වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




හොඳ පාඩමක් උගන්වන මහාචාර්ය යෞවනය

හොඳ පාඩමක් උගන්වන මහාචාර්ය යෞවනය

භාරතී වීරසිංහ

භාරතී වීරසිංහ සිය මාධ්‍ය ජීවිතය අරඹන්නේ නවයුගය පුවත්පතිනි. එහෙත් ඔහුගේ පවුල් පසුබිම පුවත් පත් කලාව හා සම්බන්ධ වූයේ ඊට බොහෝ කලකට පෙර සිටය. ඒ ඔහුගේ පියාණන් විමල් වීරසිංහ වීමත්, ප්‍රවීණ ගීත රචක ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සමන් චන්ද්‍රනාත් වීරසිංහ වැඩිමාලු සොහොයුරා වීමත් නිසාය. නවයුගයෙන් පසු ජගත් සඟරාවේ මෙන්ම සමුදුර පුවත්පතේ විශේෂාංග රචකයකු වූ ඔහු ටික කලෙකින් සමුදුර කර්තෘ පදවියට පත් විය. පසුව දිවයින පුවත්පතේ උපකර්තෘවරයකු ලෙස කටයුතු කළ අතර සිරස ප්‍රකාශන ප්‍රධාන කර්තෘ බවට පත් වීය. ස්වර්ණවාහිනීයේ විකාශය වූ ලෝක සිතියම වැනි වැඩසටහන් රැසක නිර්මාණාත්මක ලේකඛ ලෙස මෙන්ම වෙළෙඳ දැන්වීම් ආයතනයක නිර්මාණ අධ්‍යක්ෂවරයෙකු ලෙසත් කලක් තම අපූර්ව සංකල්ප අප වෙත ගෙන ආ ඔහු ශ්‍රී ලංකා රූපවාහිනි අභ්‍යාස ආයතනයේ නිර්මාණාත්මක රචනය පිළිබඳ බාහිර දේශකයකු ලෙස වර්තමානයේ කටයුතු කරයි. මේ දිනවල ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශය වන මහාචාර්ය යෞවනය ද ඔහුගේ සංකල්පයකි. මහාචාර්යවරුන්ගේ තාරුණ්‍යයේ රස මුසු තැන් ඔහු උකහා ගත් ආකාරයත්, එයින් වත්මන් තරුණ තරුණියන් ලබාගත් පණිවිඩයත් පිළිබඳ ඔහු පවසන්නේ මෙවැනි අදහසකි.

මට මේ වැඩසටහන ගැන සංකල්පය පහළ වන්නේ 2011 දී පමණ අමින්ද වීරකෝන් සහ රන්සි රණසිංහ සමඟ ස්වරණවාහිනියෙ කැන්ටිමේ කකා කතාබහක යෙදී ඉඳලා අත හෝදන්න ගිය අතරෙයි.

තාරක බැද්දගේ සමඟ තිබූ මිත්‍රත්වය අනුව මේ ගැන කීවාම මම ඒක ඔන්න ටීවී එකේ දැක්කා කීවා. එකේ තේරුම මෙය කෙතරම් ආලින්දයට ගැලපෙනවාද කියලා ඔහුට මැවුණා කියන එකයි. මම මගේ සල්ලිවලින් ඩමි ප්‍රෝග්‍රෑම් එක කළා, සම්මානිත මහාචාර්ය ජේ බී දිසානායකයන් සමඟ. මම හිතුවේ එතුමාගේ ගෙදර පමණක් රූගත කරන්න. ඒත් සර් කීවා මෙය ඔහු උපන් රඹුක්කන පුවක්මොටේ ගමේ ගෙදර, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, නුගේගොඩ ගෙදර සහ ආනන්ද විද්‍යාලයේ රූපගත කරමු කියලා. ජේ බී සර්ට ඒ ගැන මගේ වන්දනීය ස්තුතිය පුද කරනවා. මොකද මෙය විකාශය වේද කියාවත් නොදැන මට නිදර්ශක වැඩසටහන් නිර්මාණය කරගන්න ලබා දුන් නිහතමානී සහයෝගයට. සෑහෙන කාලයකට පස්සේ 2017 දවසක මට නිමල් කැටපේආරච්චි අයිටීඑන් ක්‍රියාකාරී අධ්‍යක්ෂ ලෙස පත් වුණාම මෙය කියන්න හිතුණා. මම පොඩි ක්ලිප් එකකුත් හදා ගෙන ආවා. සමන් ආතාවුදහෙට්ටි හිටපු සභාපති තුමා තමයි හොඳම කතාව කීවේ. ඔහු ක්ලිප් එක බලන්නේත් නැතිව වැඩසටහනේ නම ඇහුවා. මහාචාර්ය යෞවනය කියපු ගමන් මට 'වැඩේ කරපන්' කීවා. ඒ ගැම්මට 2018 ජනවාරි පටන් ගත් ගමන මේ වෙද්දි වැඩසටහන් 32 ක් ප්‍රචාරය වී තිබෙනවා.

ලංකාවේ ප්‍රථමවරට මහාචාර්යවරුන් පිළිබඳ කෙරුණු වාර්තා වැඩසටහන. ලෝකෙත් මේ වගේ වැඩසටහනක් තිබෙනවාද දන්නේ නෑ. එය බොහෝ ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් වුණා පමණක් නොවේ බොහෝ රසවත් සිදුවීම් රැසකට හේතු වුණා. විශ්වවිද්‍යාලවල පරම්පරා පහක් හයක් ඇතුළේ මෙය ව්‍යාප්තව තිබෙනවා.

සංවේදීම සිද්ධියක් වුණේ එක් අම්මා කෙනෙක් කතා කළා, ඇයගේ වයස 8ක දියණිය ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සඳුන් සෙනරත් මහාචාර්යවරියගේ වැඩසටහන බලලා කීවාලු මමත් එහෙම මහාචාරයවරියක් වනවා කියලා. කොයි තරම් වටිනවාද ඒ අධිෂ්ඨානය?

තවත් විශ්වවිද්‍යාලක කලා අංශයේ සිසුවියක් කීවා එයත් මහාචාර්යවරියක් වන්න තීරණය කළා කියලා. මොකද මහාචාර්ය සරත් කොටගම තුන් පාරක් ඕලෙවල් ෆේල් වුණා කියලා ඔහුගේ වැඩසටහනේදී කීවා. අද කාලේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආවාම දිවි නසාගන්න තරමට දුර්වල මනසක් තිබෙන සමහර ළමයින් ඉන්නවා. ඒ අතර තමන් විශ්වවිද්‍යාලෙට ආ කෙනෙක් නිසා ඕනෑවට එපාවට කරමින් සිටි අධ්‍යාපන කටයුතු පිළිවෙළට කරලා ආචාර්ය උපාධිය ලබා ගන්න ඕනා කියන සිතිවිල්ල ඒ දැරිවිට ඇති වෙලා.

මගේ අනන්‍යතාව තමයි වෙනස් විදිහේ සිරස්තල යෙදීම. සම්මානිත මහාචාර්ය කුසුමා කරුණාරත්න මහත්මිය මට වචනයෙන් කියන්න බැරිතරම් උදව් කරනවා. එතුමිය උපාධිය සම්පූර්ණ කරන තුරු කිසිම ආදර සම්බන්ධයක් ඇති කරගන්නේ නෑ කියලා අදිටන් කරගෙන හිටියා කීවා. ඒත් ඇගේ මහත්මයා එතකොට පදවියක් නැති 'සෑම්' හමු වෙලා ආදර සම්බන්ධයක් ඇති කරගන්න කතාවෙලා. මම එයට සිරස්තලය යෙදුවේ 'නොට් සෑම් බට් එග්සෑම්' කියලා.

මහාචාර්ය සෑම් කරුණාරත්න පෙනුමෙන් පොඩි නිසා මහාචාර්ය මළලසේකරගේ ඥාති දියණියක් විවාහය සඳහා බැලීමට යාළුවකු සමඟ ගිය විට මලළසේකර සර් අහලා මේ ළමයා කොයි ඉස්කොලෙටද යන්නේ කියලා. ඒ වගේ රසවත් තොරතුරු බොහොමයක් අපට දැනගන්න ලැබුණා මේ වැඩසටහනින්.

මහාචාර්ය පැට්‍රික් රත්නායකගේ අම්මා නංගි මිය ගියාම ඇගේ කොණ්ඩෙ ටිකක් කපාගෙන ළඟ තියාගෙන හිටියාලු.

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නෝනාව යාළු කරගත්තේ ලියුම් පනහක් ලියලාලු. සර්ගේ වයිෆ් කීවා අවුරුද්දක්ම යාළු වෙන්න බෑ කීවා කියලා. සර් කීවා මමත් අතෑරියේම නෑ කියලා.

ශ්‍රී ලංකාවේ ළාබාලතම මහාචාර්යවරයා වෛද්‍ය චන්න ජයසුමන. ඒ කාලේ එතුමාගේ ගුරුතුමිය කිවාලු කෙල්ලො ඉන්නේ කොල්ලන්ට විහිලු කරන්න තමයි හැබැයි කෙල්ලන් අල්ලන්න යන්න එපා කියලා. ඒ පාඩම් ඔවුන්ට ජීවිත කාලෙදිම වැදගත් වුණු හැටි ඔහු කීවා. ඔහු ශිෂ්‍යත්වය සමත් වෙලාත් කොළඹ ආවේ නැති පුද්ගලයෙක් ආර්ථික ප්‍රශ්න නිසා.

ඒ වගේම දුෂ්කරතා ජයගත් මහාචාර්යවරයෙක් තමයි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති සම්පත් අමරතුංග. ඔහු කීවේ 'මගේ අගහිඟකම්වලට මගේ පෞරුෂයෙන් අභියෝග කළා' කියලයි. විවාහ මංගල්‍යයට වියදම් දරන්න බැරි නිසා කුඩාවට ගත්තලු. ආනන්ද විද්‍යාලයේ උසස්පෙළ දක්වාත් හරියට ඉගෙන ගත්තේ නැති ඔහුට අර්ජුණ රණතුංගගේ මව දේවතාවියක් වගේ ඇවිත් තර්ජනය කළාලු. 'මමයි මේ පන්තියේ ලොක්කා. ඉතින් මම කියන නිසා ඉගෙන ගත යුතුයි' කියලා. ඒ වගේම කාන්තාවක් මහාචාර්ය ලියනගේ අමරකීර්ති කුලියාපිටියේ ඉඳලා කුරුණෑගලට ගියාම හමුවෙලා තිබෙනවා. ඒ පුස්තකාලේ ඉඳලා තිබෙන්නේ මන්සුර් කියලා මුස්ලිම් කාන්තාවක්. ඇය තමයි මුල ඉඳන් ඉංග්‍රීසි ඉගෙන ගන්න කියවන්න සුදුසු පොත් හොයලා දීලා තිබෙන්නේ. මහාචාර්ය අමරකීර්ති කියනවා ඇයට පාරේ දැක්කත් තාම වඳීනවා කියලා. එහෙමයි අපේ රට තිබුණේ. මම එයට යෙදුව හෙඩිම 'දෙවියන්ගේ සිංහලකම'. ඒ වගේම ඔහුගේ සාහිත්‍ය පෝෂණය වුණේ මිතුරන් ගෙන් කී නිසා එයට යෙදුවේ 'මචං සාහිත්‍යය' කියලායි.

ඔය වගේ රූප පෙන්වන ටෙලිවිෂනයට පත්තරේට වගේ ලියන කෙනා මම. ඒත් මහාචාර්ය යෞවනයේ තේමා ගීතය ලියන්න යද්දි මට නමක් ඔළුවට එනවා රුවන් බන්දුජීව කියලා. ඔහු කවිවලින් බැහැරව ලියන මුල්ම ගීතය මෙයයි. සංගීතය හා ගායනය නවරත්න ගමගේ ඔහුට ගායනයෙන් සහාය වුණේ උදාරා කාරියප්පෙරුම.

ස්වාධීන රූපවාහිනී සේවයේ වත්මන් සභාපතිනි තිලකා ජයසුන්දර මහත්මියට සහ ප්‍රධාන විධායක නිලධාරී චන්දන තිලකරත්න මහතා ප්‍රමුඛ කාර්යමණ්ඩලයට මගේ ස්තූතිය පුදනවා.

මහාචාර්ය යෞවනයට තේමා පාඨය වුණේ 'හොඳ පාඩමක් උගන්වනු ලැබේ'. මොකද ඒ උගතුන්ගේ ගමනේ තිබුණු අභියෝග අපේ ජීවිතයටත් හොඳ පාඩම් කියා දෙනවා. අවුරුදු 98ක් වන මහාචාර්ය විමල් ජී බලගල්ලෙ ඇහුවා ඕගොල්ලෝ තාරුණ්‍යය කියන්නේ 40ද 50ද 60ද කියලා. හැබැයි 98දී කණ පොඩ්ඩක් නෑහුණාට කොණ්ඩෙ පොඩ්ඩක් ඉදුණාට මම තාම තරුණයි කියලා ඔහු කීවා. මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ අත රතුම රතුයි. සමහරු ඇවිත් අත ගානවාලු. නෝනා කියනවා අනිත් අය නම් අත අතගාලා ගියා හැබැයි මම අතඅල්ලගත්තා කියලා. මහාචාර්ය හේමන්ති රණසිංහගේ දුව අම්මාව පුදුම කරමින් මෙහෙම කියනවා. 'අම්මගෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා. හැබැයි මට යාළුවෝ කියනවා හරිම අපිළිවෙළයි කියලා. ඒකත් මම ඉගන ගත්තේ අම්මාගෙන්.' මම ඒ වැඩසටහන් අංගය අවසන් කරන්නේ ඒ වගේ තැනකින්. මොකද ඒ අයගේ ජීවිත දිගට ගලා යන නිසා ප්‍රේක්ෂකයන්ට අලුත් හැඩයක් හඳුන්වා දෙනවා වැඩසටහනක් වෙනස් තැනකින් නතර කරන්නේ කොහොමද කියා නිර්මාණ අධ්‍යක්ෂණය මඟින්. මොකද මේ මහාචාර්ය පිරිස් උගතුන් වෙලා තිබෙන්නේ විභාගෙන් පමණක් නෙවෙයි. දහසකුත් එකක් ජීවිත අත්දැකීම් ඔස්සේයි.

ගිනිකොනදිග විශ්වවිද්‍යාලයේ මහාචාර්ය නජීම්ට සිංහල වගේම ඉංග්‍රීසි උගන්වා තිබෙන්නේත් ඔළුවිල්වලදි පිරිවෙනේ හාමුදුරුවෝ. පාසලේ සිංහලවලට වැඩිම ලකුණු ඔහුට. දෙමළ සින්දුවලට ආසා වුණාට දෙමළ භාෂාවෙන් ඒවා හිතට නොදැනෙන නිසා සිංහලට පරිවර්තනය කරගෙනයි රස විඳලා තිබෙන්නේ. එහෙමත් රටක් අපට තිබුණා. ඉතින් මම දේශපාලකයන්ගෙනුත් ඉල්ලන්නේ මේ වැඩසටහනේ තව තිබෙන්නේ කොටස් හයයි. ඒත් ඒ පණිවිඩවල ගැඹුර ඊට වැඩියි. ඒ නිසා ඔවුන් එදා වින්ද රට අපේ දරුවන්ටත් ලබා දෙන්න කියලයි.