වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සනත් ගුණතිලක රංග විමර්ශනය හෙට එළිදකී

සනත් ගුණතිලක රංග විමර්ශනය හෙට එළිදකී

සරසවිය පුවත්පතේ මාධ්‍යවේදිනියකව සිටි සිත්මිණ පුවත්පතේ කතුවරිය වූ හේමාලි විජේරත්න විසින් ප්‍රවීණ රංගධර සනත් ගුණතිලක පිළිබඳ රචනා කළ 'ලාංකේය මහ නළු පරපුරේ අවසන් සුපිරි තරුව' ග්‍රන්ථය මෙම මස 21 වැනිදා උදෑසන 11 ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වෙන ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පොත් එළි දැක්වීමේ වේදිකාවේදී දොරට වඩියි. මෙම ග්‍රන්ථය කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ සමාජීය විද්‍යාපති පරීක්ෂණය සඳහා ඇය විසින් ඉදිරිපත් කරන ලද 'දේශීය සිනමාව, මාධ්‍ය කලාව හා දේශපාලන ලෝකය තුළ සනත් ගුණතිලකගේ සන්නිවේදන භූමිකාව' යන පර්යේෂණ නිබන්ධනය ඇසුරින් සකස් වුවකි. ඒ සඳහා සනත් ගුණතිලකගේ ජීවන තොරතුරු, ඔහු රඟපෑ චිත්‍රපට නාමාවලිය සහ කාර්මික තොරතුරු මෙන්ම තෝරා ගත් චිත්‍රපට කිහිපයක ඔහුගේ රංගනය පිළිබඳ වන විවරණයක් ද ඇතුළත් වේ. ලාංකේය මහා නළු පරපුරේ අවසන් සුපිරි තරුව ග්‍රන්ථය ඉමාෂි ප්‍රකාශනයකි.


ජෝ=සරත්,ගීතා=මේනකා,එඩී=සැනට් කොළඹ සන්නිය රිටර්න්ස් හෙට

හර්ෂ උඩකන්ද අධ්‍යක්ෂණය කළ ඔහුගේ තෙවැනි සිනමාපටය කොළඹ සන්නිය රිටර්න්ස් මෙම මස 21 වැනිදා සිට එල්. එෆ්. ඩී. මණ්ඩලයේ සිනමා ශාලාවන්හි තිරගත වීම ආරම්භ වේ. කොළඹ සන්නිය නමින් පෙර තිරගත වූ කතාවෙහි චරිත ඇසුරෙන් මෙය නිර්මාණය වී තිබීම විශේෂත්වයකි. එදා ජෝ අබේවික්‍රම රඟපෑ අන්දිරිස්ගේ චරිතය මෙවර සරත් කොතලාවල විසින් රඟනු ලබයි. මේනකා මධුවන්ති, රජිත හිරාන්, සැනෙට් දික්කුඹුර, අශිකා මතසිංහ, කුමුදුනි අධිකාරි, ඩී. බී. ගංගොඩතැන්න, බොනිපස් ජයශාන්ත ඇතුළු පිරිස මෙහි චරිත මවති. තිර රචනය ද අධ්‍යක්ෂ හර්ෂ උඩකන්දගෙනි. කොළඹ සන්නිය රිටර්න්ස් සහන් අබේවර්ධන, ශර්මාල් ඩිල්ෂාන් සමඟ දිනෙත් කොනෙත් නිෂ්පාදනය කොට තිබේ. ජනිත් ගුණසේකර කැමරා අධ්‍යක්ෂවරයාය. සුගන්ද ජනප්‍රසාදගේ කලා අධ්‍යක්ෂණයකි. ගයාන් උඩවත්ත සංගීත අධ්‍යක්ෂණයෙන් එක් විය.

මුල් කොළඹ සන්නිය චිත්‍රපටය මණික් සන්ද්‍රසාගරගේ අධ්‍යක්ෂණයකි.


කෙටි චිත්‍රපට උලෙළක්

වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාල මඟින් මෙහෙයවන UOVT - ANNUAL FILM FESTIVAL 2018 RATHMALANA  කෙටි චිත්‍රපට උලෙළ සඳහා ඕනෑම තේමාවකින් හා මාධ්‍යයකින් වයස් සීමාවකින් තොරව නිර්මාණය කරනු ලබන විනාඩි 02 ත් 05 ත් අතර කෙටි චිත්‍රපට 2018.10.15 දිනට පෙර අධ්‍යක්ෂ, මාධ්‍ය හා තොරතුරු සේවා වෘත්තිය තාක්ෂණ විශ්ව විද්‍යාලය, අංක 100, කඳවල, රත්මලාන යන ලිපිනයට එවන මෙන් ආයතනය දැනුම් දෙයි.

එහිදී තෝරාගනු ලබන හොඳම චිත්‍රපට ත්‍රිත්වය හා ජූරිය විසින් තෝරාගනු ලබන සිදුවීම පහකට වටිනා මූල්‍යමය තෑගි පිරිනමනු ලැබේ.

වැඩි විස්තර සඳහා 0112630746 ඇමතිය හැකි අතර ඹඹඹ.භදඪමධබඥජ.චජ.තඬ මඟින්ද තොරතුරු ලබාගත හැකිය.


ෂෙරින්ගේ සිනමා සංවාද එළිදකී

මාධ්‍යවේදී ෂෙරින් පීරිස් විසින් රචනා කළ සිනමා සංවාද ග්‍රන්ථය පසුගියදා එළිදැක්විණි. ඇය විසින් ජාතික පුවත්පතක් වෙනුවෙන් කළ සම්මුඛ සාකච්ඡා අතරින් තෝරා ගත් කිහිිපයක් මෙම ග්‍රන්ථයට ඇතුළත් කොට තිබේ. ෂෙරින් මාධ්‍යවේදිනියක මෙන්ම සහාය අධ්‍යක්ෂවරියක්, තිරකතා රචිකාවක් ලෙස ද අත්දැකීම් ඇති අයෙකි.


දැවෙන විහඟුන් තිර නාටකයක්

ජාත්‍යන්තර සම්මාන දිනූ සංජීව පුෂ්පකුමාරගේ දැවෙන විහඟුන් සිනමාපටයේ තිර රචනය ග්‍රන්ථයක් වශයෙන් ඉකුත් දා එළි දැක්විණ. එහි තිර රචනය සමඟ පසු කතා මෙන්ම චිත්‍රපටයේ නාමාවලිය ද මෙයට ඇතුළත්ය.


කලං දැන් සුවෙන්

සිංහල සිනමාවේ යුගයක් එකලු කළ ප්‍රතිභාපූර්ණ රංගධර අමරසිරි කලංසූරිය සුවය ලබමින් මේ වන විට සිය නිවසෙහි විවේකයෙන් කල්ගෙවනු ලබයි. ඔහුගේ සුවදුක් විමසන බොහෝ දෙනෙකු කලංව අමතන අතර ඔහු ඒවාට පිළිතුරු ලබාදෙනුයේ සුපුරුදු පරිදිය. ඉකුත් දිනවලදී රෝගිව ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව ප්‍රතිකාරගත් කලං පිළිබඳ නොයෙක් දූෂමාන ආරංචි පැතිර ගියේ ඉතා ඉක්මනිනි. සමාජ ජාලාවන්හි ඇතැම් පුද්ගලයින් නිවැරිතාවය සොයා නොබලා එකී පුවත හුවමාරුකොට තිබිණ. කෙසේ වෙතත් ඉන් සියලු වස්දොස් දුරලමින් කලං යළි නිවස බලා පිටත්වුණේ තරුණයකු හා සමාන ජවයකින් යුතුවය. ඔහු පිළිබඳ විශේෂ ලිපියක් අප සරසවිය ඉදිරි කලාපයකදී ගෙන ඒමට බලාපොරොත්තු වන්නෙමු.


බර්ටි තලගල මියයයි

මෙරට පැරැණිතම නිෂ්පාදන කළමනාකරුවකු වූ බර්ටි තලගල අභාවප්‍රාප්ත විය. මියයන විට ඔහුගේ වයස අවුරුදු අසූ තුනකි. නිමල් වීරක්කොඩි, සුනිල් සෝම පීරිස් ආදි නිර්මාණකරුවන්ට බර්ටි නිෂ්පාදන කළමනාකරණයෙන් සහාය විය. බර්ටිගේ අවසන් කටයුතු ඉකුත්දා බොරැල්ලේදී සිදුවිය.