වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද ඇරඹෙයි

රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද ඇරඹෙයි

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ලංකා කලා මණ්ඩලය සහ රාජ්‍ය නාට්‍ය උපදේශක මණ්ඩලය එක්ව සංවිධානය කෙරෙන රාජ්‍ය ළමා නාට්‍ය උලෙළ අද (20) සිට 30 වැනිදා දක්වා ටවර්හෝල් රඟහලේදී සවස 5 සිට පැවැත්වේ. මෙවර ළමා නාට්‍ය උලෙළ වෙනුවෙන් සිංහල මාධ්‍යයෙන් නාට්‍ය 16 ක්, දෙමළ මාධ්‍යයෙන් නාට්‍ය 08 ක් සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් නාට්‍ය 7 ක් සහ අවසාන දිනයේ ආරාධිත නාට්‍ය 2 ක් රඟ දැක්වීමට නියමිතය.

සීමිත අංශයෙන් දඹදෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ 'සපුමල්ගේ ලෝකය', හොරණ ප්‍රේද්‍රික් මහා විද්‍යාලයෙන් 'පඹයෙක් ඇවිත්', හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයෙන් 'සෙල්ලමක් ද මාත් එක්ක', කොළඹ 13 යහපත් එඬේරාගේ කන්‍යාරාමයෙන් 'හිනා වෙන්න ආසයි', මීගමුව ආවේ මරියා කන්‍යාරාමයෙන් 'සතුටු වෙන්න එන්න යාළුවේ', ඇරැව්වල විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් 'වීරයෙක් වෙනවා මං', කිරිබත්ගොඩ විහාර මහා දේවී බාලිකා විද්‍යාලයෙන් 'පුංචි දඟකාරී', මාතර මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් 'කන්දේ වඳුරොයි, ලන්දේ වඳුරොයි' ඉදරිපත් වන අතර සීමිත ආරාධිත නාට්‍ය ලෙස පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලයේ 'වීර චාරිකාව' සිංහල නාට්‍යයත් ඉදිරිපත් කෙරේ. විවෘත අංශයෙන් නිශ්මං රණසිංහගේ 'සිංහයා සහ වලහා', පුබුදු සුභාෂණ කූරුගලගේ 'මං ආසයි ගෙදර යන්න', මිස්සක ආටිගලගේ 'මුහුද අපේ ගොඩ බිමයි', ඩි. කේ. ආටිගලගේ 'මෙන්න අපේ රජ්ජුරුවෝ', කොළඹ විශ්ව විද්‍යාලීය අධ්‍යාපන පීඨයෙන් 'අසමත් අපි සමත්', සුරංජිත් සමීර රණසිංහගේ 'සමනලී', සමන් චන්දනගේ 'සේදු' සහ ආරාධිත නාට්‍ය ලෙස නිලංක නාමල් උඩුමුල්ලගේ 'පාට' වේදිකා ගත වේ.

දෙමළ මාධ්‍ය සීමිත අංශයෙන් එස්. වී. අරුල් කුමාරන්ගේ 'ඔට්ටුමයියේ පළම්', එම්. කේතීස්වරන්ගේ 'කුරන්කු මාමා', ආර්. ගුණසේකරන්ගේ 'පෝදි වන්දි', එම්. මනිසේකරන්ගේ 'වන්දිප් පයානම්' යන නාට්‍ය ද විවෘත අංශයෙන් එස්. නිරෝෂන්ගේ 'යාර් අරසන්', ටී. අජුරන්ගේ 'කෝඩි විලයාදු පාප්පා', නිරන්ජන් චන්ද්‍රාදිත්‍යගේ 'ඔරේ වානම් ඔරේ භූමි', ඩබ්ලිව්. ඒ. එම්. පෙරේරාගේ 'රාමනුක්කු රාජ පරිසු' නාට්‍ය වේදිකා ගත වේ.

ඉංග්‍රීසි මාධ්‍ය සීමිත අංශයට ඇතුළත් වන්නේ ගම්පහ ලයිසියම් විදුහලේ The Circus'  කොළඹ මියුසියස් විදුහලේ  'The Flight of Fancy'  වත්තල ලයිසියම් විදුහලේ 'The Sisyphus Illusion'  බදුල්ල මධ්‍ය මහා විද්‍යාලයේ 'Elegy of Mentor'  අනුරාධපුර මධ්‍ය මහා විදුහලේ'Letter For Joanne' යන නාට්‍ය වන අතර විවෘත අංශයේ ප්‍රසාද් නන්දරත්නගේ 'The Yawning Prince'  සචිත්‍ර රාහුබද්දගේ 'Doremefa Solati' යන නාට්‍ය වේ.


ශීර්ෂ පලඳනා පැලඳවීම 30 වැනිදා

කෝට්ටේ තමර කලායතනය මඟින් නර්තනය හැදෑරූ ශිෂ්‍යාවන් සඳහා පස්වන වරටත් පවත්වනු ලබන ශීර්ෂ පලඳනා පැලඳවීම මෙම මස 30 වැනි දින දෙහිවල ජයසිංහ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. ඩිලුක්ෂි රන්දිනි, එරන්දි තරුෂිකා, සයුරි තක්සලා, ඩිල්ෂානි උදේශිකා යන සිසුවියන් සතර දෙනා එදින ශීර්ෂ පලඳනා පලඳිනු ලැබේ . එයට සමගාමීව තමර ප්‍රසංගය සවස 6 ට පැවැත්වේ.


ලාල්ගේ අතීත ගීතාවලිය ඉරිදා

චිත්‍රපට තිරකතා රචක ලාල් පාගොඩආරච්චි ප්‍රථම වරට ඉදිරිපත් කරන 'අතීත ගීතාවලියක සොඳුරු ආවර්ජනා' නමැති ඒක පුද්ගල සංගීතමය ප්‍රසංගය මෙම මස 23 වැනිදා එනම් එන ඉරිදා සවස පිළියන්දල නගර සභා ශ්‍රවණාගාරයේදී පැවැත්වේ. මෙහි සංගීත අධ්‍යක්ෂණය විජේසිරි ගෝවින්දගෙනි. ශ්‍රිමත් ඉන්ද්‍රජිත් ලියනගේ ප්‍රසංගය මෙහෙයවයි. ඉසුරුණි උපේක්ෂා තරංගනී, මොනිෂා නෙත්මිණි සහ චන්දු ඉඹුලාන සහාය ගායනා ඉදිරිපත් කරයි. ලාල් ක්ෂේත්‍රයට පිවිසුණේ නාට්‍යකරුවකු ලෙසිනි. ධර්ම ශ්‍රී වික්‍රමසිංහගේ ජැක් ඇන්ඩ් ජිල්, බන්දු සමරසිංහගේ ලෙෆ්ට් රයිට් සර්, සුනිල් අරුණ වීරසිරිගේ ටිකිරි සුවඳ, වීර පුතා ආදී චිත්‍රපටයන්හි තිර රචනය ද ලාල් විසිනි.


රෝයල් ඉබ්බෙක් 23 දා

සම්මානනීය නාට්‍යවේදී කලාභූෂණ පීටර් වෙදමුණි විසින් නිර්මාණය කළ නවතම වේදිකා නිර්මාණය රෝයල් ඉබ්බෙක් මෙම මස 23 වැනිදා බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියෙටර්හිදී වේදිකා ගතවීමට නියමිතය. දිමුතු චින්තක, රාජසිංහ ලෝලුවාගොඩ, ලක්ෂ්මන් අමරසේකර සහ ගාමිණී වීරකෝන් මෙහි චරිත මවති. මෙහි සංගීතය විශාරද එඩ්වඩ් ජයකොඩිගෙනි. පසුතල නිර්මාණය හා අංග රචනය සිරිනාථ වික්‍රමසිංහ විසින් සිදු කරයි. 1977 තරුණ සේවා සභාවේ තරුණ නාට්‍ය උලෙළේ හොඳම නිෂ්පාදනය ලෙස දෙවැනි තැන දිනුවේ පීටර් නිර්මාණය කළ අම්බලකඩ නඩේ නාට්‍යයි. අනතුරුව මං මුඩ්ලියර්, අහස් බන්ධන සහ නඩය දඬුකඳේ ආදී නාට්‍ය ඔහු වේදිකාවට ගෙන අවේය. ගායකයකු වශයෙන් ද ප්‍රසිද්ධ පිටර්ගේ ජනප්‍රියම ගීතය වන්නේ ගඟබඩ සිටි හේවරාලයි.


හර්බට් රූපසිංහගේ පුතු විවාහ වූ දා

හැටේ දසකයේ ජනපි‍්‍රය චිත්‍රපටයක් වූ හිතගිය තැන චිත්‍රපටයේ අධ්‍යක්ෂක හර්බට් රූපසිංහගේ පුත් ලක්නව් රූපසිංහ පසුගියදා විවාහ දිවියට පත් විය. ඔහු අතිනත ගත්තේ පකිස්ථානු ජාතික යුවතියක වන සානා ඛාන් සමඟිනි. ලක්නව් සහ සානාට සරසවිය සුබපැතුම්!