වර්ෂ 2012 ක්වූ මැයි 03 වැනිදා බ්‍රහස්පතින්දා




සංජය ගුණවර්ධනගේ නවතම ටෙලි නාට්‍ය

සංජය ගුණවර්ධනගේ නවතම ටෙලි නාට්‍ය

මුතුගෙන් මල් ගන්න බැතිමතුන් පෝලිමේ නිල්වලා ගඟේ කිඹුල්ලු ගැන කතරගමදී කතාවක් පෙරදා රාත්‍රියේ ඇද වැටුණු පොද වැස්සෙන් ප්‍රාණවත් වූ කතරගම කරවිලේ වැව ළහිරු සමඟ ප්‍රේම සල්ලාපයකය. වැහි දියෙන් පෝෂණය වූ හරිත විසල පරිසරයට ගෙන දෙන්නේ අමිල විචිත්‍රත්වයකි. වැව් ඉහත්තාවෙන් හිරු නැගෙන දර්ශනය බලා හිඳීම මේ මොහොතේ මාගේ ප්‍රියතම කටයුත්තයි.

පෙරදා රැය මිහිරිය. සරලය. නමුදු රැය නොනිදාම පහන් කිරීමට සිදු වූයේ අනපේක්ෂිත සිදුවීමකිනි.

සංජය ගුණවර්ධනගේ ‘ඉතිරෙන කිරි’ ටෙලි නාට්‍යයේ දර්ශන තලය පිළිබඳ ලිපියක් සැකසීමට කතරගම යා යුතු යැයි දැනගත් මොහොතේ මගේ සිතට නැඟුණේ සතුටකි. විනෝදබර සංජයගේ දර්ශන තල කිහිපයක මිහිරියාව මීට පෙර ද මම විඳ ඇත්තෙමි.

පෙර දිනයෙහි රැය නොනිදා ගෙවීමට ඇරැයුම රැගෙන කොළඹ සිට පැමිණියේ අපේ සමීපතම සගයෙකි. ඒ අසංක දේවමිත්‍ර පෙරේරාය. රාජකාරී නිමා වී කොළඹින් හවස 6.00 ට පමණ කතරගම දර්ශන තලය බලා පිටත් වූ අසංක ගමන නිමා කළේ මැදියම් රැය ඉක්මී පැය දෙකක් ගෙවී ගිය තැනදීය. ඔහුගේ ගමනේ නිමාව අපේ නින්දට ලබා දුන්නේ නිමාවකි.

තාරුණ්‍යයේ රාත්‍රිය රැගෙන පැමිණි අසංක සමඟ අපි ආගිය තොරතුරු ගැන කතාවට වැටුණෙමු.

‘කොහොමද අසංක හරියටම මේ කාමරේ ඉන්නෙ කපිල සිගේරා කියලා දැනගත්තෙ’.

පැනය ටෙලි නාට්‍යයේ නිෂ්පාදක කුමාර වඳුරැස්සගෙනි.

‘මොනව හොයන්නද කුමාර අයියේ, මං එන කොට මුළු හෝටලේම තිබුණේ එකම සද්දයයි. ඒ ගොරවන සද්දේ කපිලගෙ කියල මං දන්නවනෙ. කාමරේ හොයා ගන්න අමාරු වුණේ නෑ. කපිලගෙ ගෙරවිල්ල දිහාවට ආවම කාමරේ හම්බ වුණා.

අසංක කීවේ සියල්ලන් සිනහ ගන්වමිනි. ඒ සිනහවෙන් මැකීගිය කණ්ඩායමේ නිදි බරිත ගතියත්, අසංකගේ ගමන් වෙහෙසත් රාත්‍රිය තරුණ කලේය.

‘හෙට උදේම අපි වැවට යනවා. ඊට පස්සෙ කිරි වෙහෙරට යනවා.’

සංජය කීවේ සියලු දෙනාගේ දැනුවත්වීම උදෙසාය.

අද මේ අසිරිමත් වැව් තටාකය අසලට අප පැමිණියේ දර්ශන කිහිපයක් රූගත කරනු දැක බලා ගනු පිණිසය.

ඇතැමෙතු අවධි වුවද අප කිහිප දෙනකු අවධි නොවූයේ රාත්‍රිය නොනිදා පහන් කළ හෙයිනි. තරවිලේ වැව අසල අද රූගත කිරීමට නියමිත මුතු තරංගා සහ ශාලිකා එදිරිසිංහ මල් නෙලනා දර්ශනයකි. මෙම අසිරිමත් කතා පුවත දිවෙන්නේ තිස්ස කතරගම ආශ්‍රිතව ජීවත්වන මල් විකුණන යුවතියක වටාය.

විවිධ හැල හැප්පීම් බාධක හමුවේ යන ඇගේ ගමන මෙන්ම හමුදා නිළධාරියකු අතර ඇතිවන ප්‍රේම සබඳතාවක් මේ කතාව තුළ ගලා යන්නේ හරිම අපූරුවටය. දැන් දර්ශනයට සියල්ල සූදානම්ය.

දියෙන් පිරි වැව් තලයේ මඳ සුළඟට වැනෙන නෙළුම් යාය කැමරාවට හසු වූයේ අලංකාර දසුනක් ලෙසය. ඉන් අනතුරුව වැවට වැටෙනා මුතු බේරා ගැනීමට ශාලිකා දියට බැසිය යුතුය.

කෙසේ හෝ දර්ශනය රූගත කළ ද අවසන දෙදෙනාම දර්ශනය නැරැඹුවේ අස්වැසිල්ලකින් නොවන බව රැඳුණේ මුහුණේය.

‘හපෝ . . . මං පැනල තියෙන්නෙ ගෙම්බෙක් වගේ’

දෙදෙනාම ස්ව කැමැත්තෙන් නැවත දර්ශනයේ රූගත කිරීම් වෙත යොමු වූයේය. කාෂ්ඨක අව්ව නොතකා දෙදෙනා නැවත දර්ශන තලයට ගියේ මුව පුරවා ගත් සතුටිනි. කිහිප වරක් මුතූට ගිලෙන්නටත්, ශාලිකාට පනින්නටත් සිදු වූයේය.

දර්ශනය අවසානයේ සියලු දෙනා ඈත තුරු සිරසක් යට ගිමන් හරිමින් උන්නේය. වැව් බැම්ම දිගේ පා පැදියෙන් පැමිණි තරුණයා නතර වූයේ මුතු ළඟය.

‘දවස් කීයක් මෙතන ඉන්නවද?’

‘අද ඉවරයි මල්ලී’

මුතු පිළිතුරු දුන්නේ නිරහංකාරවය.

‘මේ වැවේ මාර කිඹුල්ලු කන්දක් නෙ ඉන්නෙ. කෙස් ගානට කිඹුල්ලු සූ ගාලා’ තරුණයා යන්නට ගියේය. ඉන් අනතුරුව නිල්වලා ගඟේ මිනී කන කිඹුලන් ගැන මුතු කතාවට වැටුණේ වේගයෙන් ගැහෙන හදවත අවනත කර ගැනීමටය.ඒ තරුණයා උගන්වා එවූ අයකු බව අද ද මුතු නොදන්නේය.

‘මල්ලි අර අක්කලට කියහං මේ වැවේ මිනී කන කිඹුල්ලු ඉන්නව කියලා’

එසේ කීවේ බිමල් ජයකොඩිය. රසවත් සිදුවීම් මැද වැව් ඉවුර අසබඩ දර්ශන නිමා වූයේය. ඉන් අනතුරුව රූගත කිරීමට සංවිධානය වූයේ කිරි වෙහෙර අසලය.

මුතු තරංගා මල් කඩයකට වී උන්නේ සිනාසෙමිනි.

‘අපි කැමරාවට ඉස්සර වෙලා රියසල් එකක් බලමු’ සංජය කීවේ සිනාසෙමිනි.

දැන් මුතු මල් කඩයට වී හිඳියි. සංජයගේ විධානයෙන් දර්ශනය ඇරැඹිණ.

‘අනේ එන්නකෝ . . . අපෙනුත් මල් ගන්නකෝ . . . සියයට දහයක් දෙනවා. මේ . . . මේ . . .මගෙනුත් ගන්නකෝ . . .’ මුතු ගේ රිද්මයානුකූල හඬ ගිරිය අසා උන්නේ සිනහව තද කර ගනිමිනි. ස්වල්ප වේලාවකට අනතුරුව මල් කඩය අසලට පැමිණි කිහිප දෙනකු කඩය දෙස නොබලා මල් ඉල්ලමින් කඩය වටේ පිරික්සයි.

‘මල්මාල කීයද?’

කඩේ ඇතුළෙන් කිසිදු හඬක් නොවූ තැන කුඩා කඩය දෙස බැලූ පිරිසට දැකගන්නට ලැබුණේ මුතුය.

‘ආනේ . . . මොකද මේ . . .’ පිරිසෙහි සිටි තරුණිය ඇසුවේ විමතියෙනි.

මේ සියල්ල දෙස පිරිස බලා උන්නේ සිනහසෙමිනි. දර්ශනය අවසානයේ නැවත සියලු දෙනා පැමිණියේ ගිමන්හලටය.

‘අද නම් වේලාසනින් නිදා ගමු ළමයි’

කුමාර වඳුරැස්ස හෝටලයට ගොඩ වූයේ ගිමන් නිවමිනි.

‘ඔව් . . . පාන්දර හතරට විතර වේලාසනින් නිදා ගමු’ කීර්ති රංජිත්ගේ සිනහව සියල්ලන්ට ගෙන ආවේ ප්‍රබෝධයක්.

රාත්‍රිය පුරාවට විවිධ රස කතා මණ්ඩපයකි. නෙතලි නානායක්කාර, මියුරි සමරසිංහ වැනි ප්‍රවීණයන් මෙන්ම නවකයන් ද මේ සතුට අතෙර්ය. රස කතා මෙන්ම ක්ෂේත්‍රයේ නිවැරැදි ගමනකට මාර්ගෝපදේශ කතා සහ රංගන ගැන කතා ද මේ රාත්‍රිය නිමා වන්නට ඉඩ දෙන්නේම නැත.

අසංකගේ ගීත නාදයත්, කුමාර ගේ තාලයක්, බිමල්ගේ අත්වැල් ගායනයත් මේ රැය රසාලිප්ත කරයි.

සංජයගෙන් ගිළිහෙන බලාපොරොත්තු පිරුණු වදන් ඉතිරෙන කිරි සාර්ථකත්වය පිළිබඳ කදිම ඉඟියක් ලබා දෙයි.

නමුඳු රාත්‍රිය තවම තරුණය . . .

ගමන සාර්ථකය . . . දිගුය . . .