|
‘විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා’
නුවන් නයනජිත් කුමාර ‘ගාමිණී’ ගැන කියන කතාව ‘ගාමිණී’ ගැන කියන කතාව ගාමිණී මා ඉදිරියේය. තේජවන්ත ප්‍රතාපවත් දෑසින් හෙතෙම පොත් කවරයේ සිට ඉඟි කරන්නේ යට ඇති බරැති පිටු ගොන්න ද මහා බරැති එකක් බවට අඟවමිනි.
හරබර දේ කියවන්නට මා හරිබරි ගැහුණේ නුවන් නයනජිත් කුමාර එකී චරිතය පර්යේෂණාත්මකව සාහිත්‍යකරණයට ලක් කළ නිසාය. ‘විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා’ නුවන් සමනල වයසේ සිටම ගාමිණීගේ තුරුලට වීමේ මහගුම ප්‍රතිඵලයකි. හිටපු සරසවිය කතුවර ඒ. ඩී. රංජිත් කුමාරයන්ගේ මෙන්ම ප්‍රවීණ ගායිකා දමයන්ති ජයසූරියගේ එකම පුත් නුවන් නයනජිත් කුමාර ඔවුන්ට දාවම ජනිත වීම ‘ගාමිණී’ චරිතය පර්යෙෂණාත්මකව ඔප්පු කිරීමට ප්‍රබලම සාධකය බව මට දැන් දැන් ප්‍රත්‍යක්ෂ වන්නකි. විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා නුවන් නයනජිත්ගේ නැවත මුද්‍රිත ග්‍රන්ථයක් වන අතරම 1999 දී එළි දැකි ‘අද්‍යතන සිනමාවේ ලිංගික ප්‍රවණතාව’ සිට ‘නව මඟක සංකථන’ දක්වා වූ කෘති විටෙක ගාමිණී ෆොන්සේකාගේ විචාරයට ද බඳුන් විය. එහෙයින් නුවන් එකී පුරෝගාමියාගේ ග්‍රන්ථයත් චරිතයත් විග්‍රහ කරන අන්දම මැන ගැනීමට ඔහු සොයා ගියෙමි. නුවන්, ඔබ ගාමිණී චරිතය මනාව වටහා ගත් කෙනෙක්. ඔබ ඔහුත් සමඟ පෑහෙන්න පටන් ගන්නේ කොහොමද? මේ සම්බන්දයෙන් අතීතය මගේ පියාණන්ගේ කාලයේ සිට එන එකක්. මගේ පියාණන් පුවත්පත් කලාවේදියකුව සිටි අවදියේ සිටන්ම ඔවුන් ඉතාම හොඳ මිතුරන්. මම පෞද්ගලිකවම ගාමිණී ෆොන්සේකා චරිතය හඳුනා ගන්නා විට මට අවුරුදු 10 යි. එදාම තමා එතුමාගේ 50 වැනි උපන් දිනයත් යෙදී තිබුණේ. ඒක එක්තරා අතකින් දෛවෝපගතයි. මොකද එතුමා 1936 වසරේ මාර්තු 21 වැනිදායි උපන්නේ. මම ඊට අවුරුදු 40 ක් ඇවෑමෙන් ඒ කියන්නේ 1976 වසරෙයි උපන්නේ. එදා කොළඹ ගංගාරාමයේ පැවතිච්ච ඒ පිංකම දවසේ ඔහුව මුණ ගැහුණම මම හිතුවේ ඔහු මාව දැඩිව පිළිගනියි කියලා. නමුත් එතුමා කට කොනෙන් සිනහවකින් විතරයි සංග්‍රහ කළේ. මූණටම එතුමා මුණ ගැසිලත් මාව පිළිනොගැනීම පිළිබඳ මට එදා කුඩා දරුවකු හැටියට ඇති වුණේ කේන්තියක්. මොකද ඊට සාපේක්ෂව මගේ පියාගේ මිතුරන් වෙච්ච විජය කුමාරතුංග වගේ චරිත කළේ මාව දුටු විගස සුරතල් කරපු එක. නමුත් වයසෙන් වැඩෙද්දි මම දැනගත්තා ගාමිණී කියන්නේ කෙනෙක්ගේ පුතා හෝ වෙනත් කෙනෙක් වෙච්ච පලියට ආශ්‍රය නොකරන චරිතයක් කියලා. හැබැයි ඒ චරිතය තමන්ට ප්‍රියයි කියලා එතුමම දැනගත්තොත් ගැලවිල්ලක් නැහැ. හොඳයි ඔබේ ‘විශ්වීය රූපණවේදයක ආසියානු පුරෝගාමියා’ කෘතිය 80 දශකයේදී ඔබේ පියා ගාමිණී ගැන ඉදිරිපත් කළ කෘතියේ දිගුවක්ද? නැහැ. පියා 1986 ඉදිරිපත් කළ ‘හෙළ සිනමාවේ සක්විති’ කෘතිය පූර්ණ සංස්කරණයක් නෙවෙයි. එය ගාමිණී යනු හෙළ සිනමාවේ මුදුනක් බව අන් අයගේ මතත් ඇතුළත් කරමින් සම්පාදනය කරන ලද්දක්. නමුත් මම සම්පාදනය කරන කෘතිය පර්යේෂණාත්මක එකක්.
එතකොට ගාමිණීගේ භූමිකාව තුළ ඔහු ආසියානු පුරෝගාමියෙක් කියන එක ඔබ ඔප්පු කළේ කොහොමද? අපි හොඳටම දන්න කාරණය තමයි ගාමිණී කියන්නේ වෙනසක් කරන්න බලාගෙන ක්ෂේත්‍රයට පැමිණි කෙනෙක් බව. මොකද ඒ වන විටත් ලංකාවේ සිනමා රංගනය තුළ වේදිකා ශෛලිය ඉතා තදින් මුල් බැහැ ගෙන තිබුණා. ප්‍රේක්ෂකයෝත් මේ දේට හුරු වෙලා තිබුණා. කොටින්ම කියනවා නම් අපි චිත්‍රපට කියලා තනිකරම රස වින්දේ ඉන්දියානුකරණය වූ නිර්මාණ. සමස්ත ආසියාවේම තත්ත්වය පහදන්න නම් අපිට තවත් විශිෂ්ඨ චරිත කිහිපයක් සමඟ ගැටෙන්න වෙනවා. ඉන්දියාවේ දිලිප් කුමාර් හා බල්රාජ් සහානි මෙන්ම ජපානයේ ටොෂිරෝ මිෆුනේ ආසියානු රංගනයේ ඉතාම විශිෂ්ඨ චරිත. නමුත් ගාමිණී හා සාපේක්ෂව ඔවුන් පුරෝගාමී පුද්ගලයන් නොවන බවයි මට හැඟෙන්නේ. මොකද ඉන්දියාවේ බල්රාජ් මෙන්ම දිලිප් කුමාර් ඉන්දියානු නාට්‍ය ශෛලිය චිත්‍රපටකරණයේ ඉහළින්ම තබපු අය. එමෙන්ම ටොෂිරෝ මිෆුනේත් තමන්ගේ ආභාෂය ගත්තේ කබුකි හා නෝර් කලාවලින්. නමුත් ගාමිණී ඔතැනින් සම්පූර්ණයෙන්ම වෙනස්. ඔහු සොයා ගත්තා නිදහස් ආරක්. ඔහු ඒ තුළ ලොකු ගමනක් ගියා. භරත මුනිගේ න්‍යායන් මෙන්ම බටහිර ස්ටැනිස්ලොව්ස්කිගේ න්‍යායන් වෙන්කොට හඳුනා ඒවා භාවිතයට ගැනීම ගාමිණී සිද්ධ කළා. අනික ඒ දේ කරන්න ඔහුට සුදුසුම පුද්ගලයා හමු වුණා. ඔහු මහ සිනමාකරු ලෙස්ටර්. ඔහුත් ලාංකික සිනමා ආර ඒ වන විටත් සොයා යමින් සිටියේ. මේ නිසාම ඔවුන් පුදුම විදිහට පෑහුණා විතරක් නෙවෙයි, ඔවුන් සිනමාව ගිය මග වෙනස් කළා. ඒ වගේම ඒක සමස්ත ආසියාකරයටම හඳුන්වා දුන්නා. ඔය වකවානුව වන විටත් ගාමිණීගේ මේ වෙනස් ආර විචාරක ඇගයුමට භාජනය වුණේ නැහැ නේද? ඇත්ත. ගාමිණීගේ මේ ස්වභාවික රංග ශෛලිය බොහෝ දෙනා ග්‍රහණය කර ගත්තේ නැහැ. විචාරක පාර්ශවය විතරක් නෙවෙයි නිෂ්පාදක පාර්ශවය පවා කිව්වේ ඔය දේ ප්‍රේක්ෂකයා ඉල්ලන්නේ නැති බවයි. විචාරක පාර්ශවයන් දිගින් දිගටම කිව්වේ ගාමිණී බ්‍රැන්ඩෝ පාට් දානවා කියලයි. විචාරක පාර්ශවයට තෝරා බේරා ගන්න බැරි වුණා ගාමිණී මාලන් බ්‍රැන්ඩෝ වගේ අයගෙන් ගත්තේ ගත යුත්ත පමණයි කියලා. ඒ වගේමයි ගාමිණී ක්ෂේත්‍රය වෙනුවෙන් කළ සමහර කැපවීම් කතා නොකරන්නත් වග බලා ගත්තා. කෙසේ වෙතත් සාමාන්‍ය ප්‍රේක්ෂකයා අදටත් විග්‍රහ කරන ආකාරයට ගාමිණී යනු කිසි කෙනෙකු මායිම් නොකරන මහා ආඩම්බරකාරයෙකු බවයි ප්‍රකාශ වෙන්නේ. නමුත් ඔබ මේ ග්‍රන්ථයෙන් ගාමිණී එසේ නොවන බව කියනවා. ඇත්ත. ගාමිණී ෆොන්සේකා කිව්වම අදටත් එහෙම හිතන අය ඉන්නවා. නමුත් ගාමිණී කියන මහ චරිතය ඇතුළේ කුඩා දරුවෙකුත් ජීවත්වන බව මට නිතරම තේරිච්ච දෙයක්. මොකද වෙලාවකට මට එතුමා පියෙක් වගේ. එතුමා දෙන උපදේශන මම පිළිගන්නවා වගේම මගේ උපදේශත් එතුමා පිළිගත්තා. වරෙක මට මතකයි මම එතුමාට තදින් කියා හිටියා එතුමාගේ දුම්බීම නවත්වන ලෙසට. එතුමාගේ අවසන් කාලේදී එතුමා ඒ් පුරුද්ද අතහැරියා. ඒ වගේමයි එතුමා අවසන් කාලෙදිත් යම් හුදකලාවකින් ජීවත් වුණේ. නමුත් එතුමාට ඒක පෙන්වන්න බැහැ. මොකද එතුමාගේ සිංහ පෞරුෂය විසින් ඒ දේ යටපත් කරනවා. නමුත් මම මේ මොහොතෙත් කියනවා එතුමා හැමෝටම විවෘත වෙන ජාතියේ කෙනෙක් නොවන බව. ඒ වගේම සමහර අය කිව්වා ගාමිණීව වැඩකට ළං කර ගන්න එපා. ඔහු ඒවාට ඇඟිලි ගහනවා කියලා. නමුත් මට වැටහිච්ච දේ තමයි ඔහු ඇඟිලි ගැහුව නම් ගැහුවේ අසාර්ථක තැන්වලට විතරයි. මොකද ඔහු කාටවත් උගන්වන්න ගියේ නැහැ. අනික හිතන්න අධ්‍යක්ෂක, පිටපත අසාර්ථක වෙන තැන කී දෙනෙක් අමාරුවේ වැටෙනවාද කියලා. ඔබ ගාමිණීගේ දේශපාලන විඥානයත් සියුම් ලෙස විග්‍රහ කර ගත්තා. ඇත්තටම සෙසු දේශපාලක පිරිසගෙන් ගාමිණී වෙන් කර ගන්න පුළුවන්ද? කලාකාරයා දෙවැනි වෙන්නේ පූජ්‍ය පක්ෂයට විතරයි. ඒ දේ කියන්නේ වෙන කිසි දෙයක් හින්දා නෙවෙයි. ඔවුන් අභිමානය තියාගෙන වැඩ කරපු නිසා. ඒ අභිමානය ගාමිණී දේශපාලනයේදීත් පෙන්නුවා. හැබැයි එතුමා සාර්ථක දේශපාලඥයෙක් නෙවෙයි. මොකද දේශපාලඥයන්ට තියෙන සාම්ප්‍රදායක ලක්ෂණ ඔහුට තිබුණේ නැහැ. ඔහු ජන නායකයෙක් මිසක් එක තැනක ලැගලා එතැන කකා හිටපු දේශපාලඥයෙක් නෙවෙයි. ඔබ විටින් විට කලාවේ ප්‍රකට චරිත අළලා විවිධ විස්තරාත්මක විග්‍රහයන් ඉදිරිපත් කළා. ඔබට ගාමිණී වගේම පර්යේෂණාත්මක ග්‍රන්ථයක් කරන්න තව චරිත ඉන්නවාද? ඉන්නවා. හැබැයි අතලොස්සයි. ජෝ, ටෝනි, අයිරාංගනී ඒ වගේ චරිත කිහිපයක්. අනික කොහොමටත් එවැනි පර්යේෂණාත්මක කෘති පැමිණෙන්න ඕනෑ. මොකද පසුකාලිනව පර්යේෂණවලට යමෙක් භාජනය කරන කොට ඊට පෙර බිහි වූ කෘතිවලට වටිනාකමක් තියෙනවා. හැබැයි සමහරු මතයක් ගේනවා එහෙම කෘති ගේන්න පිරිසක් නැහැ සහ එහෙම පර්යේෂණයට භාජනය කරන්න පිරිසක් නැහැ කියලා. නමුත් මම සෘජුවම කියනවා ඒක කුහක ත්‍රස්තවාදයක්.
|