|
මේ අසිපතට නමක් දෙන්නTHE SWORD WITH NO NAME යොන්ග් ග්යූන් කිම් අධ්‍යක්ෂ-ද ස්වොඩ් විත් නෝ නේම් ඔහු අධ්‍යක්ෂණය කළ සිනමාපට ත්‍රිත්වයකි.ද ස්වොඩ් විත් නෝ නේම්,ද රෙඩ් ෂූස් සහ වනී වූ ජුනාහ් ඒ සිනමාපට ත්‍රිත්වයයි.ද රෙඩ් ෂූස් සහ වනී වූ ජුනාහ් ඔහු විසින් විරචිත තිර නාටක ද්විත්වයකි.
දකුණු කොරියාවේ තරුණ රජුට ? රැජිණ වීමට ආ ඇය කිසිසේත් නාඳුනන ඔරුකරුවෙකු සමඟ මුහුද බලන්නට නොයා යුතුව තිබිණි. එහෙත් හිතුවක්කාර ඇගේ හිත මුහුද දකින්නට ගියේ ය.
මින් ජා යොන්ග් තරුණ තරමට ම රූමත් ය.නාමික භාර්යාවක වන ඇය රජු සමීපයෙන් රාත්‍රීන් ගත කිරීමට තරම් වත් ඉඩ හසරක් නොලද්දී ය. නමුත් මූ මියොන්ග් ඈ පසුපස ප්‍රේමය අතින් ගෙන විලක්කුවක් මෙන් ඇවිද යන්නට විය.මඳ අඳුරකින් වැසී පැවතුන ඇගේ ලෝකය ඒ විලක්කු එළියෙන් ආලෝකමත් වූ මුත් ?රැජිණකට ඒ එළිය ඉල්ලා සිටින්නට නිර්භීත වන්නට නොහැකි විය. 19 වැනි ශතවර්ෂයේ දකුණු කොරියාවේ සිදු වූ සත්‍ය සිදුචීමක් වටා ගෙතී ඇති 'ද ස්වොඩ් විත් නෝ නේම්' දකුණු කොරියාව ලත් විදේශ බලපෑම් වටා ගෙතුනකි.ජපානයේ අත පෙවීමට උරණව රුසියාව සමඟ මිත්‍රත්වයක් ගොඩ නඟා ගන්නට උත්සාහ කරන අලුත් රැජිණ සහ රජු ගේ අනාගත ඉරණම විසඳෙන ආකාරයත්,නව තාක්ෂණය කොරියාවට ගලා එන සැටිත් සිනමාපටයේ මුල් පෙළින් ගලා යයි. යුද්ධය මුල් ම විසැදුම ලෙස දකින පරම්පරාවකට අයත් මේ ශතවර්ෂය සියලු සටන්වල මූලාරම්භය ඇති කළේ යැයි සිතෙන තරම් ය. මින් රැජිණ ලෙස ප්‍රකට ඇය කොරියානු ඉතිහාසයේ සාඩම්බර ස්ථානයක සිට අදටත් බුහුමන් ලබන්නී ය. ගෝජොන්ග් රජු ගේ පළමු බිසව වූ ඇය නිදහස් අදහස් දරන්නියකි.ජෝසියොන්ග් අධිරාජ්‍යයේ විසි හය වැනි රජු වූ ගෝජොන්ග් ද විදෙස් රටවල මිත්‍රත්වය අගේ කළ අයෙකි. එහෙත් ඔහු ගේ පියා සාම්ප්‍රධායික මති මතාන්තර දැරූවෙකි. හෙතෙම රහසිගත ලෙස මින් රැජිණ මරා දැමීමට කොන්ත්‍රාත්තු ලබා දෙයි. මින් රැජිණගේ මවුපියන් හට ත්‍යාගයක් ලෙස බෝම්බයක් යවා ඔවුන්ව ඝාතනය කර දමයි. බලය යන සාධකය වෙනුවෙන් මිනී මැරීමට නොපැකිලෙන කොරියානු රජ පරපුර ද සටනින් ම සැනසීමක් බලාපොරොත්තු වන ගණයට අයත් සැටියකි.වර්ෂ 2009 සැප්තැම්බරයේ තිරගත වුණු මේ සිනමාපටය එතරම් දැඩි අවධානයක් ලබා ගත්තේ යයි කිව නොහැකි ය. කිම් යොන්ග් යුආන් අධ්‍යක්ෂණය කළ 'ද ස්වොඩ් විත් නෝ නේම්' හි තිර නාටකය යූ සුක් රොක් සහ ලී සෝක් යුන් ගෙනි.
අසිපත් ඇසුරෙන් කෙරුණු සටන්වල දී විස්වාසයට ගත හැකි තරම් සතුරන් ප්‍රමාණයක් පමණක් මරා දැමීමට ප්‍රධාන නළුවාට ඉඩ දුන්නේ නම් ප්‍රේක්ෂක විස්වාසය දිගින් දිගට ම සිනමාපටය පුරා රැඳි පවතිනු ඇත. සිනමාපටයේ අතොරක් තැන්හි කරන හදිසි කඩා වැදීම් එහි රිද්මයට හානිකර ය.මීට වඩා කල්පනාකාරීවත්,සූක්ෂමවත් සිනමාපටයේ සංස්කරණ ශිල්පියා කටයුතු කර තිබුණේ නම් 'ද ස්වොඩ් විත් නෝ නේම් ' වඩ වඩාත් අලංකෘත වනු ඇත. මූ මියොන්ග් ගේ අසීමාන්තික ආදරය සියුම් හුයක් සේ සිනමාපටය පුරා ගලා යන අන්දම සැබැවින් ම දුක්බර ය.පරිත්‍යාගශීලී පෙම්වතා ගේ චරිතය රඟ දක්වන ඔහු සෑම සටනකින් ම අදහා ගත නොහැකි ජයක් ලබන්නේ ඇගේ ප්‍රේමයේ අනුහසිනි.සැබැවින් ම ඔහුට රැජිණකට පෙම් කළ හැකි බව ඔහු විසින් නිශ්චිතව ම දැන ගන්නා මොහොත වනතෙක් මෙහි බරපතල පෙම් ගැටුමක් පැවතී යැයි ප්‍රේක්ෂකයාට පවා අනුමාන කළ නොහැකි ය.
මව රැක ගැනීමට තමන්ට නොහැකි වූ බැවින් රැජිණ රැකීමට ඔහු විසින් කරන ඉල්ලීම වංචා සහගත ය.හුදෙක් තමා තුළ රැජිණට ඇති වූ ප්‍රේම සිතුවිලි නිසා ඔහු රැජිණ අසළ ගැවසීමට දක්වන රුචිකත්වයට ඉන් සිදු වන්නේ හානියකි.පරමාදර්ශී චරිතයක් ලෙස හුවා පෙන්වන මූ මියොන්ග් හට ඉන් සිදු වන්නේ වංචාකාරී අනර්ථයකි. කොරියානු සිනමාපටවලට අනන්‍ය වූ පරමාදර්ශී ප්‍රේමය මඟ හරින්නට අධ්‍යක්ෂවරයාට නොහැකි වූ සැටියකි.ඔහු වට්ටෝරුගත කොරියානු සිනමා සම්ප්‍රධාය ම අනුගමනය කරන්නට සිතූ සැටියකි.එහෙත් සියලු චරිත සුදු හෝ කළු නොව ඒ දෙවර්ගයේ ම මිශ්‍රණයක් විය යුතු ය.ප්‍රේක්ෂකයා තම විස්වාසය නැමැති පදක්කම සිනමාපටය මත තබන්නේ එවිට ය. මේ සා විසල් ආදරයක් කොහි තිබුණිදැයි අවසන අපෙන් ප්‍රශ්න කරන්නට යෙදෙන සිනමාපටය ඉල්ලා සිටි පරිපූර්ණත්වය ලබා දීමට අධ්‍යක්ෂවරයා සමත් වී නම් කෙතරම් අගේ දැයි යළිත් කියමි. මේ සියල්ල ඇගේ රූමත්කම නිසා ය.මේ සියල්ල ඈට මුහුද බලන්නට යන්න ඕනෑ වූ නිසා ය.මේ සියල්ල පෙම්වත් තොටියෙකු ඔරුවක් සහ හබලක් සහිතව ගං ඉවුර ආසන්නයේ නිදා සිටි හෙයිනි. සැබෑ ය.ප්‍රේමයට රැජිණක්ගෙන් වැඩක් නැත.ඇගේ රාජාභරණ බර නැත.ප්‍රේමය දන්නේ තම රාජකාරිය පමණි. ජපනුන් ගේ අසිපත් පහරට ලක්ව මින් රැජිණ තම සදාකාලික පෙම්වතා ගේ ළය මත අවසන් ගමන් යන්නේ එහෙයිනි. ප්‍රේමය දන්නේ තම රාජකාරිය පමණි. |