වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




 අම්මා මං වෙනුවෙන් පසුබිම් ගීගැයීම සතුටක්

 අම්මා මං වෙනුවෙන් පසුබිම් ගීගැයීම සතුටක්

Kavindya Adhikari

ඝරසරප සමඟ තිරයට

අම්මයි තාත්තයි දෙන්නම කලාකරුවන් වුණාම ඔවුනගේ දරුවන් කලාවට යොමු නොවුණා නම් තමයි පුදුුමෙ. කලා පවුලක ඊළඟ පරම්පරාව කලාවට යොමු වන්නේ අන්න ඒ ලේ උරුමය නිසාමයි. කාවින්ද්‍යා අධිකාරිත් එහෙම දියණියක්. ඇගේ මව සමිතා. පියා අතුල අධිකාරි. දෙන්නම ගී ගැයුවා, රඟපෑවා. ඔවුන් දෙදෙනා සඳ තරු මල් ගීය ගැයුවෙත් මේ කාවින්ද්‍යා නිසා. ඇගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් ලෙස ඝරසරප සිනමාපටය හැඳින්වූවාට වරදක් නැහැ. කාවින්ද්‍යා එහි ප්‍රධාන චරිතය නිරූපණය කරමින් සිනමාවට පිවිසුණා. ඒ ඇගේ කුලුඳුල් රංගනය වීම ද විශේෂත්වයක්. ජයන්ත චන්ද්‍රසිරි වගේ නිර්මාණකරුවකු කළ ඝරසරප සිනමාපටයෙන් කාවින්ද්‍යා නමැති රංගන ශිල්පිණිය කලඑළියට ආවේ ඇගේ ආධුනිකබවේ අළු ගසා දමලයි

කාවින්ද්‍යා, ඝරසරප සිනමාපටයේ රංගනය ගැන අද වනවිට ඔබ මොන වගේ මතයකද ඉන්නේ?

මුලදි මං රංගනයට බැහැ කිව්වා. ඒකට ප්‍රධානම හේතුව බය. අනෙක් කාරණාව එහි අධ්‍යක්ෂවරයා ජයන්ත චන්ද්‍රසිරි වීම. ඔහු මේ ක්ෂේත්‍රයේ අති ප්‍රවීණයෙක්. ජයන්ත අන්කල් දර්ශන තලයේදී ටිකක් සැරයි කියලත් අහලා තිබුණා. (කාවින්ද්‍යා එය කිව්වේ සිනාසෙමින්) නමුත් ඔහු මගේ මවගෙන් දැඩිව මාව මේ සඳහා ඉල්ලා සිටියා. අම්මා පුනපුනා කිව්වලු මං රංගනයට අලුත් කියලා. ඒ නවක බව නිසාමයි ජයන්ත අංකල් මාවම මේ චරිතයට ඕන කියලා තිබුණේ. අද වනවිට මට හිතෙනවා ඝරසරප චිත්‍රපටයේ රංගනයට කැමැත්ත ප්‍රකාශ කළ එක මං මගේ ජීවිතයේ ගත්තු හොඳම තීරණයක්. ඒ තීරණය මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වුණා.

එපමණක් නොවෙයි ඔබේ මව තමයි මෙහි ඔබට පසුබිම් ගායනය කරන්නේ. දුව රඟපාලා අම්මා දුව වෙනුවෙන් පසුබිම් ගීත ගැයූ ලොව එකම චිත්‍රපටය ඝරසරප වෙන්න ඇති?

මගේ අම්මා තමයි මගේ හෙවණැල්ල. ඇය මට නිතරම උපදෙස් ලබා දෙනවා. ඒ ඔස්සේ තමයි මං මගේ ජීවිතයේ ඉදිරිය දකින්නේ. මට ගොඩක් සතුටුයි මගේ පළමු චිත්‍රපටයේ මං වෙනුවෙන් අම්මා පසුබිම් ගීත ගයපු එකට. මට දැනෙන්නේ මං සම්මානයක් ලැබුණා හා සතුටක්.එය වර්තාවක් වෙන්න පුළුවන්.

ඔබත් සමඟ රඟපෑ ප්‍රවීණයෝ ඔබේ රංගනයට මොනවද කිව්වේ?

ඔවුන් ප්‍රකාශ කළ එකම දේ තමයි මගේ රංගනය තුළින් ආධුනික බවක් දැනෙන්නේ නැහැ කියන එක. අනේ මන්දා මම නම් හිතුවේ . . .

බනීවි කියලද?

ඇත්තටම මම හිතුවේ එහෙම තමයි. බඩකට පුරා බැනුම් අහන්න වේවි කියලා හිතුණා. එහෙම බැන්නොත් ඒවා අහගෙන ඉන්නත් හිත හදා ගත්තා. ඒත් එහෙම වුණේ නැහැනෙ.

ඝරසරප චිත්‍රපටයේ ඔබ වඩාත් සිත් ගත් තැන?

මට පල්ලියේදී දිෂ්ඨිය ආරුඨ වෙනවා. එතකොට මම කතා කරද්දි ඇහෙන්නේ ජැක්සන් ඇන්තනි මහත්මයාගේ හඬ. ඔහුනෙ මෙහි කළු කුමාරයා. අන්න ඒ දර්ශනයට මං බෙහෙවින් ප්‍රියයි.

චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ සැබෑ ජීවිතයේ ජීවත් වූ චරිතයක්. ඇයව ඔබට මුණගැහිලා නැද්ද?

නැහැ. ඇයව හමුවීමේ බලාපොරොත්තුවෙන් මං ඉන්නෙ.

කාවින්ද්‍යා ගායනයට යම් විරාමයක් තබලා වගෙයි?

ගායනයට පොඩි විවේකයක් දුන්නා. ඒකට හේතුව ප්‍රේමදාස මුදුන්කොටුව වන මගේ සීයගෙ කලා ආයතනයේ වැඩ බැලීම අද වන විට මගේ අතින් සිදුවීම. එහි සම්පූර්ණ වගකීම් තියෙන්නේ මගේ අතේ. ඊට ගතවන කාලය නිසා මට ගායනයට යොමු වන්නට බැරි වුණා.

ඔය වගකීම් ඔබට බර වැඩියි කියලා හිතෙන්නේ නැතිද?

වගකීම බරයි. ඒත් මං වටා ඉන්න පිරිස මට බොහොමත්ම උදව් කරනවා. ඒ හින්දා ප්‍රශ්නයක් නැතුව වැඩ කටයුතු කරගෙන යනවා.

අන්තිමයට ගීතයක් රිලීස් කළේ කවදද?

වසර තුනකට විතර කලින්.

කාවින්ද්‍යා මේ වන විට පෙම්වතියක් නේද?

ඔව්.

ඔහු ක්ෂේත්‍රයේ කෙනෙක්ද?

කොහෙත්ම නැහැ. එයා මේ ක්ෂේත්‍රයෙන් පරිබාහිරව වෘත්තියක නියැලෙන කෙනෙක්.

ඇයි ක්ෂේත්‍රයේ කෙනෙකුව විවාහ කර නොගැනීමට හිතුවේ. ඔබේ අම්මයි තාත්තයි දෙන්නම කලාකරුවන් නේද?

මට හිතෙනවා යම් යම් කරුණු කාරණා මත මගේ ජීවිතයට ළං විය යුත්තේ කලා ලොවේ කෙනෙක් නොවිය යුතුයි කියලා. මට එයට මෙහෙමයි කියලා උදාහරණ දෙන්න බැහැ. මොනවා වුණත් මගේ ජීවිතයේ අනාගතය ගැන හිතලා කලාවේ නියැළෙන්නේ නැති කෙනෙක්ව පෙම්වතා කර ගත්තා.

කාවින්ද්‍යාට රංගනය සඳහා තවත් ආරාධනා ලැබෙන්න ඇති?

ඔව්. චිත්‍රපටයකට සහ ටෙලි නාට්‍යකට ඇරැයුම් ලැබුණා. ඒවා ගැන අධ්‍යනය කරමින් සිටිනවා.