වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




ඇරීනාවේ හිඳ ලියමි
අපේ රටේ දූ දරුවනට ජැක්සන් ඇන්තනි තිළිණ කරන නාට්‍ය හා රංග කලාව - 47

ඇරීනාවේ හිඳ ලියමි

ගිය සතියේ ඔබට පෙරොන්දු වූ ප්‍රකාර මම රෝමානු අර්ධද්වීපය හෙවත් ඉතාලිය වෙත පැමිණ සිටිමි. ග්‍රීක සම්භාව්‍ය නාට්‍ය කලාවට රෝම යුගයේදී වෙනස්කම් රැසකට පාත්‍ර වූ බව අපි ලංකාවේ සිට පොත පතින් අසුරු කර ඇත්තෙමු.

මම මීට ඉහත වතාවක ග්‍රීසියේ පෞරාණික ඇතෑන්ස් නුවර අති විශාල ඇම්ෆිතියටර් නම් වූ මහා ඇරීනාවට ද ගොස් ඇත්තෙමි. ග්‍රීක මහා ඇරීනාව රෝමයේදී කුඩා ඇරීනාවක් බවට පත්ව ඇත. ග්‍රීසියේ පැවති මහා ගාම්භීර ට්‍රැජඩිය රෝමයේදී චූල සුඛාන්ත කොමඩිය බවට පත් වී ඇත. පෞරාණික ග්‍රීක සම්භාව්‍ය කලා සම්ප්‍රදාය රෝමයේදී වාණිජකරණයට හසු වී කාම සුඛල්ලිකානුයෝගී සංකේත කලාවක් බවට පත් වූවේය.

ග්‍රීසියේදී දෙවියන්ට පුද පිණිස පැවැත් වූ සම්භාව්‍ය උත්තම කලා මාධ්‍යය රෝමයේදී දෙවියන්ගෙන් දඬුවම් ලබන සුඛ කාමභෝගී ගති චර්යාවක් බවට පත් විය. ඊට බෙහෝ මෑත කාලයක ෆෙඩ්‍රික් ඒංගල්ස් විසින් රුසියානු විප්ලවය අරභයා ප්‍රකාශ කළ විශ්ව සාධාරණ මත අතර මෙවැන්නක් තිබේ. ‘මිනිසා ඉදිරියට තැබූ හැම පියවරක්ම ආපස්සට තැබූ පියවරක් ද වන්නේය.’

ග්‍රීසිය රෝමය බවට පත් වීම මිනිසා ඉදිරියට තැබූ පියවරක් නම් එය ආපස්සට තැබූ පියවරක්ද විය යුතු බව ඒංගල්ස්ට අනුව සිතන්නකුට පැහැදිලි වේ. ග්‍රීසියේදී ඊස්කිලස්, යුරිපිඩීස්, සොෆොක්ලීස්, ඇරිස්ටොෆනීස් ආදී විධග්ධ නාට්‍යකරුවන් රැසක් හමු වෙතත් රෝමයේදී අපට හමුවන්නේ ප්ලෝටස්, ටෙරන්ස් සහ සෙනකාගේ නාට්‍ය කෘති පමණකි. මා සිංහල වේදිකාවේ රංගාභිෂේකය ලැබුවේ ’තාරාවෝ ඉගිලෙති’ නාටකයේ පුණ්‍යසිරි හෙවත් ‘පිනා’ගේ චරිතය රඟපෑමෙනි.

මහා ඇරීනාව

කුඩා ඇරීනාව

ලූෂන් බුලත්සිංහලයන් ’තාරාවෝ ඉගිලෙති’ නාට්‍ය සඳහා පාදක කොට ගත්තේ ප්‍රකටතම රෝම නාට්‍යකාර ටයිටස් මැසියස් ප්ලවුටස් හෙවත් ප්ලෝටස් නමින් වර්තමාන ලෝකයම හොඳින් අධ්‍යයනය කරන රෝම නාට්‍යකරුවාගේ මීනීච්මයි නිවුන්මෝ (THE TWIN MENAECHMI) නමැති සුඛාන්ත නාට්‍යයෙන්ය. බුලත්සිංහලයන් සිංහලයට අනුවර්තනය කරන පිනාගේ චරිතය ප්ලෝටස්ගේ නාට්‍යයේ එන්නේ මෙසේනියෝ නම් වහලාගේ නමිනි.

ඔහු ප්ලෝටස්ගේ නාට්‍යයේ 1 වෙනි මිනීච්මයි සහෝදරයාට සේවය කරන ලෙසින්ම පිනා හෙවත් පුණ්‍යසිරි සිංගප්පූරුවේ වසන විජය නම් වෙළෙඳ ප්‍රභූවරයාට සේවය කරයි.

දැන් පුණ්‍යසිරි රෝමයට පැමිණ සිටී. ක්‍රිස්තු පූර්ව 25 4 සිට 184 දක්වා රෝමයේ ජීවත් වූ ප්ලෝටස්ගේ ’මිනීච්මයි නිවුන්නෝ’ නම් සුඛාන්තය වේදිකා ගත කළ පොම්පේ නගරයේ ඇරීනා තියටරය උඩ ගල් පඩියේ හිඳගත් පුණ්‍යසිරිගේ වෙස් ගත් මම මේ සටහන ලියන්න ආරම්භ කළෙමි.

මා පොම්පේ නගරයේ ඓතිහාසික ඇරීනාව මතට නැග ගත් තුන්වෙනි අවස්ථාව මෙයයි.

1993 දී ලාංකීය නාට්‍යකරුවන් පිරසක් සමඟ මම මේ පෞරාණික නගරය වෙත ආවෙමි. ජයන්ත චන්ද්‍රසිරිගේ ‘ඔත්තුකාරයෝ’ නාට්‍යය ඉතාලිය තුළ ප්‍රදර්ශනය කිරීම සඳහා එහි පැමිණි නාට්‍යකරුවන් අතර ජයන්ත චන්ද්‍රසිරි, ජයලත් මනෝරත්න, ශි‍්‍රයන්ත මෙන්ඩිස්, කමල් අද්දරආරච්චි, සේනක ටයිටස් සහ මා ද සිටියේය.

එදා පළමුවරට මේ අති විශාල පොම්පේ නගර කෞතුකයත්, ඇරීනා තියටරයත් දැක බලා සතුටු වූ මම ඉන් පසු 2005 වර්ෂයේදී යළිත් ‘රෝම පුරාණය’ නම් මගේ සංචාර ටෙලිවිෂන් වැඩසටහනට ඇරීනාව රූගත කිරීම සඳහා ද මෙහි පැමිණ ඇත්තෙමි.

දැන් සාර්ථක තුන්වෙනි වතාවට ද මා මෙහි පැමිණ ඇත්තේ ‘කුස පබා’ චිත්‍රපටයේ යුරෝපීය දර්ශන දියත් කරන මංගල දර්ශනයට සහභාගී වීම පිණිසයි.

අදාළ දර්ශනයට දින කිහිපයකට පෙර ඉතාලියට ගොඩ බට මා ඇතුළු මහාචාර්ය සුනිල් ආරියරත්න, සුනිල් ෆොන්සේකා සහ ජයන්ත ජයලත් යන සංචාර ප්‍රියයන් පොම්පේ නගරය වෙත සංචාරය කොට දැන් මේ ඓතිහාසික ඇරීනාව මත හිඳගෙන සිටී.

පොම්පේ නගරය විනාශයට පත් වූයේ ක්‍රිස්තු වර්ෂ 79 දීය. ඒ විසුවියස් ගිනි කන්දෙන් වීසි වූ අළු හා ලෝදිය කඳ දින තුනක් ඇතුළත මේ නගරය වසා ගත් නිසාය. ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ඔගස්ටස් සීසර්ගේ යුගයේදී බිහි වූ පොම්පේ නගරය ක්‍රිස්තු වර්ෂ 79 දී විනාශ වන විට එහි ශත වර්ෂ 04 කට ආසන්න වූ රෝම සංස්කෘතියක් ගොඩ නැඟී තිබුණි.

පොම්පේ සිට විසුවියස් දර්ශනය වීම

ක්‍රිස්තු වර්ෂ 79 දී සිදු වූ විසුවියස් විදාරණයෙන් වැසී ගිය මේ නගරය ක්‍රිස්තු වර්ෂ 18 වන ශත වර්ෂය දක්වාම පැවතියේ විශාල කළුගල් ප්‍රාන්තයක් පරිද්දෙනි.

1700 මුල් කාර්තුවේදී කැනීම් ආරම්භ කොට තවදුරටත් තහවුරු කරමින් පවතින මේ පුරා විද්‍යා විශ්මය තුළ තිබී හමු වූ දියුණු රෝමානු ඇරීනා යුග්මය අපට ඓතිහාසික රෝම නාට්‍ය යුගය පිළිබඳ හදාරන්නට ඉතා හොඳ මූලාශ්‍රයක් වේ.

මෙය රඟහල සංකීර්ණයකි. ඉතා විශාල ඇරීනාවක් සහ මධ්‍යම ප්‍රමාණයේ ඇරීනාවක් වශයෙන් දෙඅයුරක රෝම වේදිකා මම මෙහිදී දැක ගත්තෙමි. දැනට ඉතිරිව ඇත්තේ ඇරීනාවෙ ගඩොල් බිත්ති, වේදිකා පාදම, නේපථ්‍යාගාරය, ද්වාර කපොලු, සංගීත පාදම සහ අවානාකාර ප්‍රේක්ෂකාගාරය පමණි.

දැනට මේවා අහසට විවර වී පැවතුන ද අතීතයේදී පදම් කොට ගත් විශාල හම් ආවරණයකින් මෙහි කූඩාරම් වහලක් ඉදි වී තිබූ බවට සාධක ඉතිරි වී තිබේ. මධ්‍යම වේදිකාව ස්ථිර වහලයක් ද මහා වේදිකාවට හැකිලිය හැකි කූඩාරම් වහලයක්ද තිබී ඇති බව තහවුරු කරගෙන ඇත.

මා අත්දුටු තවත් සාධකයක් වන්නේ නෘත්‍ය ශාලා සංකිර්ණය ඉදි වී ඇති මුළු ප්‍රදේශයම නගරයේ විනෝදය, වින්දනය සහ දුරාචාරය වෙනුවෙන් වෙන්ව ඇති කලාපය වීමයි. ඇරීනාවට දකුණින් ඇත්තේ ග්ලැඩියේටර් සටන් දර්ශන සහිත අංගනයි. මේ නගරය පුරාම මත්පැන් ශාලා සහ සම්බාහන ආයතන හමු වෙතත් වෛශ්‍යා වෘත්තිය සඳහා වෙන් කොට තිබූ වීදිය ඇත්තේ ද රහගල අසලමය.

ශ්‍රී ලංකාවේ සංචාරක නාට්‍යකරුවකු වන මා මේ අත්විඳින ප්‍රායෝගික ඥාණය වනාහි රෝම නාට්‍ය යුගය පිළිබඳ පොත පතින් සහ දේශනයෙන් මා ලබා තිබූ න්‍යායික දැනුමේම දිගුවකි.

ග්‍රීක නාට්‍යයේ තිබූ සම්භාවනීය ජීවිත පරිඥාණය වෙනුවට රෝම නාට්‍යයේ ප්‍රමුඛ විෂය වී තිබුණේ සුඛාස්වාදය යැයි අපි ඉගෙන ගතිමු. රෝම අධිරාජ්‍යය මුළු මධ්‍යධරණි කලාපයම සූරාගෙන එකතු කළ මහා ධනයෙන් ආඪ්‍යව වැජඹුනි. යුරෝපීය වැඩවසම් රදල ප්‍රභූවරු තමා සතු ධනය වැය කොට ඉතා කාමසුඛල්ලිකානුයෝගී ජීවිත ගත කළෝය. නාට්‍ය කලාව ද මේ සුඛ පැවැත්මේම අතිරේක අංගයක් වී තිබුණි.

ග්‍රීසියේ ඇතෑන්ස් නාට්‍ය උළෙල ලෙසින්ම ප්‍රභූ අනුග්‍රාහකයන් සහ රජයේ ධන යෙදවුමෙන් රෝම නාට්‍ය ප්‍රසංග ද පැවැත්වුණි. එහෙත් ග්‍රීසියේ පැවැත් වූ නාට්‍ය උළෙලවල ප්‍රධාන සම්භාවනීය අංගය වූයේ ට්‍රැජඩි හෙවත් දුඛාන්ත නාට්‍යයයි. එහෙත් රෝම යුගයේ පැවති විනෝද ක්‍රීඩා, සළිල ක්‍රීඩා සහ තරග ක්‍රීඩා අතර පෙන් වූ නාට්‍ය උත්සවයේ ප්‍රධාන තැනක් හිමි වී තිබුණේ ජනප්‍රියත්වය අරමුණු කොට ගත් සුඛාන්ත හෙවත් කොමඩි නාටකයටය.

මේ කාම සුඛල්‍යය ඉහවහා ගිය නගරය ලෙස නම් දැරුවේ පොම්පේ නගරයයි. පොම්පේ රදලවරුන්ගේ මන්දිර බිත්තිවල ඇඳ තිබූ රමණ චිත්‍ර අතර වහල් කන්‍යාවන්ට පුහුණු කරන ලද අශ්වයන් ලවා දූෂණය කරවන අවස්ථා සහිත චිත්‍ර ද තිබුණි.

   දේව ධර්මය ඉහවහා ගිය කාමභෝගය ඉවසුම් නොලද ඇපලෝ දෙවියන්ගේ ශාපයෙන් විසුවියස් විදාරණය වී මේ සුඛාන්ත නගරය විනාශ වූයේ යැයි රෝම ඉතිහාසය ලියූ ජ්‍යෙෂ්ඨ ජලිනි ලියා තැබුවේය. මම ඇරීනාවේ අර්ධ කවාකාර වේදිකා මණ්ඩපය වෙත අවතීර්ණ වූවෙමි. මගේ රටේ දරු දැරියන්ට රෝම නාට්‍ය කලාව පිළිබඳ කියා දෙන්නට මේ පුරා වස්තුව අගනා ඇකඩමියකැයි මට සිතේ.

එහෙයින් එන්න,

ඇරීනාවේ දිග පළල මනින්න

මේ හොඳම මණ්ඩපයයි