|
||||||||||||||
තරු මිහිර ගෙනා - උමයංගනාසතුටු කඳුළු අතරේ ජය ගී හඬ පැතිරේ
පුංචි තිරයේ දේදුනු ලෙස ඉමහත් ජනතා ප්‍රසාදයක් ලද ඈ මෙවර සරසවිය ‘තරු මිහිර’ වෙත පායන්නේ අපේ පාඨක සිත් සතන් සතුටු සයුරක ගිල්වමින් අපරිමිත විනෝදාස්වාදයක් ලබා දීමටයි. හරියටම පෙ. ව. දහය වන විට අපේ ඡායාරූපාගාරයට සියලුම පාඨක හිතවතුන් මෙන්ම ඔවුන් සමඟ පැමිණි භාරකරුවන් පැමිණ සිටියේ මේ දේදුනු දැක බලා ගැනීමේ ආශාව නිසාමයි. උමයංගනා වික්‍රමසිංහ හෙවත් අද අපේ කතා නායිකාව වන දේදුනුට ආදරය කරන මේ පිරිසගේ ප්‍රාර්ථනා දල්වමින් අපේ උමා සරසවිය ඡායාරූපාගාරයට පැමිණියේ කුමාරිකාවක මෙන් සැරසීය. ඇගේ පැමිණීමෙන් ප්රමෝදයට පත් අපේ පාඨක පිරිස ඇයව පිළිගත්තේ උණුසුම් අත්පොළසන් නාදයකිනි. ‘හරි ට්‍රැෆික් එක. ඒ නිසා මම පැය භාගයක් පමණ පමා වුණා’ කියමින් ඇය පිරිස අතරට ගියේ පුදුමාකාර ළෙංගතුකමින්. ‘මුලින්ම මට ඔයගොල්ලෝ හඳුන්වා දෙන්නකෝ’
කතාව ඇරැඹුවේ සෝමා පතිරණ. ‘සෝමා ආවේ කහවත්තේ ඉඳලා’ යැයි ඇය අනෙක් අයවත් හඳුන්වා දුන්නේ පිරිසට නායකත්වය ලබා දෙන්නාක් මෙනි. උදෑසන හතේ සිට සරසවියට පැමිණ සිටි ගිණිගත්හේනේ අනුලා, උමයංගනා දෙස නෙතු නොසොල්වා බලා සිටියි. ‘මගේ හීනයක් සැබෑ වුණා’ ‘අක්කේ ඔයාගේ පළමු ටෙලි නාට්‍ය මොකක්ද?’ ඒ නිමාලියි. සුදත් රෝහණ මහත්මයාගේ ‘කටු ඉඹුල’ ටෙලි නාට්‍යයේ කොයින් මැණිකාගේ චරිතය. එතකොට ඔයා ජනප්‍රිය වුණේ දේදුනු නිසා නේද? ඒ මධුකාගේ පැනයයි. ‘ඇත්තටම ඔව්, නමුත් ඊට පෙර මම ටෙලි නාට්‍ය කිහිපයක රඟපෑවා. නමුත් මාධ්‍ය ක්ෂේත්රයට පැමිණෙන්නේ දෙරණ නාලිකාවේ ප්රවෘත්ති ඉදිරිපත් කරන්නියක් විදියටයි. ‘ඔයාට අමතක නොවන සිදුවීමක් තියනවද?’ ඒ සෝමා එච්. පතිරණයි. ‘ඇත්තටම දවසක් රූගත කිරීමකදී මිනී පෙට්ටියක මැරුණු විදියට නිරූපණය කරන්න තියෙනවා. ඒ දර්ශනය රූගත කරන වෙලාවේ මිනී පෙට්ටිය තුළ ඉන්න කොට මට දැනුණ හැඟීම මහා අමුතුම මූසල හැඟීමක්. ජීවිතේටවත් ඒ හැඟීම නම් අමතක වෙන්නේ නැහැ.’ ඔයා රඟපෑ චරිත අතරින් කැමැතිම චරිතය මොකක්ද පුතේ? ඒ ඇමතුම ප්රේමලතාගෙනි.
‘එතකොට ඔබ අර චන්දික නානායක්කාරගේ බයික් එකේ යන දර්ශනයත් තියෙන්නේ. ඒකට බය හිතුණේ නැතිද?’ ඒ නිමාලිය. ‘ටිකක් බය හිතුණා. රූගත කිරීමක් නිසා එච්චර වේගයෙන් යන්නේ නැහැනේ.’ උමයංගනා දෙස නිහඬව බලා සිට අජිත් කතාබහ ඇරැඹුවේ මේ පැනයෙනි. ‘ඔබතුමියට ගීත ගයන්න පුළුවන්නේ. අපි ගීතයක් ගායනා කරමුද?’ ඒ පැනයේ තිබූ ආරාධනාවට හැමට සතුට කැඳ වූ මොහොතක් වූයේය. මොහොතකින් උමාගේ කන්කළු හඬ අවදි වුණා. ගැයුණේ ‘රෑන ගිරා රෑන අඹේ මී බිබි ’ යන ගීතයයි. ඒ ගීතයට තාලයට අත්පොලසන් දීමටත් ඉදිරියට පැමිණ නර්තනයටත් අපේ පාඨකයන් උත්සුක වූහ. සෝමා එච්. පතිරණ රැගෙන ආ කහවත්තේ වටිනා මැණික් කිහිපයක් හා තවත් තෑගි කිහිපයක් උමයංගනාට ලබා දුන්නේ දැඩි සෙනෙහසිනි. ‘තරු මිහිරේ’ තෑගි අනුග්‍රාහකයා වන ලක්සළු සල ආයතනයෙන් මෙවර ද පාඨකයන් වෙත තෑගි වවුචර පිරිනැමුවේ විශේෂත්වයක්ද සමඟිනි. ඒ ලක්සළු සල ආයතනයේ සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරන උමයංගනා අතින් වීමයි. කතබහ මෙසේ රසවත්ව ඇදී යන අතරතුර කේක් සංග්‍රහයක්ද පැවැතුණි. රසවත් වූ කේක් කමින් ගෙවූ මොහොත සුන්දර යැයි දැනුණේ කාල වේලාව ගලා යන බව නොදැනුණ නිසයි. අපේ ආදරණීය උමයංගනා ද අජිත්ගෙන් ඉල්ලා සිටියේ ගීතයක් ගායනා කරන ලෙසයි. අජිත්, එච්. ආර්. ජෝතිපාලයන්ගේ ‘මේ නොනිමෙන දිවි ගමනේ’ ගීතය මිහිරි හඬින් ගායනා කළේය. අක්කේ ඔයා ‘වස්සානේ සෙනෙහස’ චිත්‍රපටයට කැමැතිද? මධුකා සුපුරුදු විදියට පැනයක් විමසුවේය. ඇත්තටම මගේ රඟපෑම් ගැන නම් මා සතුටු වනවා. ඔයාලත් මගේ අඩපාඩු කියන්න කෝ.’ ගීත ගයන්න ප්‍රසංග වේදිකාවට එන්නේ නැතිද? ඒ නිමාලියි. ‘මම ප්‍රසංගවලට තෝරා බේරාගෙනයි සහභාගි වෙන්නේ. මොකද කාලය කළමනාකරණය වැදගත් නිසා.’ රණවිරු රියල් ස්ටාර් වැඩසටහන මෙවර මෙහෙය වන්නේ නැත්තේ ඇයි? ඒ අනුලාගේ පැනයයි. ‘මට කාර්යබහුල වීම වැඩි නිසා මෙවර ඉන් ඉවත් වුණානේ’ මේ සියලු කතාබහ අතර නොදැනීම කාල වේලාවත් ඉක්මවා ගොසින්. ඔවුනොවුන්ගේ සිප වැළඳ ගැනීම් හා වෙන්වීමේ දුක සහ හමුවීමේ සතුට මැද උමයංගනා සමඟ ගෙවූ රස මොහොත නිමාවට පත්වීමට කාලය එළඹ ඇත. එහෙත් අනුලාට නම් උමයංගනා අතහැර යාමට නොහැකි සේ දුකින් වෙලී ඇත. එය මනාවට පසක් වූයේ ඇගේ දෑසින් නැඟුන සිහින් කඳුළු කැටවලිනි. නමුත් සියලු දෙනාගේ සුබපැතුම් මැද තරු මිහිරක නැවුම් මොහොතක් මෙසේ නිමාවට පත් විය.
|
||||||||||||||