වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ජනේෂ් සිල්වා ගැන දුක හිතෙන ආරංචියක්

ජනේෂ් සිල්වා ගැන දුක හිතෙන ආරංචියක්

අනුනට සිනාසෙන්නෝ කොතෙකුත් සිටිති. එහෙත් අනුන් සිනා ගන්වන්නෝ අපට හමු වන්නේ කලාතුරකිනි. ජනේෂ් සිල්වා අනුනට සිනා නොවී තම ගායන, රංගන හැකියාවෙන් අප සිනා සයුරේ ගිල් වූ අපූර්ව රසවතෙකි. ජනේෂ් පිය උරුමයෙන් ලද සිනහව නම් වූ ඒ අමිල දායාදය රසිකයන් අතරට ගෙන ආවේ ෆෙ‍්‍රඩී සිල්වා යන ආදරණිය කලාකරුවාගේ සුපසන් නාමය නිබඳ සිහි ගන්වමිනි.

ජනේෂ්ට පිළිකාවක්.

කනින්, කොනින් අසන්නට ලැබුණු ඒ අසුබ ආරංචිය පිළිබඳ සැබෑ තතු අප අනාවරණය කර ගත්තේ සෑහෙන කලකට පෙරාතුවය. නමුදු ඒ සෝබර පුවත අප රටට හෙළි නොකළෙමු. ඒ මාධ්‍ය සදාචාරයට අප ගරු කරනා නිසාවෙනි.

ජනේෂ්ට ‘සරසවිය’ට ආර්ටිකල් එකක් දෙන්න ඕනෑලු.

ජනප්‍රිය රංගන ශිල්පී අප හිතවත් මොහාන් හෙට්ටිආරච්චි දිනක් ‘සරසවිය’ ප්‍රධාන කර්තෘ අරුණ ගුණරත්න හට දුරකතන ඇමතුමක් දෙමින් පැවසුවේ මා ද ඉදිරිපිටය. එවේලේම ඒ කටයුත්ත මට පැවරිණ.

ඊට දින කිහිපයකට පසු මොහාන් සමඟ මමත්, ටෙනීත්, ජනේෂ්ගේ නිවසට ගොඩ වැදුනෙමු.

‘හලෝ . . . එන්න . . . එන්න . . . කොහොමද කාලෙකට පස්සේ?

ජනේෂ්ගේ සිනා සපිරි, මුඛරි හඬ අප සවනත ගැටේ. ආලින්දයේ සුව පහසු අසුනකට බර වී ඔහු අප දෙස බලා හිඳින්නේ සැබෑම ළෙන්ගතු බැල්මකිනි. ජනේෂ්ගේ ගත තරමක් වැහැරී ගොස් ඇතත් වත පුරා දිස් වන්නේ සතුටු සේයාවකි.

ඉතිං, දැන් දන්නවනේ මගේ රෝගී තත්ත්වය ගැන. පවුලේ අයයි, ළඟම හිතවත් හා ක්ෂේත්‍රයේ කීප දෙනෙක් විතරයි මේ ගැන හරියටම දැනගෙන උන්නේ. ඒත් මම හිතුවා අපේ කලාකරුවන්ගේ පත්තරේ ‘සරසවියෙන්’ මේක රටටම කියන්න ඕනෑ කියලා.

ඇයි හිටි ගමන් ඒ වගේ තීරණයක් ගත්තේ?

මෑතකදී එක්තරා රූපවාහිනී වැඩසටහනදී එක් ගායන ශිල්පියෙක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා තියෙනවා ‘ජනෙෂ්ට පිළිකාවක්’ කියලා. මම ඒ ප්‍රෝග්‍රෑම් එක බැලුවේ නෑ. බලපු අයයි කිව්වේ. එයා එක දාගන්න තමයි මේක ප්‍රසිද්ධියේ කිව්වේ. අඩුම තරමින් මාව බලන්නවත් ආව කෙනෙක් නෙවෙයි. ඇයි මේ වගේ දේවල් කරන්නේ. කවුරුත් ඕනෑ නෑ එහෙනම් මටම මේක කියන්න තිබුණනේ.

මේ ගැන රසිකයන් එහෙම දැන ගන්නවට ජනේෂ්ගේ එතරම් කැමැත්තක් නොතිබුණ වගයි පෙනෙන්නේ?

මට ලෙඩක් හැදුනා. ඒකට අවශ්‍ය ප්‍රතිකාර මම ලබා ගන්නවා. එච්චරයි. ඕක රටට අණ බෙර ගහන්න දෙයක් නෙවේනේ. අනෙක මේ ලෙඩේ විකුණගෙන කන්න මට ඕනෑකමක් නැහැ.

ජනේෂ් පවසන්නේ තරමක ආවේගයකින් යුතුවය.

මෙහෙම රෝගයක් තියෙනවා කියලා මුලින්ම දැන ගත්තේ කවදාද?

ජනේෂ්ගේ සිතිවිලි වෙනතක යොමු කරමින් මම විමසුවෙමි.

ගිය අවුරුද්දේ, ඒ කියන්නේ 2011 අගෝස්තු මාසයේ. දැන් පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබනවා. මේ දවස් ටිකේ ඉන්ජෙක්ෂන් ගහලා ඉන්නේ. තව ඉන්ජෙක්ෂන් එකක් එන්න තියෙනවා. ඒක ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න ගහන එකක්. දොස්තර පූජිත වාසලආරච්චි තමයි මගේ වෛද්‍යවරයා. ඔහු නියම කළ එන්නත මුදලින් රුපියල් 1,88,000 ක් වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් තමයි එය ලබා දෙන්නේ. අපි දැන් ඒ සඳහා ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.

ජනේෂ්ගේ බිරිය ලක්ෂ්මී එකී ලිය කියවිලිවල ඡායා පිටපත් අපට පෙන්වන්නේ ඒ පිළිබඳ අප වඩාත් දැනුවත් කරමිනි.

ජනේෂ් දවස් දහයක් විතර එක දිගට කෑම කෑවේ නැහැ. ඒ බේත් බිව්වම කන්න බැරිලු. සස්ටජන්, රෙඩ්බුල් වගේ දේවල් තමයි බොන්නේ. දියර වර්ග විතරයි. සමහර වෙලාවට මෙයාට වේදනාව ඉවසගෙන ඉන්න බෑ. ඒ වෙලාවට වේදනා නාශකවල පිහිට තමයි.

සිය රෝගය පිළිබඳ මුල්ම රෝග ලක්ෂණ ඔහුට පහළ වූයේ විදෙස් සංචාරයක් අතරතුරදීය. ජනේෂ් ඒ අමිහිරි මතකය අවධි කරන්නේ මෙලෙසිනි.

ප්‍රියංකර පෙරේරායි, මුතු තරංගයි, මමයි ගියා ඉතාලි. ප්‍රසංග ගණනාවකටම සහභාගි වූණා. ඊට පස්සේ ඔස්ට්‍රියා, ප්‍රංශය වගේ රටවලත් ප්‍රසංගවලට ගියා. මම මෙහෙන් යන්න කලින් කම්මුලට පහලින් බෙල්ල මුල පුංචි ගැටිත්තක් තිබුණා. ඔය අතරෙදි මේ ගැටිත්ත ටික ටික ලොකු වුණා. මගේ කට හඬත් වෙනස් වුණා. ඒත් රිදෙන්නේ නෑ. ප්‍රියංකර අයියා කිව්වා බේත් ගන්න යමු කියලා. මම කිව්වා දවස් තුනකින් ලංකාවට යනවනේ, ඒ ගිහින් බේත් ගම්මු කියලා.

ඊට පස්සේ?

ලංකාවට ඇවිත් ජයවර්ධනපුර රෝහලට ගියා. එහෙන් කිව්වේ මට ක්ෂය රෝගය කියලා. කෙළියක්නේ. මම සිගරට් බොන්නෙත් නෑ. ඊට පස්සේ තවත් වෛද්‍යවරයකුට පෙන්නුවා. ඔහු පරීක්ෂණ වගයක් කරලා ස්ථිර වශයෙන්ම මට පිළිකාවක් කියලා කිව්වා. පහුවදාම මහරගම පිළිකා ;රීහලේ ඇඩ්මිට්. එක ඉන්ජෙක්ෂන් එකයි ගැහවේ අර ගෙඩිය බුෂ්. දෙයියන්ගෙ පිහිටෙන් කොන්ඩෙ ගියා. නියපොතු කලු වුණා. ඒවා අවුලක් නෑ.

ඔය විදියට සේරම වෙද්දී ජනේෂ්ට මොකද හිතුණේ ජීවිතේ ගැන?

නෑ ඉතින් මට එහෙම බයක් දැනුණේ නැහැ. මේක රෝගයක්නේ. දැන් ඉස්සර නම් දියවැඩියාව කිව්වම ඒකට බයයි. දැන් දියවැඩියාව නිකං හෙම්බිරිස්සාව වගේ. දැන් පිළිකාවත් බහුල රෝගයක්. ඉතිං ඕකට බය වුණොත්නෙ ලෙඩේ. මොකටද බය වෙන්නේ. ඕවට බෙහෙත් තියෙනවා. -

දොස්තර මහත්තුරු ඉන්නවා. ඒ බෙහෙත් හරියට කළොත් දෙයියනේ කියලා අපට හොඳ වෙනවා.

මම අවුරුදු පහක්ම නොමිලේ කැන්සර් හොස්පිට්ල් එකේ සිංදු කිව්වනේ. එහෙ ඩොක්ටර්ස්ලා, නර්ස්ලා මට හොඳට සලකනවා. මේ අවුරුද්දේ මම ලෙඩේ තියාගෙන සිංදු කිව්වා. මගේ ඇක්ෂන්වලට අනෙක් ලෙඩ්ඩුන්ටත් හිනා.

ජනේෂ් ගේ කලා කටයුතු එහෙම කොහොමද දැන්?

ඉස්සර වගේ නැතත් පුළුවන් විදිහට කරගෙන යනවා. පසුගිය දවස්වල මං දිනේෂ් ප්‍රියසාද් මහත්මයාගේ ‘ඔළුව ජපන් කඳ ජර්මන්’ චිත්‍රපටයේ ඇක්ට් කළා. ඒක මෙතෙක් මම සිනමාවේ රඟපෑ හොඳම චරිතය කිව්වත් හරි. මුල් වරට තාත්තා මං වෙනුවෙන් මේ චිත්‍රපටයේ ගීයක් ගායනා කරනවා.

මොකක්ද ජනේෂ් ඒ කතාව?

මේ චිත්‍රපටය ‘සුනේත්‍රා’ චිත්‍රපටයේ නව නිෂ්පාදනයක්. තාත්තා එදා රඟපෑ චරිතය මෙදා මම කරන්නේ. ‘ප්‍රංශයෙන් රැජිනක්’ කියන තාත්තා කියපු ඒ ඔර්ජිනල් ගීතයට තමයි මම ඇක්ට් කරන්නේ. මේක මට ලැබුණ හොඳ චාන්ස් එකක්. ටෙනිසන් කුරේ, දිල්හානි අශෝකමාලා තමයි මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත රඟපාන්නේ.

ජනේෂ් කියන්නකෝ ඒ සිංදුව?

ප්‍රංශයෙන් රැජිනක් ආවා

එනවද හැකිදැයි ඇහුවා

ඔබ නිසා එන්නෑ . . . එන්නෑ . . .

කෙළෙසද ඔබ හැර යන්නේ . . .

අයි ලව්, මයි ඩියර්, අයි ලව්

ඩියර් යූ . . .

සිනහ මුවින් ජනේෂ් එසේ ගයන්නේ අප දෙසවන් රසයෙන් පුරවාලමිනි. ටෙනී, මොහාන් හා එක්ව අත්වැල් අල්ලති. අප ගත දවන විඩාව කොහේදෝ ඈතක පාවී යන්නා සේය.

මේක මම තාත්තගේ කැමැතිම ගීතයක්. මේ වගේ දුර්ලභ අවස්ථාවක් මට ලබා දුන් දිනේෂ් ප්‍රියසාද්,, මොහාන් හෙට්ටිආරච්චි යන සහෝදර කලා ශිල්පීන් මේ වෙලාවේ ආදරයෙන් සිහිපත් කරනවා. මට ආයේ අලුත් පණක් ලැබුණා වගේ.

පිළිකාව බියකරු රෝගයක් බැව් සත්‍යයකි. නමුදු පිළිකාවෙන් සුවය ලැබූ අය ද එමටය. ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක යුවරාජ් සිං ද ඔහුට වැළඳි දරුණු පිළිකා රෝගයෙන් පූර්ණ සුවය ලැබූ පුවත පසුගිය දා ජාත්‍යන්තර මාධ්‍යය වාර්තා කර තිබිණි.

තවමත් සිනා සපිරි වුවනින් ජීවිතය දෙස බලාපොරොත්තුවේ දෑස් දල්වා බලා සිටන මේ සොඳුරු හිතැත්තාට ද තවත් කලක් ජීවත් වන්නට දෛවයේ ආශිර්වාදය ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු.

මම දැන් ජීවිතය වෙනදාට වඩා අවබෝධ කරගෙනයි ඉන්නේ. සතුටෙන්, විනෝදෙන්, යාලුවෝ පිරිවරාගෙන විනෝද වෙද්දී ඒ අවබෝධය තිබුණේ නැහැ. මගේ අම්මා, බිරිය ලක්ෂ්මී, නංගී, පුතා ජනිත්, ඔහුගේ බිරිය මධාරා මධුෂානි, ඒ වගේම පවුලේ ඥාතින්, හිතවතුන් මගේ ළඟින්ම ඉන්නවා මාව තනි නොකර. මම හිතන්නේ හෙට දවස හොඳ වේවි.

ජනේෂ්ගේ පැතුම එසේම ඉටු වේවායි අපිදු ප්‍රාර්ථනා කරන්නේ ඔහු තවදුරටත් අප අතර සිටිය යුතු සොඳුරු මිනිසකු වන බැවිනි.