වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




25 Frames

 

චාමරගේ රාහු අ.යි.ටී.එන් අල්ලයි

මේලොව පැවතෙන්නේ යම් නියමයක් අනුවය. විද්‍යාත්මකවද එය පැහැදිලි කොට ඇත්තේය. එහෙත් කිසියම් කෙනෙක් ලොව පැවතෙන ඒ නියමය එය නොවේ මෙය යැයි පැවසුවහොත් කුමක් සිදුවෙයිද. එපමණක් නොව එම තැනැත්තා ඉන් සමස්ත පද්ධතියම වෙනස් කරන්නට හැදුවහොත් කුමක් සිදුවෙයිද. චාමර පීරිස් එම සංකල්පය යොදා ගනිමින් සිය නවවැනි ටෙලි සිතුවම නිර්මාණය කොට තිබේ. එයට ඔහු නම තබා ඇත්තේ රාහු ලෙසටය.

මේ දිනවල ස්වාධීන රූපවාහිනියේ සතියේ දිනවල රාත්‍රී 9.30 ට රාහු විකාශය වේ. බිමල් ජයකොඩි, සුජානි මේනකා, රොෂාන් පිලපිටිය, උමයංගනා වික්‍රමසිංහ, යශෝධා විමලධර්ම, රශිප්‍රභා සංදීපනී, චමිලා පීරිස්, චින්තක කුලතුංග, චින්තක වාස්, නදීශානි පේළිආරච්චි, අංජන ප්‍රේමරත්න, මිලින්ද මඩුගල්ල, ලුඩ්මිලා කිරිල්ලෝවා රාහු හැඩකරන ප්‍රධාන නළු නිළියන්ය. ජයශ්‍රී සංගීත කණ්ඩායමෙ මියුරු ගැයුමෙන් හැඩගැන්වුණ රාහු හි කැමරාකරණය සරසවිය සම්මානලාභී චන්දන ජයසිංහගෙනි. ලක්රුවන් ද සේරම් සංස්කරණ ශිල්පියාය.

මයුර වික්‍රමරත්නගේ සංගීත අධ්‍යක්ෂණයකි. මාලින්ද මධුසංඛ කලා අධ්‍යක්ෂවරයාය. අරුණ ශාන්ත ජයසූරිය අංගරචනයෙන්ද, කීර්ති රුවන් ලාල්සන් සහාය අධ්‍යක්ෂණයෙන්ද තුෂානි බුලුමුල්ල ගීපද රචනයෙන්ද මෙයට දායක වේ. ඒකාකාරී වූ ටෙලි නාට්‍ය රැල්ලෙන් මිදුන රාහු ඔබට වෙනස්ම අත්දැකීමක් ගෙන එනු ඇත.


තාත්තාට රසික සෙනෙහස

පිය සෙනෙහසට කවි ගී ලියවුණා මදි කියා ලියැවුණේ මවකගේ අතිනි. ඒ එය එතරම්ම උතුම් වූ බැවිනි. බොහෝ දෙනෙකුට හසු නොවන බොහෝ දෙනෙකුට නොපෙනෙන පිය සෙනෙහස පාදක කර ගනිමින් ටෙලි සිතුවමක් නිර්මාණය වුණේ තාත්තා නමිනි. ලලිත් රත්නායක එය අධ්‍යක්ෂණය කළේය. තනි අතට යන පාර, තෙත් සහ වියළි, අරුංගල් ආදී ටෙලි සිතුවම් ඔස්සේ සම්මානනීය වූ ලලිත් තාත්තා හරහා තවත් අලුත් ගමන් මඟක් සනිටුහන් කළේ පෙර නාට්‍යවලට වඩා ජනප්‍රියත්වය ද ළඟා කර ගනිමිනි. හේමසිරි ලියනගේ, අයිරාංගනී සේරසිංහ, කෞශල්‍යා ප්‍රනාන්දු, ශ්‍යාමි ප්‍රනාන්දු, සමනලී ෆොන්සේකා, දසුන් පතිරණ, තුසිත ලක්නාත්, මනෝහාරි විමලතුංග, යශෝධා රසඳුනි, සංජීව උපේන්ද්‍ර, දයාදේව එදිරිසිංහ, වෙලේගෙදර රණසිංහ, මවුලි ප්‍රනාන්දු, නිමල් ජයසිංහ තාත්තා ජනප්‍රියත්වයට පත් කිරීමට ඉවහල් වූ නළු නිළියෝය.

තාත්තා නිෂ්පාදන කණ්ඩායම:

කැමරා අධ්‍යක්ෂණය - සජිත වීරප්පෙරුම

අංග රචනය - වසන්ත පූර්ණවංශ

සහාය අධ්‍යක්ෂණය - පි‍්‍රයන්ත ශ්‍රි සමරකෝන්

කලා අධ්‍යක්ෂණය - සම්පත් වන්නිආරච්චි

සංගීත අධ්‍යක්ෂණය - රෝහණ ධර්මකීර්ති

ගායනය - රෝහණ ධර්මකීර්ති සහ ධනුක දේශප්‍රිය

ගීත රචනය - කුමාර ලියනගේ සහ නාරද විජේසූරිය

නිෂ්පාදනය - නුවන් අල්විස් සමඟ යශෝධරා අල්විස්

තාත්තා මේ වන විට ඉහළ ප්‍රතිචාර මධ්‍යයේ විකාශය වන බව අධ්‍යක්ෂවරයා සරසවියට දන්වා සිටියි. සති අන්තයේ දිනවල රාත්‍රී 8.30 ට සිරස නාලිකාව ඔස්සේ තාත්තා නැරැඹිය හැකිය.


රොෂාන් රවීන්ද්‍ර ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණයට

සම්මානනීය ටෙලි සිතුවම් නළුවකු මෙන්ම නිෂ්පාදකවරයකු වූ රොෂාන් රවින්ද්‍ර ටෙලි සිතුවමක් අධ්‍යක්ෂණය කරන බැව් සරසවියට වාර්තා විය. මේ දිනවලදී එහි රූපගත කිරීම් සිදු වෙමින් පවතියි. මේ පිළිබඳ වැඩි විස්තර ඉදිරියේදී ලබාදෙන බව රොෂාන් සරසවියට දැන්වීය. රොෂාන් පසුගිය සරසවිය සම්මාන උලෙළේ හොඳම සහාය නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය. රොෂාන්ගේ කුලුඳුල් ටෙලි සිතුවම ෆාහිම් මව්ජූඩ්ගේ නිෂ්පාදනයකි.


කලම්බු ටී. වී අලුත් වෙයි

සැටලයිට් රූපවාහිනි නාලිකාවක් වූ කලම්බු ටී වී ආයතනය නව මුහුණුවරකින් යුතුව ඉකුත් දා එළි දැක්විණ. එහි නව කාර්යාලය දැන් පිහිටියේ අතුරුගිරිය පොලීසියට යාබදවය. ඉහළ ජනපි‍්‍රයත්වයක් රැඳි හතරැස් වැඩසටහන ඇතුළු සෙසු වැඩ සටහන් සුපුරුදු පරිදි විකාශය වන අතර ඊට අමතරව නව වැඩ සටහන් කිහිපයක් ඔස්සේ නවමු අත්දැකීමක් ප්‍රේක්ෂකයා වෙත ගෙන ඒමට කලම්බු ටී වී ආයතනය බලාපොරොත්තු වේ. එහි වර්තමාන සභාපතිවරයා වශයෙන් සුජීව ද සිල්වා කටයුතු කරයි. ඩයලොග් ටී වී හරහා 107 සහ පියෝ ටී වී හරහා 111 යන සංඛ්‍යාතවලින් කලම්බු ටී වී නැරැඹිය හැකිය.


මට මා අහිමි වී 24 දා

අනුර මාධව ජයසේකර විසින් තිර රචනය කර අධ්‍යක්ෂණය කරන නවතම ටෙලි චිත්‍රපටය 'මට මා අහිමි වී'. එළඹෙන 24 වැනි දින ප. ව. 1.00 දෙරණ රූපවාහිනි නාළිකාව ඔස්සේ විකාශනය වේ.

නාට්‍යකරුවකු තමන්ගේ නවතම නාට්‍ය නිර්මාණයේ පුහුණුවීම් කටයුතු කරගෙන යාමේදී ඔහුට මුහුණදීමට සිදුවන අනපේක්ෂිත අත්දැකීම් ප්‍රස්තුත කරගෙන නිර්මාණය වී ඇති 'මට මා අහිමි වී' ටෙලි චිත්‍රපටයේ ජෙහාන් අප්පුහාමි, අංජලී ලියනගේ, හර්ෂිකා රත්නායක, රත්නා සුමනපාල, සමන්ති ලැනරොල් ප්‍රධාන චරිත මවයි. මෙය සන් ලීෆ් නිෂ්පාදනයකි.