|
සුරතලිය සුරලොව ගියායනම: තාරුණී සච්දේව්
හැමෝගෙම දෑස් කඳුළින් තෙත් වෙලා. සිත් බලාපොරොත්තුවලින් හිස් වෙලා. අංකවලින් හැම දේම තීරණය වෙන මේ සිනමා නගරයට අංක 14 ගැන නම් කෝපයක් ඇති වීම වළක්වන්න බැහැ. තාරුණී සච්දේව් හුරුබුහුටි, දඟකාර කෙලි පොඩ්ඩ ජීවිත කාලයෙන් අවුරුදු නවයක්ම සිනමා පුරවරයේ ආකර්ෂණීයම පුංචි තාරකාවක් වුණා. ඇය දෙස බැලූ කවුරුත් අනාගත සිනමා රැජනක් ගැන සිහින මැව්වා. තාරුණීගේ පුංචි සිතෙත් බලාපොරොත්තු පොදි බැඳුණේ තරුවක් ලෙසින් බැබළෙන්නයි. එහෙත් ඒ සිහින පසුගිය මැයි 14 වැනිදා නේපාලයේ ගුවන් අනතුරේදී සුනුවිසුණු වී ගියා. තාරුණීත් ඇයගේ මව ගීතාත් ‘අග්නි’ ගුවන් යානයෙන් නේපාලයට ගියේ මුක්ත්න්තා නගරයේ වන්දනා කරන්නයි. ඔවුන් ගමන් කළ ගුවන් යානය අනතුරට පත් වුණේ ජීවිත 15 ක් ද බිලි ගනිමින්. තාරුණී බොලිවුඩ් පුරවරයට පිය නැගුවේ, වයස අවුරුදු පහක් තරම් පුංචි වයසකදීයි. 2004 දී ඇය ටී ජී විනායන්ගේ ‘වෙලිනක්ෂත්රම්’ සිනමාපටයේ රඟපෑවා.
අමිතාබ් බච්චන් සමඟ රූපවාහිනී දැන්වීමක පෙනී සිටි පුංචි තාරුණී දුටු විනායන් දැන්වීම් ඒජන්සියෙන් ඇයගේ නිවෙසේ දුරකතන අංකය ඉල්ලගෙන. අධ්යක්ෂවරයා තාරුණීගේ මවට කතා කළ විට මව, දෝණිට දුුරකතනය දීලා. ‘හයක් හතරක් නොතේරෙන වයසක හිටියත්, අන්කල් මං චිත්‍රපටිවල රඟපාන්න ආසයි’ කියලා විනායන්ට, තාරුණී උත්තර සපයලා. ජීවයෙන් පිරුණු ඒ හඬ, රුව සිනමාවට එක් කර ගන්න විනායන්ට දෙවරක් සිතන්නට අවශ්‍ය වී නැහැ. තාරුණී සච්දේව්, විනායන්ගේ වෙලිනක්ෂත්රම් සිනමාපටයේ ළමා නිළියක වුණේ එලෙසයි. ඇය සම්මානනීය ‘පා’ සිනමා පටයේ අවුරෝගේ (බච්චන්ගේ) මිතුරිය ;ලස කැපී පෙනෙන චරිතයක් නිරූපණය කළා. මේ දුක්මුසු ආරංචියෙන් අමිතාබ් බච්චන් කොපමණ කම්පාවට පත් වුණා ද කිවහොත් ‘දෙවියනේ මේ දෙය සිදු නොවන්න තිබුණා’ කියා පවසා තිබුණා. බච්චන් පුතු අභිෂේක්, ට්ව්ටර් වෙබ් අඩවියට ලියා තිබුණේ තාරුගේ මරණය ගැන පුවතින්, තමන්ට කතා කරන්න වචන නැති වුණු බවයි. ‘පා’ සිනමාපටයේ අවුරෝගේ මව ලෙසින් රඟපෑ විද්‍යා බාලන්, ‘පා’ අධ්‍යක්ෂණය කළ බල්කි (ආර්. බාලක්‍රිෂ්ණන්) තාරුණී කියන්නේ ප්‍රවීණයකු වාගේ ඕනෑම චරිතයකට පිවිසෙන්න පුළුවන් ළමා නිළියක බව පැවසූ බව මේ ශෝචනීය පුවතත් සමඟ සිහි කළා.
මේ පුංචි, සොඳුරු දඟකාරිය දැන්වීම් පනහක පමණ පෙනී සිටියා. කරිෂ්මා කපූර් සමඟ රඟපෑ රස්නා දැන්වීම්වලින් තාරුණී කෙතරම් ජන හද බැඳ ගත්තා ද කිවහොත් ඇයට ‘රස්නා කෙල්ල’ යන ආදරණීය නමත් පට බැඳුණා. ‘කොයි මිල් ගයා (2003 – හින්දි), ‘වෙලිනක්ෂත්රම්’ (2004 – මලයාලම් - ළමා අවතාරය ලෙස), ‘සත්‍යම්’ (සින්නුකුකි ලෙස 2004 – මලයාලම්), ‘පා’ (2009), ‘වෙට්්රසෙල්වන්’ (2012) ඇය රැඟූ සිනමාපටයි. තාරුණී කාර්යබහුලම ළමා මෝස්තර නිරූපිකාවක් ද වුණා. බොලිවුඩයේ වැඩිම ආදායමක් ලබන ළමා කලාකාරිය වුණෙත් තාරුණීය. නොපවතින ජීවිතයක, පවතින දස්කම් වැඩි නිසාදෝ තාරුණී සියලු කලා කටයුතු මැද ඉතා දක්ෂ ලෙස අකුරු කරලා. කවුරු කොහොම තාරුණී අගය කළත් මැයි 16 දින පැවැති ඇයගේ අවමඟුලට නම් ක්ෂේත්රයේ කිසිවකු සහභාගි වී නැහැ. |