වර්ෂ 2012 ක්වූ ජුලි 19 වැනිදා බ්‍රහස්පතින්දා




එන්න ටෙනී ගේ සිහින සේයා හැඩ බලන්න

එන්න ටෙනී ගේ සිහින සේයා හැඩ බලන්න

ඔහු අපේ සරසවියේ ප්‍රධාන කැමරා ශිල්පියාය. නම ටෙනිසන් එදිරිසිංහය. ටෙනිසන් යනු සරසවිය සගයන් මැද නිතර මාතෘකාවක් වන හිතවතෙකි.

එහෙත් මේ දින වල ටෙනිසන් එදිරිසිංහ ගැන මේ රට තොට මාතෘකාවක් ව ඇත්තේ ඔහු මුල් වරට සිය ඡායාරූප එකතුවක් පවත්වන බැවිනි.වසර පහලොවකට ආසන්න කාලයක් සරසවිය ඡායාරූප ශිල්පියා ලෙස ටෙනිසන් ගේ ඇසට හසුවූ කලාකරුවන් රැසකි.එය සංඛ්‍යාවෙන් තුන් සියය ඉක්මවා සිටී.

ඡායාරූප වශයෙන් ගත් කළ නම් එය ලක්ෂය ඉක්මවනු ඇත.මෙවර ඡායාරූප එකතුවට තෝරා ගැනෙනුයේ එයින් අතලොස්සකි.මේ ඡායාරූප එකතුවට දමා ඇති නම සිහින සේයා ය.ටෙනී ගේ සිහිනය සැබෑ කරලන්නට මේ දින වල සරසවිය ඇත්තන් ද හවුල් ව ඇත්තේ එය ගෙදර වැඩක් බැවිනි.

ටෙනිසන් යැයි කිව්වාට අපේ ටෙනිසන්ගේ නියම නම ටෙනිසන් ම නොවේ. එය අපේ ඇත්තන් විසින් වහරනු පහසුවට හදා ගන්නා ලද එකකි. දැන් එය ටෙනී ගේ උප්පැන්න සහතිකයට වඩා බලවත්ය.ජනප්‍රියය. ඔහුගේ ඇත්ත නම ටෙනිසිං නන්දලාල් ය.

ටෙනී උපන්නේ නවසීලන්ත ජාතික එඩ්මන්ඩ් හිලරි සහ නේපාල ජාතික ෂර්පා වරයෙකු වූ ටෙනිසිං මුල් වරට ලොව උසම කඳු මුදුන එවරස්ට් තරණය කළ දවස්වලය.ටෙනිසිං හිලරිගේ සපෝටර්ය.ඔවුන් දෙදෙනා එවරස්ට් තරණය කළ මුල්ම තැනැත්තන්ය.මේ ආන්දෝලනයෙන් ලොව උණුසුම් වද්දී එවකට වේයන්ගොඩ විසූ රජයේ නිළධාරියකු වූ එදිරිසිංහයන්ට උපන් දරුවාට ටෙනිසිං නමත් ඉන්දීය කවියකු වූ නන්දලාල් නමත් එක්කොට යෙදුවේ එවකට ගුරු සංගම් නායකයකු මෙන්ම කවියකුද වූ තිහාරියේ පීටර් පෙරේරාය.

එහෙත් මේ නම දමද්දී මේ දරුවා මතු දවසක ඉලන්දාරියකුව සිය පුවත්පතට ටෙනිසිං කෙනෙකු වනු ඇතැයි හෝ කැමරාවෙන් කවි ලියනු ඇතැයි හෝ පීටර් පෙරේරා සිතන්නට නැත. එයටත් වඩා තමා විසින් නම දමන ලද හාදයා තම මුණුබුරු අසංක දේවමිත්‍ර සමග එකම පත්තරයක වැඩ කරන එකම දුම්රියක ගමන් යන එකෙකුයැයි සිතන්නට නැත.එහෙත් ඒ සියල්ල සිදුවී ඇත්තේය.

ටෙනිසන් ඡායාරූපකරණයට බැස්සේ අහම්බයකිනි.කලක් ලේක්හවුස් ආයතනයේ ම වැඩ කළ ඡායාරූප ශිල්පියෙකු වූ සංජීව කැල්ලපත සමග එකම කාමරයේ සිටි ටෙනී සරත් විකුණන්නට සිටි පරණ කැමරාවක් මිළයට ගත්තේය.ඒ ආශාවටය.කැමරාව රුපියල් දහසක් විය.එය කොලු කමට කළ ආයෝජනයක් විය.මුල් ඡායාරූප ගැනුනේ ලේක්හවුස් ආයතනයේම හිතවතුනගේ ඡායාරූප විය.ඒ ඇතැම් අවස්ථා විනෝද ගමන් විය. නැතහොත් සාද විය. මේ හැම තැනටම ටෙනී ට විවෘත ආරාධනා විය.මේ ඇස පත්තර හිතවතුන් අතින් මුලින් ම යොමු වූයේ යොවුන් ජනතා පුවත්පතටය.

එයින් පසු කලක සරසවිය වාර්ෂික සඟරාවේ ඡායාරූප ගැනීම ටෙනිසන්ට බාර විය.එවකට සරසවිය කර්තෘ පදවිය හෙබවූයේ ප්‍රවීණ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන්ය.ඒ වනවිටත් ලේක් හවුස් ආයතනයේ නිෂ්පාදන අංශයේ සේවය කරමින් සිටි ටෙනී මුල් වරට තිලක් අය්යාගේ ඇස ගැටුයේ එවකට සරසවියේ රූ රටා ශිල්පියා ව සිටි ගීෂා මුණසංහ විසිනි.එක් මොහොතකින් දක්ෂයන් හඳුනා ගන්නට සමත් තිලක් අය්යා 1996 වසරේ සරසවිය වාර්ෂික කලාපයේ සම්පූර්ණ ඡායාරූප ලබා ගැනීමේ වගතීම ටෙනී වෙත පවරන්නට දෙවරක් නොසිතුවේය.

එයට පෙර වසරේ එම සඟරාවේ සියළු ඡායාරූප ලබා ගත්තේ ඒ වන විටත් කෙෂත්‍රයේ නමක් දිනා සිටි ටෙනී ගේ පාසල් වියේ මාතලේ මිතුරකු ව සිටි දයාන් විතාරණ යි.දයාන් ට මෙන්ම ටෙනීට ද සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා සමග ඡායාරූප ගැනීමේ මුල් සම්බන්ධීකරණය පැවරුණේ මා වෙතටය.

ගාමිණී ෆොන්සේකා නම් මහා පුරුෂයා සමග කටයුතු කිරීම පහසු වුවත් පළමුව ඔහු හැසරෙන අයුරු වටහා ගැන්ම කළ යුතු වෙයි.මා ටෙනී සමග කතා කළේ ඒ පිළිබඳවය. එය වටහා ගත් ටෙනී එතුමන් ඉදිරියේ හනුමා කුඹුරු කොටන්නට පටන් ගත් ආකාරයෙන් ක්‍රියාත්මක නොවිණ.ඔහු පළමුව ගාමිණී ෆොන්සේකා ඉදිරියේ හැසිරුණේ ඔහුගේ ඉරියව් නිරික්ෂණය කරන්නට සැරසෙමිනි. දෙවැනුව ඔහු ඒ අදාල දර්ශණ තලයන් නිරික්ෂණය කළේය.

ඔහු කැමරාව එළියට ගත්තේ ද ඉන් අනතුරුවය.මේ අතර වාරයේ මම එතුමන් සමග සුහද කතාබහක නිරත වීමි. මේ අතරවාරයේ ගාමිණී වරින්වර මේ අලුත් ඡායාරූප ශිල්පියා දෙස හොරැහින් නිරීක්ෂණය කරනු මට පෙනිණ.අනතුරුව ටෙනි සිය වාරය ලබා ගත්තේය . සර්අපි පින්තූරයක් ගමු,

සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා වහා නැගිට සිටියේය.

'හොඳයි ඉලන්දාරියාට වුවමනා කොයි විධියටද?"

එතුමන් විතාලයේය.ඒ වනාහි ඉතා හොඳ කොළ එළියක් බැව් මම දනිමි.ටෙනී ඔහුට අවශ්‍ය ඇඳුම් පැළදුම් ද කීවේය. කලින් දවසක් මේ සම්බන්ධව මම ගාමිණී ෆොන්සේකා මහතානන් දැනුවත් කර සිටියෙමි. එහෙත් මේතරම් ඉක්මනින් එතුමන් එතරම් මෙල්ලවෙතැයි මට විශ්වාසයක් නොවීය.එහෙත් ඒ රූප ගැන්වීම් නිම වද්දී ගාමිණී ෆොක්සේකා නම් නම් මහා සිනමා වේදියානන් අපූ රු ඉල්ලීමක් ටෙනී ගේන් ඉල්ලුවේය.ඒ සිය නිවසේ දඟකරකමින් සිටි තම බාල දියනියන් දෙදෙනාගේද ඡායාරූප ලබා ගන්නා ලෙසය.

තිලක් අයියාගෙන් පසු සුසිල් ගුණරත්න යුගයේද ටෙනිසන්ගේ ඡායාරූපවලින් එතැන් පටන් එතුමන් මිය යන තුරුම වාර්ෂිකව ගාමිණී ගේ ඡායාරූප පෙලක් සරසවිය වෙනුවෙන් ලබා ගත්තේ ටෙනීය. ඒ හැම වාරයකම ඒ න්වසට යන මට ද සහ එතුමන් සමග ඡායාරූපයක් ලබා ගැන්මට හැකි විය.මේ වන විට ටෙනී නිළ නොළත් මට්ටමෙන් සරසවියේ එකෙකු වුවද ඔහු පත්තරයට බඳවා ගැන්ම පහසු වූයේ නැත. එක් අතකින් ඔහු වෙනත් අංශයකින් කර්තෘ මණ්ඩලයට මාරු කිරීම කළ යුතු විය.ඒ සදහා අනුමැතිය ලබා ගත යුතු බොහොමයක් විය.මේ දුෂ්කර කර්තව්‍යට උර දුන්නේ අනුර බණ්ඩාර රාජගුරු ය. ඒ වන විට රාජය්යා සරසවිය කර්තෘ වරයා විය.

රාජය්යා නිසා එතැන් පටන් ටෙනී සරසවියට සින්න විය. දීප්ති ෆොන්සේකා,සුනිල් මිහිඳුකුල,ගාමිණී සමරසිංහ සරසවිය කතුවරු යටතේ ටෙනී සිය ජවය අනතුරුව සරසවිය වෙත මුදා හළේය. ඔහු සිය ඡායාරූපකරණයට පිවිසෙනුයේ කඩියකු මෙනි.ඒ මොහොතේ ඔහු අදාල පුද්ගලයන්ගේ සියළු ඉරියව් නිරීක්ෂණය කොට හමාරය.ඔහු ගාමිණී ෆොන්සේකාගේ සිට අද පරපුර දක්වා හැම ශිල්පියකු සමගම හිතවත්ය.ඔහු සමග ඡායාරූප ගත් අයෙක් ටෙනී සමග ඇති මිත්‍රත්වය බිඳ නොදමයි.එහෙත් මෙහිදී ටෙනී ටද යමක් සිහිපත් කළ යුතු වෙයි.ඒ පුවත්පත් කලාවේදියා ද එහි ඡායාරූප ශිල්පියාද සිය නිළය නැතිවූ දා පෙන්ෂන් ගිය රාළහාමි කෙනෙකු වන බවය.

වර්තමානයේ බොහෝ කැමරාවන්ට කැමරාකරු නැටවිය හැක.එහෙත් නිර්මාණශීලී කැමරා කරු එබන්දෙකු නොවේ.තාක්ෂණය කෙතරම් බල සම්පන්න වුව ද ටෙනිසන් වැනි ඡායාරූප ශිල්පින්ගේ හැකියාව වැදගත් වන්නේ එහෙයිනි.ඒ ඇස අමුතුවෙන් කියා දිය හැක්කක් නොවේ.අප ගන්නා ඡායාරූප නිකම්ම ෆොටෝ වන්නේත් ටෙනී ගේ ඡායාරූප කලාවක් වනුනේත් එබැවිනි.එහි තාක්ෂනික ශිල්පියාත් නිර්මාණශීලී මිනිසාත් යන දෙ ආකාරයක සංකලනයක් වෙයි.

ඔහු සමග මගේ මිත්‍රදම මෙන්ම හිටි ගමන් මුහුණු නොරක් කර ගන්නා අවස්ථාවන් ද එමටය.එය අප දෙදෙනාටම හිත් අමාරු ගෙන දෙන්නකි.එහෙත් එක් මොහොතක අප උනුන් සිප වැළඳ මේ හිත් අමනාපය දුරු කර ගනිමු.එවිට ටෙනී ගේ මුහුණේ කිසි විටෙකත් සිනහවක් නැගෙන්නේ නැත.ඒ වෙනුවට ඔහු නෙත කඳුලක් උපදිනු මම දකිමි.