටස්කාරියක නොවීමට වගබලා ගත්තාය. එහෙත් ඒ නීතියෙන් වෙන් නොවිමිනි.
ඔහුගේ ජයග්‍රහනයට එය විශාල පිටුබලයක් විය. රාජේශ් 1992 – 1996 දක්වා, ඉන්දියානු ජාතික කොංග්‍රසය නියෝජනය කරමින් නවදිල්ලියෙන් ලෝක් සභාවට තේරුණේය. ඔහු ‘ජයි ශිව් ෂන්කර්’ සිනමා පටය 1990 දී නිෂ්පාදනය කරද්දී ද ඇය සහය දුන්නාය. අවසානයේදී ඔහු රෝගී වූ දා සිටම මියෙන තුරුම ඔහුගේ ජීවිතයට අත්වැලක් වූවාය. එහෙත් මේ විවාහය දෙදරවීමට මුල් වූ, ඩිම්පල්ගේම වයසේ පසුවන ටීනා මුනිම් නම් සුපිරි නළු පෙම්වතා, රාජේශ් ඛන්නාට සැබෑවටම ආදරය කර නැති පාටය. 1981 – 1987 ක කාලයක පැවැති දෙදෙනාගේ ප්‍රේම අන්දරයට නැවතීමේ තිත තැබුණු පසු ඇය කියා සිටියේ, ‘රාජේශ් ආදරය කරන්නේ එයාට විතරයි’ කියායි. ටීනා ගෙනා විවාහ යෝජනාව රාජේශ් ප්‍රතික්ෂේප කිරීම දෙදෙනාගේ වෙන්වීමට මුල පුරා තිබේ. පසුව ඇය අනිල් අම්බානි නම් ධනවත් ව්‍යාපාරිකයා හා විවාහ වූවාය. රාජේශ්ගේ විවාහය දුක, සතුට මැද දෝලනය වෙද්දී ඔහු සමඟ රඟපෑ නිළියන්ගේ සෙනෙහස නම් අදටත් නොවෙනස් ලෙස පවතී. මුම්ටාස්, හේමා මාලිනී, ආශා පරේක්, ෂර්මිලා තාගෝර්, ෂබානා ආස්මි ඒ අතරින් ප්‍රධානයි. මේ අතරිනුත් මුම්ටාස් සුවිශේෂ වන්නේ එක දිගට දෙදෙනා තිරයේ රජ කළ නිසයි.
දැන් ලන්ඩනයේ ජීවත්වන මුම්ටාස්, රාජේශ් ඛන්නා මිය ගිය පුවත අසා හැඬූ කඳුළින් පසු වන්නීය. ‘එක් දෙයක් ගැන සතුටුයි. මට ඔහු පසුගිය මාසයේදී මුණ ගැසුණා. අපි දෙන්නාම පිළිකා මාරයා සමඟ සටන් කළ හැටි ගැන කතා කළා. ඔහු කිව්වා මට දැන් කෑමට කැමැත්තක් නැහැ කියලා. මං විහිළුවට කෑම වර්ග රාශියක් ඇනවුම් කළා. ඔහුට ඒක දැකලා හරිම හිනා. ‘රොට්’ චිත්‍රපටිය රූගත කරද්දී රාජේශ්ට හිම වැටෙන හීතලේ මාව උස්සගෙන සතියක් විතර දර්ශනවලට පෙනී සිටීමට සිදු වුණා. ඔහු අපෝ කිලෝ සීයක බරක් උස්සාගෙන යන්න වුණානෙ කියලා විහිළු කළා.’ ඇය මතකය අවදි කරන්නීය.ජ්‍යෙෂ්ඨ ජනකාන්ත නිළි වෛජයන්තිමාලා, ට්ව්ටර් වෙබ් අඩවියට රාජේශ්ගේ මරණය ගැන ශෝකය ප්‍රකාශ කළේ ඔහු සමඟ රඟපෑමට නොලැබීම මගේ අවාසනාවක් කියායි.
රාජේශ් ඛන්නා, රාජ් කපූර් නම් සිනමාවේ දැවැන්තයාගේ චරිතය පාදක කරගත් ‘ආනන්ද්’ චරිතයට බෙහෙවින් ඇලුම් කළේය. ඔහුට වාසනාව ගෙනා බොහෝ සිනමාපට ඇරැඹී ඇත්තේ ඉංග්‍රීසි ‘ඒ’ අකුරිනි. ‘ආක්රි කාත්’ ඔහුගේ මුල්ම සිනමාපටයයි. ආරාධනා, අමර් ප්‍රේම්, ආන් මිලෝ සජ්නා, ආනන්ද් ආප් කි කසම්, අහුරෝද්, අව්තාර්, ඇරැඹෙන්නේ ‘ඒ’ අකුරිනි. හැත්තෑව දශකය උදා වූයේ රාජේශ්ගේ අංක එකේ කිරුළ අමිතාබ් බච්චන්ට හිමි වෙමිනි. එහෙත් දෙදෙනාගෙන් කිසිවකුටත් කිසිදා කිරුළ අහිමි නැති බව දන්නා රාජේශ් සහ අමිතාබ් සැබෑ ජීවිතයේදීත් සැබෑවටම මිතුරෝ වූහ. අමිතාබ් සිය සිනමා සගයාගේ අවසන් ගමනට පවා පුතු අභිෂේක් සමඟ සහභාගි වූයේ ඒ නිසයි. |
||||||||||