|
රසිකයෙක් වෙනුවෙන් අමීර්ගෙන් කැපවීමක්
රික්ෂෝ රියැදුරකු වූ රාම්ලඛන් අමීර්ට මුණ ගැසුණේ ‘ත්‍රී ඉඩියට්ස්’ සිනමා පටය රූගත කරන අතරතුරදීය. සැබැවින්ම ඒ හමුවීමේ කතාව සිනමා අන්දරයක් තරමටම සුන්දරය. ඒ ‘ත්‍රී ඉඩියට්ස්’ සිනමා පටය ප්‍රවර්ධනය කරන කාලයයි. සිනමා පටය ප්‍රවර්ධනය කිරීමේ එක් පියවරක් ලෙස අමීර් වියපත් මිනිසකු ලෙස වෙස්වලාගෙන වරණාසි නුවර පුරා දින තුනක් සැරිසැරුවේය. එහිදී ඔහුට ලඛන් මුණ ගැසුණු අතර එකම වයසේ පසු වූ දෙදෙනා අතරේ අපූරු සුහදත්වයක් ගොඩ නැඟුණි. මිත්‍රත්වය කෙතරම් දුර දිග ගියා ද කිවහොත් අමීර්ට සිය පුතුගේ විවාහ මංගල්‍යයේ සුවිශේෂී අමුත්තා වශයෙන් සහභාගිවීමට ඇරියුම් කළේය. කෙතරම් කාර්ය බහුල වුණත් මිතුරාගේ පොරොන්දුව අමතක කළේ නැත. නිල් පාට ඩෙනිමකින් සහ සුදු කුර්තාවකින් සැරසී අමීර් වෙලාවටම පැමිණියේය. රාම්ලඛන් රික්ෂෝකරුගේ පුතුගේ විවාහය රජ මගුලක සිරි ගත්තේය. එය බොලිවුඩ් තිරයේ සිත්තම් වන විවාහයක් තරමටම සුන්දර විය. ඒ මේ සුපිරි ඛාන් රජු පැමිණෙන බවට ලැබුණු ආරංචියෙන් මාධ්‍යවේදීන් සහ රසිකයන් පොදිකමින් බලා සිටි නිසයි. උතුරා ගිය ප්‍රීතිය නිසාදෝ අමීර් ඛාන් මංගල වේදිකාවෙන් සිනාසෙමින්ම බිමට වැටුණේය. එහෙත් ඔහුට සීරිමක් තරම්වත් තුවාලයක් සිදු වුණේ නැත. අමීර් ඛාන් තමන්ගෙන් වචනයක් බලාපොරොත්තු වන මාධ්‍යවේදීන්ට මෙසේ කියා සිටියේය. ‘මේ මගේ මංගල රූපවාහිනී නිර්මාණය, ‘සත්‍යමේව් ජායතේ’ ප්‍රවර්ධනය කිරීමට ආපු ගමනක් නෙවෙයි. අවුරුද්දකට කලින් රාම්ලඛන් මිතුරා කළ ආරාධනාවට ආවා. මේ මගේ මවගේ ගමයි. ඒ නිසා වරණාසි මට වඩාත් ආදරණීය ලෙස සමීපයි. ඒ සමීප බව මේ මිත්‍රත්වයෙන් වැඩි වුණා.’ අමීර් මංගල සාදයේ අඩ හෝරාවකට ආසන්න කාලයක් රැඳී සිටියේය.
අමීර් වගේම අමීර්ගේ පුතු අසාද් ද දැන් තරුවක් ලෙසින් කතාබහට ලක් වන්නට පටන් ගෙන ඇත.
එය අසාද් ඛාන් නම් ගිනි පුපුර බොලිවුඩයේ දැල්වෙනු ඇති බවට ඉඟියකි. ඔහු දොරට වඩින්නේ
පියාගේම ‘සත්‍යමේව් ජායතේ’ රූපවාහිනී වැඩ සටහනෙනි. එහෙත් සිඟිති අසාද් දෙස දැන්මම
රසික නේත්‍ර දිෂ්ටිය වැටෙනවාට අමීර් බිරිය, කිරන් නම් කොහෙත්ම කැමැති නැත.
|