වර්ෂ 2012 ක්වූ මැයි 10 වැනිදා බ්‍රහස්පතින්දා





මෙගා නීතිය හොඳ ද නැද්ද?

මෙගා නීතිය හොඳ ද නැද්ද?

විමසා බැලීමක්

මෙගා නාට්‍යය කොටස් සියයයි. එමෙන්ම අලුත් ටෙලි නාට්‍යය පිටපත රැගුම් පාලක මණ්ඩලය මඟින් අනුමත කළ යුතුයි. ටෙලි නාට්‍ය නිර්මාණවේදීන්ගේ සංසදයේ ඉල්ලීම පරිදි ගෙනා මේ යෝජනාව පිළිබඳ චක්‍ර ලේඛය පසුගිය සතියේ නිකුත් විණි. සරසවිය පසුගිය සතියේ ප්‍රධාන ප්‍රවෘත්ති ශීර්ෂය වූයේත් එයයි. මේ අලුත් යෝජනාවලිය පිළිබඳ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ කිහිප දෙනෙකුගෙන්ම අප අදහස් විමසා බැලුවෙමු.

මුදලාලිලාගේ ඒකාධිකාරිය ඉවරයි

සුදත් රෝහණ.

ප්‍රවීණ ටෙලි නාට්‍ය හා චිත්‍රපට අධ්‍යක්ෂ, ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ ප්‍රධාන සංවිධායක මෙය ඉතාම නිවැරැදි තීරණයක්. මෙහි හොඳ පැතිකඩ වැඩියි. මේ නීතිය නිසා පිටපත් රචකයන්ටබහුභූත ලියන්න බැහැ.

නොමිලේ ලැබෙන දර්ශන තලවලට නාට්‍ය ලියන්න බැහැ. මෙගා මුදලාලිලාගේ ඒකාධිකාරය නැති වෙනවා. කඩිමුඩියේ උදයේ ෂූට් කරලා රෑ නාට්‍ය පෙන්වන්න බැහැ. මිනිසුන්ගේ රසඥතාවය තවත් මොට වෙන්නේ නැහැ. සමාජ සෝදාපාලුව වැලැක් වෙනවා.

මෙගා නාට්‍යයවල තියෙන තවත් අනිසි අවස්ථාවක් තමයි එවැනි යම්කිසි නාට්‍යයක ඉන්න කෙනෙකුට ඔහුට එන ගැටලුවක් නිෂ්පාදකත් එක්ක කතා කරන්න බැහැ. එහෙම වුණොත් නිෂ්පාදක ඔහුව ඉවත් කරලා වෙන කෙනෙක් ඊට යොදා ගන්නවා.

ඒක නෙවෙයි ටෙලි නාට්‍ය කලාව. මේ වන විට රැඟුම් පාලක මණ්ඩල අණ පනතට ටෙලි නාට්‍ය විෂය ධාරාව ඇතුළත් වෙලා තියෙනවා. ඊට පසුව එය ක්‍රියාත්මක කරනවා. අපේ බලාපොරොත්තුව පනත මඟින් සම්භව්‍ය ටෙලි නාට්‍ය විතරක් නිර්මාණය කරන්න කියලා කියන එක නෙවෙයි. කලාත්මක නිර්මාණ බිහි කිරීමයි.


මං නම් මේ තීරණයට එකඟ නැහැ

ශාන්ත සොයිසා (අමා, පබා, පබළු ටෙලි නාට්‍යන්හි අධ්‍යක්ෂ) අඩුම තරමේ මෙගා නාට්‍ය කොටස් දෙසිය පණහක්වත් තිබුණා නම් හොඳයි. මං මෙහෙම කියන්නේ මං කොටස් සියයට වැඩි නාට්‍ය නිර්මාණය කරපු නිසා නෙවෙයි.

කොටස් සියයට සීමා වුණත් මං පෙර පරිදිම නාට්‍යය කරලා පෙන්නනවා. කොටස් සියයකට නාට්‍යයක් සීමා කෙරුවා කියලාවත්, පිටපත අනු මණ්ඩලයකින් අනුමත කර ගත්තා කියලාවත් හොඳ නාට්‍ය හැදේවි කියලා කවුරු හෝ හිතාගෙන ඉන්නවා නම් ඒක වැරැදි මතයක්.

මට ලැබිච්ච ඉතා දුර්වල පිටපත්වලින් මං උපරිම ප්‍රයෝජන අරගෙන තියනවා. කොච්චර ගුණාත්මක පිටපතක් වුණත් නළු නිළියෝ හරියට රඟපෑවේ නැතිනම් ඔවුන්ගේ හැකියාව නිසි ආකාරයෙන් අධ්‍යක්ෂවරයා ප්‍රයෝජනයට ගත්තේ නැතිනම් එතන්දි හොඳ නාට්‍යක් බිහි වෙන්නේ නැහැනේ.

අනික කොටස් සියයකට නාට්‍ය සීමා කළාට පසුව එහි රසය සීමා වනවා. මේ පිළිබඳ තවත් හිතලා බැලුවොත් හොඳයි. කෙසේ නමුත් මෙගා හොඳ නැහැ, මෙගා සීමා කරන්න ඕනෑ කිය කිය උඩ පැන පැන කෑකෝ ගහන අයට මං අභියෝගයක් එල්ල කරනවා. පුලුවන් නම් මං වගේ ජනප්‍රිය මෙගා නාට්‍යයක් කරලා පෙන්වන්න කියලා.


කරන්න පුළුවන් හොඳම වැඩේ

සුරේෂ් අබේසේකර

(ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වර්තමාන සභාපති)

අපි තමයි මෙවැනි නීතියක් ගෙනෙමු කියලා යෝජනා කළේ. වර්තමානයේ රූප පෙට්ටිය තුළ විකාශය වන ටෙලි නාට්‍යයන් හි ගත යුත්තක් නැහැ.

අධ්‍යක්ෂවරයා දන්නෙත් නැහැ තමන්ගේ නාට්‍යයේ අවසානය. එක් දර්ශනයක් මිනිත්තු ගණනාවක් අඳිනවා. ඊට පස්සේ ඒ මිනිත්තු ගණන මෙන් දෙගුණයක් ඇඩ් යනවා. මෙහෙම ගියොත් ටෙලි නාට්‍ය කර්මාන්තයේ විනාශය ඉක්මන් වනවා.

මේ තත්ත්වය මත බලාගෙන ඉන්න බැරි තැනයි මෙවැනි නීති සම්පාදනය කළේ. වර්තමානයේ තව දෙයක් තියනවා. ඒ එක් නිෂ්පාදන ආයතන කිහිපයක් රූපවාහිනී නාලිකාවන්හි ටෙලි නාට්‍ය විකාශ කාලයන් බදු අරගෙන තියනවා. ඒ අයගෙම නාට්‍ය තමයි හැමදාම පෙන්වන්නේ.

ඉතින් කොහොමද අලුත් නිෂ්පාදකවරයෙක් ක්ෂේත්‍රයට එන්නේ. ඒ වගේම නිළියන් වෙනත් අරමුණු හිතේ තියාගෙන නිෂ්පාදකවරියන් වෙලා මොකක් හෝ ටෙලියක් නිෂ්පාදනය කරලා තමන්ම ප්‍රධාන චරිතය රඟපාන අවස්ථා මෑතකාලීනව අපි දැක්කා. මෙවැනි දේවල් සිදුවීම එතරම් සුබදායී නැහැ. මං හිතනවා අපි මේ කළේ කරන්න පුළුවන් හොඳම වැඩේ. ඒ නිසා ඉදිරියේදී හතු පිපෙන්නා සේ ටෙලි නාට්‍ය නොකර ගුණාත්මක නිර්මාණයන් හී වර්ධනයක් මෙමගින් අප බලාපොරොත්තු වනවා.


මං ආචාර කරනවා.

ශ්‍රියන්ත මෙන්ඩිස්

කදිම තීරණයක්. මේක මීට කලිනුයි ගන්න තිබුණේ. ඉස්සර විකාශය වූ කොටස් දහ හතේ විස්සේ නාට්‍ය ගැන මිනිස්සු අදටත් කතා කරනවා.

ඒත් අද ඒ වගේ කතා කරන්න නාට්‍ය කෝ.මේ නීතියෙන් පසුව අලුත් නිෂ්පාදකවරු ක්ෂේත්‍රයට ඒවි. දැනට නිතර දෙවේලේ දකින නළු නිළියෝ වෙනුවට අලුත් පිරිසක් හැකියාව පෙන්නාවි. ආයෙත් ඉස්සර වගේ පුංචි තිරයට වසන්තය උදා වේවි. ඇත්තටම මේ තීරණයට මං හිස නමා ආචාර කරනවා.


ජනප්‍රිය නිෂ්පාදකවරුන් එළවීමේ වෑයමක්

උපුල් ජයසිංහ (ඉතින් ඊට පස්සේ, බොඳ මීදුම්, සිහින පියාපත් නාට්‍යයන්හි නිෂ්පාදක) මං වෘත්තීමය නිෂ්පාදකවරයෙක්. මිනිස්සු ඉල්ලන්නේ මොනවද මං ඒක ඔවුනට ලබා දෙනවා. එහිදී නාට්‍යක් දිග ද කොට ද කියලා මං බලන්නේ නැහැ.

මගේ නාට්‍ය අතිශය ජනප්‍රිය වුණා. එතකොට අනන්තවත් කැපිලි ආවා. මං ඇතුළු මගේ බෝට්ටුවේ ඉන්න ජනප්‍රිය ටෙලි නාට්‍ය හදන නිෂ්පාදකවරුන්ව ක්ෂේත්‍රයෙන් එළවීමේ වෑයමක් හැටියටයි මා මෙය දකින්නේ.

මේක ඇත්තටම වෘත්තීමය ඉරිසියාවක්. සාමාන්‍යයෙන් නාට්‍යයක කොටසක් ලියා ගන්න රුපියල් හත් අට දාහක් වැය වනවා. කොටස් සියයකට ලක්ෂ හතක් අටක්.

එහෙම ගණනක් දීලා පිටපතක් ලියවගෙන ඒක සම්මත වුණේ නැතිනම් ඒ වැය කළ මුදල අපට ආයේ මෙගා එපා කියලා කෑ කෝ ගහන අය දෙන්නේ නැහැනේ. පටු චේතනා තියාගෙන මේ ක්ෂේත්‍රයට ඇවිත් සමහරු කරන මේ විහිලුව කවදා ඉවර වේවිද මම දන්නේ නැහැ.

තව ටිකක් කල් ගියහම ඒ අයම කියයි චිත්‍රපටයක් පෙන්විය යුත්තේ දින විසි පහක් පමණයි. ඊට පස්සේ අනෙක් එකට ඉඩ දිය යුතුයි කියලා. එවැනි නීතියකුත් ගෙනේවි. ඇත්තටම මේ වගේ වැඩ ප්‍රායෝගිකව කරන්න බැහැ.


මං එකඟයි

මංජුලා කුමාරි (රංගන ශිල්පිනී, නිෂ්පාදිකා) මං නාට්‍ය හතරක් නිෂ්පාදනය කළා. නිෂ්පාදිකාවකට වැඩිය මාව හඳුන්වනවා නම් කැමැතියි නිර්මාණකාරිනියක් හැටියට. ඒ නාට්‍ය හතරෙන් දෙකක්ම මෙගා. එහි ප්‍රධාන චරිතයත් නිරූපණය කළේ මං.

මං එහෙම කළේ මට වැඩ අඩු නිසා නෙවෙයි. ඒ චරිතයට සුදුසු මං නිසා. කවුරුන් හෝ කියනවා නම් නිළියන් වෙනත් අරමුණු තියාගෙන නිෂ්පාදිකාවන් වෙනවා කියලා අන් නිළියෝ කෙසේ වෙතත් මං ගැන බලද්දී ඒක සම්පූර්ණයෙන්ම වැරැදි කතාවක්.

මෙගා නාට්‍ය කොටස් සියයකට සීමා කළා නම් කොටස් සියයකට ටෙලි නාට්‍ය හදන්න මට පුළුවන්. කොටස් පණහකට හදන්න කිව්වොත් ඒකත් කරලා පෙන්වන්නම්. නාට්‍ය කොටස් ගණන අඩු වැඩි වුණයි කියලා ඒකේ ගුණ අගුණ තීරණය වන්නේ නිර්මාණකරුවන්ගේ අතේ. කොහොම වුණත් මේ නීතියට මං එකඟයි. ඒ ඕන ඕන අයට ඕන ඕන විදිහට ක්ෂේත්‍රය හසුරුවන්න බැරි වන නිසා.