වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




විජය කුවේණි රූගත කරද්දී අකුණක් පාත් වෙලා

විජය කුවේණි රූගත කරද්දී අකුණක් පාත් වෙලා

නිෂ්පාදක ගයාන් රණධීර

දිගු ඉතිහාසයකට හා මහා අනර්ඝ සංස්කෘතියකට සහ ශිෂ්ටාචාරයකට උරුමකම් කියන ජාතියක් වන අප, අවුරුදු දහස් ගණනක් තිස්සේ ශ්‍රී ලංකා භූමියේ ඉපිද වර්ධනය වෙමින් කිසිවකුට අත නොපා ජීවිකාව කරගෙන ආ උසස් මානව පරම්පරාවක සැබෑ මිනිසුන් බව අමතක කළ යුතු නොවේ.

එදා අප මුතුන් මිත්තන් බුද්ධියෙන් ඉතා ඉහළ තත්ත්වයේ සිටිය බව සනාථ කරවන එක් කරුණක් වනුයේ ඉන්දියාවේ උපන් ‘ගෞතම බුදුන් වහන්සේ’ තමන්ගේ දහම කවදා හෝ පිහිටන්නේ, පවතින්නේ ලංකාවේ බව පැවැසීමයි. එවන් ශ්‍රේෂ්ඨ දර්ශනයක් තේරුම් ගැනීමට තරම් බුද්ධිමත් මිනිසුන් වූයේ මුළු මහත් ආසියාවේම අප ශ්‍රී ලංකාවේ පමණක් එදා ජීවත් වූ යක්ෂ ගෝත්‍රයට අයත් ජනයන්ම බවයි.

මහා වංශයේ මුල් ආරම්භ පරිච්ඡේද කීපය ලිවූ ඉන්දියන් සම්භවයක් ඇති මහානාම හිමියන් අපේ ඉතිහාසය හිතා මතා විකෘති කොට ඇත. (අද ද මෙවන් අය නැතිවා නොවේ).

ඉහත සඳහන් අටුවා ටීකා ඔබට සිහි කර දුන්නේ වෙන කරුණක් නිසා නොවේ. අප ඉතිහාසය යළි සිහි කරවන විජය කුවේණී චිත්‍රපටය මැයි හය වෙනි දින සිට රීගල් ඇතුළු රිද්මා මංඩලයේ සිනමා ශාලා 45 කදී ඔබට නැරැඹිය හැකිය යන්න පසක් කර දීමටයි.

මෙවන් දැවැන්ත නිර්මාණයක නිෂ්පාදකවරයකු වූ ගයාන් රණධීර අද අපේ කතා නායකයා වේ.

වියපත් බඹරා චිත්‍රපටයේ නිෂ්පාදක ලෙස සිනමා ක්ෂේත්‍රයට පිවිසුණු ඔබ විජය කුවේණී චිත්‍රපටය දෙවැනි නිර්මාණය ලෙස තෝරා ගත්තේ ඇයි?

බිහිසුණු යුද්ධයක් අවසන් වෙලා රටේ අරුණළු උදා වෙමින් තිබෙන මේ අවධියේත් අප රට විදේශිකයන්ට පාවා දෙන මිනිසුන් සිටීම කනගාටුවට කරුණක්. අපි කවුද? කාගේ කවුද? අපේ සංස්කෘතිය කුමක්ද? අපේ දේශය කුමක්ද? දැනුදු විදේශකයන් මේ රට ගිල ගන්නට මාන බලන්නේ ඇයි ද යන වග මිනිසුන්ට යළි වටහා දෙන්න සිතා සුගත් සමරකෝන් තිර රචනය හා අධ්‍යක්ෂණය කළ විජය කුවේණි කතා පුවත චිත්‍රපටයක් ලෙසින් සමාජයට දායාද කරන්නට තීරණය කළා.

අනෙක් කාරණය තමා අපේ සිංහල සිනමාවේ ගෙවී ගිය වසර 65 තුළදී අපේ ආරම්භය කවුරුවත් කතා කරලා තිබුණේ නැහැ. අන්න ඒක නිසා මම හිතුවා සුගත් සමරකෝන් ලියා ඇති පිටපත් හතරෙන් පළමුවැන්න ලෙස විජය කුවේණිි නිෂ්පාදනය කරන්න. පිටපත කියෙව්වට පස්සේ මහාචාර්ය මැන්දිස් රෝහණධීර, අරිසෙන් අහුබුදු ශූරීන් වගේ කිහිප දෙනෙකු හමු වී මේ පිළිබඳ සාකච්ඡා කළා. එතුමන්ලාගෙන් ලැබුණු ප්‍රතිචාර අනුව තමයි තීරණය කළේ මේ චිත්‍රපටය කරන්න ඕනෙ කියලා.

චිත්‍රපටය කිරීමේදී ලැබුණු අත්දැකීම්?

මම නිෂ්පාදකයෙක් හැටියට මුදල් දීලා නිෂ්පාදක කළමනාකරුවෙක් අරන් වැඩ කරන්න දීලා බලන් හිටියේ නැහැ. චිත්‍රපටය රූගත කරපු සෑම ස්ථානයකටම ගියා. ඒ තුළින් අත්දැකිම් වගේම දැනුම් සම්භාරයක් ලබා ගත්තා. මොකද? අවසානයේ අධ්‍යක්ෂකට හෝ නිෂ්පාදන කළමනාකරුට දොස් කියනවාට වැඩිය තමනුත් මේ තැනට ගිහින් මොකක්ද වෙන්නේ කියලා සොයලා බලන එක තුළින් වැඩේ කෙරීගෙන යන අවස්ථාවේදීම චිත්‍රපටයේ සාර්ථක – අසාර්ථක බව තේරුම් ගන්න පුළුවන්.

මේ චිත්‍රපටය සාර්ථක කර ගැනීමට දායක වූවන් ගැන යමක් කිව්වොත්?

චිත්‍රපට කියන්නේ අද ලෝකේ තිබෙන ප්‍රබලම ප්‍රකාශන මාධ්‍යය. ඒකේ ප්‍රධාන තැන ගන්නේ අධ්‍යක්ෂවරයානේ. අධ්‍යක්ෂකගේ සිට ටී බෝයි දක්වා සියලු දෙනාම යම් යම් අඩු පාඩු මැද වුණත් උපරිම සහයෝගය ලබා දුන්නා. ඒ අතරින් කියන්න ඕනේ ප්‍රධාන චරිත කරපු රොජර් සෙනෙවිරත්න, දුලානි අනුරාධා ඇතුලු සියලු ප්‍රවීණ හා ආධුනික නළු නිළියෝ චිත්‍රපටය සාර්ථකව නිම කර ගැනීම සඳහා සහයෝගය දුන්නා. අවුරුද්දකට මේ වගේ හොඳ එක නිර්මාණයකට සහභාගි වෙන එකත් සන්තෝෂයි කියලා තමයි මේ අය කිව්වේ. ඒ හින්දා ගොඩක් වෙලාවට සහනදායි විදිහට මට උදව් කළා. මේ අතර විශේෂයෙන් මතක් කළ යුතු අයෙක් තමයි ප්‍රධාන කැමරා ශිල්පී අයෙෂ්මන්ත හෙට්ටිආරච්චිගෙන් ලැබුණු සහාය. කිසිදු ගිවිසුමක් නැතිව අවංකව ඔහුගේ වැඩේ උපරිමයෙන් කළා. ඒක අගය කළ යුතු දෙයක් ලෙස මා දකිනවා.

තවත් චිත්‍රපට හදන්න නිෂ්පාදනයෙන් දායක වෙනවාද?

ඔව්, මේක 100% ක් සාර්ථක වෙනවා කියල විශ්වාසයි. ඊට පස්සේ මහා රාවන කරනවා.

ව්‍යාපර ගණනාවක් කරන ඔබ ඇයි චිත්‍රපට කලාවට පිවිසෙන්නේ?

මම පාසල් කාලේ ඉඳන් හොඳ චිත්‍රපට රසිකයෙක්. මම උසස් පෙළ කරපු අවුරුද්දේ චිත්‍රපට 93 ක් බලල තියෙනවා. මම කොළඹ ඇවිල්ලා අවුරුදු 32 ක් වෙනවා. පවුලේ අයත් එක්ක නැරැඹිය හැකි හොඳ සෑම චිත්‍රපටයක්ම බලනවා.

පවුලේ විස්තර?

මගේ බිරිඳ නීලියා රණධීර. ඇයගෙන් මේ හැම කටයුත්තකදීම හොඳ දායකත්වයක් ලැබෙනවා. ලොකුª පුතා හේමාල් රණධීර. ආනන්ද විද්‍යාලයේ උසස් පෙළ හදාරනවා. පොඩි පුතා රුපුන් රණධීරත් ආනන්ද විද්‍යාලයේ ඉගෙන ගන්නවා. එයා තමයි කුවේණිගේ පුතාගේ චරිතය කරන්නේ.

වියපත් බඹරා ඔබේ පළමු චිත්‍රපටය අසාර්ථක වුණේ ඇයි?

අසාර්ථක වෙන්න හේතු හතරක් බලපෑවා. චිත්‍රපටය පෙන්වන්න අපි තෝර ගත්ත මංඩලය අසාර්ථකයි. පොරොන්දු වුණු චිත්‍රපට හෝල් දුන්නේ නැහැ. ප්‍රදර්ශන කළ දා සිට අධික වර්ෂාව. චිත්‍රපටය කළ අධ්‍යක්ෂවරයා නිර්මාණ තුළින් නමක් හදාගෙන නැහැ. මේ කරුණු හතර තමයි බලපෑවේ.

ඔබට මේ චිත්‍රපටය දෙස බලා අවංකවම සතුටු විය හැකිද?

අපේ ඉතිහාසය පිළිබඳ කියැවෙන මෙවැනි චිත්‍රපටයක් කරන්න දායක වෙන්න ලැබීම ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.

ඔබ ව්‍යාපාරිකයෙක්. මේ චිත්‍රපටය කළෙත් මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන්මද?

ඇත්තෙන්ම නැහැ. මොකද මේ චිත්‍රපටය කරන්න ගිය මුදලින් හාසේ‍යාත්පාදක චිත්‍රපට දෙකක් හෝ තුනක් කරන්න තිබුණා. ඒ වානිජ චේතනාව පසෙක තබා අපේ ඉතිහාසගත වෘත්තාන්තයක් කිරීමේ වැදගත්කම සලකා විජය කුවේණි නිෂ්පාදනය කළා.

ඔබ ලබපු අත්දැකීම් හා අමතක නොවන සිදුවීම්?

අපි පිලිකුත්තුවේ රූගත කිරීම් කරන වෙලාවේ අධික වර්ෂාව තිබුණා. අපි රූගත කරමින් සිටිය ගල්තලාවට අකුණක් ආවා. මෙතැන සෑහෙන පිරිසක් හිටියා. ඒ හැමෝම අත යකඩෙන් තැනුණු ආයුධ තිබුණා. අකුණෙන් ඇති වූ කම්පනය නිසා අපේ හතර දෙනෙක් රෝහල් ගත කරන්න සිද්ධ වුණා. කිසි කෙනෙකුට ජීවිත අනතුරු සිද්ධ වුණේ නැහැ. තවත් අනතුරුදායක සිද්ධියක් වුණා අනුරාධපුරේ වෙස්සගිරියේදී. රොජර් සහ දුලානිගෙ අතර ඇතිවන සටනක් රූගත කළෙත් ගල්තාවක් උඩ. එකවරම රොජර්ව ලෙස්සල වැටිල තුවාල වුණා. බැරි වෙලාවත් ඔලුව ගලක වැදුන නම් ආයි අමුතුවෙන් චිත්‍රපටය කරන්න වෙන්න තිබුණා.

නිෂ්පාදනයෙන් අධ්‍යක්ෂණයට පිවිසෙන්න ඔබෙත් බලාපොරොත්තුවක් තිබෙනවාද?

අනේ! මම නම් චිත්‍රපට අධ්‍යක්ෂණය කරන්න යන්නේ නැහැ.

සිනමාව ගොඩ ගන්න ඔබේ යෝජනා මොනවාද?

අපි මොන තාක්ෂණය යොදලා චිත්‍රපට හැදුවත් වැඩක් නැහැ. ඒවා පෙන්වන්න තියෙන චිත්‍රපට ශාලාවේ අවශ්‍යය පහසුකම් නැතිනම්. සිනමාව කියන්නේ ලෝකේ තියෙන ප්‍රබලතම ප්‍රකාශන මාධ්‍යය. මේක ගොඩ ගන්න නම් රටේ පාරවල්, පාලම්, නගර, ඉන්දන හල්, සුපිරි වෙළෙඳසල් වගේම චිත්‍රපට ශාලාත් ඉතා වේගයෙන් නවීකරණය විය යුතුයි. 1960 ගණන්වල හදපු චිත්‍රපට හෝල් වගේ තමයි අදත්. ඉතින් කොහොමද මිනිස්සු චිත්‍රපට බලන්න එන්නේ. මිනිසුන්ට පහසුකම් සැපයුවොත් ආදායම් ලැබෙයි. එතකොට නිකම්ම සිනමාව ගොඩ ගන්න පුළුවන්.

චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැලෙන්නෙක් ලෙස මේ පිළිබඳව චිත්‍රපට සංස්ථාව දැනුවත් කර තිබෙනවාද?

ඔව්, අපි කියලා තිබෙනවා. හැබැයි වත්මන් සභාපති අසෝක සේරසිංහ මහත්තයගෙන් යම් සහයක් ලැබෙනවා.

ඉතිහාස සිදුවීම් කියාපාන චිත්‍රපට රැල්ලක් ඉදිරියේදී ඇති වෙයිද?

ඇත්තටම ඔව්. ඒක කොච්චර හොඳද. හොඳ නිිර්මාණ කෙරුණොත් කිසිදු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. චිත්‍රපටය වාණිජම ද, විනෝද ජනක ද, සම්භාව්‍ය ද කියලා එකක් නැහැ. ඔක්කොම වාණිජ තමයි. ඇමෙරිකාවේ ජාතික දළ ආදායමෙන් 18% ක් චිත්‍රපට කර්මාන්තයෙන් සොයන්නේ. ඉන්දියාව 20% ක්. අපේ චිත්‍රපටයක එක පිටපතක් අද වෙනකම් ඉන්දියාවට දී ගන්න බැරි වෙලා තියෙනවා. මේව කරන්න රාජ්‍යය මැදිහත් වීම අවශ්‍යයයි.

මේ චිත්‍රපටය ඉන්දියාවට පිටපතක් යවන්න කටයුතු කරන්න කියා සංස්ථාවට ඉල්ලීම් කර තිබෙනවාද?

අපි මේ පිළිබඳ චිත්‍රපට සංස්ථාවේ සභාපතිට ලිඛිතව ඉල්ලීම් කරලා තිබෙනවා. අද වෙනකම් නිහඬව ගොලුවත රකිනවා.

චිත්‍රපට ක්ෂේත්‍රයේ නියැලෙන්නන්ගෙන් කළ යුතු ඉල්ලීමක් තිබේද?

ඔව්, පරක්කු වීම කලාවක් නොකර ගන්න.

විජය කුවේණි චිත්‍රපටය මුදලකට ගන්න පිිරිසක් බලන් හිටියා නේද?

ඔව්. කෝටි 7 කට ඉල්ලුවා. නමුත් මම දුන්නේ නැහැ. විකුණුව නම් කෝටි 2 ක් ලාබයි. බොහොම අමාරුවෙන් නොයෙකුත් දුක් විඳලා හදා ගත්ත දරුවව විකුණන්න මට හිතුණේ නැහැ. මම තිරණය කළා මම ම ප්‍රදර්ශනය කරනවා කියා.

මේ ක්ෂේත්‍රය තුළ ඔබේ ඉදිරි බලාපාරොත්තු මොනවාද?

මේ චිත්‍රපටය තුළින් ලබා ගත් අත්දැකීම් සම්භාරය එකතු කරල මීට වඩා හොඳට ‘මහ රාවන’ චිත්‍රපටය කිරීම. මගේ ඉල්ලීම තමයි විජය කුවේණි නරඹා රස විඳලා ඔබේ අදහස් දැනගෙන ඊළඟ චිත්‍රපටය සාර්ථක කර ගන්න. ඒ නිසා ඔබේ අදහස් මට ලොකු උදව්වක් වේවි.