වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සාහිත්‍ය මාසයේ අලුත් පොත් කියවමු

සාහිත්‍ය මාසයේ අලුත් පොත් කියවමු

සරච්චන්ද්‍ර සියවස් ග්‍රන්ථය එළිදකී

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් කොළඹ විශ්ව විද්‍යාලයීය සිංහල අංශයේ ආචාර්ය මණ්ඩලය විසින් ලියා පළ කෙරුණු 'මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ජන්ම ශත සංවත්සර ශාස්ත්‍රීය සංග්‍රහය 1914 - 2014' එළි දැක්වීම 2018 සැප්තැම්බර් 20 (අද) පෙරවරු 10.00 ට ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදිනී ලලිතා සරච්චන්ද්‍ර මහත්මියගේ ප්‍රධානත්වයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ඇම්. බී. ආරියපාල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ. මෙහි ප්‍රධාන දේශන මහාචාර්ය කේ. එන්. ඕ. ධර්මදාස සහ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගාමිණී සුමනසේකර විසින් සිදු කෙරෙනු ඇත. එදින සවස සිංහබාහු නාට්‍යයද වේදිකාගත කෙරේ.


සැනසුමට මඟ කියන මෝහන විද්‍යාව

මනෝ විද්‍යා විෂයයන් අතර අතිශය ජනප්‍රිය වූ මෝහනය හෙවත් ස්වාපන චිකිත්සාව අළලා වැඩිම කාලයක් තරුණී පුවත්පතේ පළ වූ එකම විශේෂාංගය වන සිතට සැනසුමක් සහ සුබසෙත පුවත්පතේ දැනට පළ වෙන ස්වාපන චිකිත්සාව පිළිබඳ විශේෂාංගය පාදක කර ගනිමින් ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය පී. එන්. විද්‍යාකුලපති මහතාගේ උපදෙස් පරිදි මාධ්‍යවේදිනී චම්පිකා දීපානි රණසිංහ විසින් රචිත 'සැනසුමට මඟ කියන මෝහන විද්‍යාව' කෘතිය මෙවර පොත් ප්‍රදර්ශනයේදී බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී දොරට වඩියි. මෝහනය පිළිබඳ සත්‍ය සහ මිථ්‍යාව ගැන මෙන්ම ස්වාපනය එදිනෙදා ජීවිතයේ යොදා ගත හැකි අවස්ථා ගැන මේ කෘතියෙන් පුළුල් ලෙස විග්‍රහ කෙරේ.


සුදත් දේවප්‍රියගෙන් 'ඉල් මහේ පියෙක්'

අඹ යහළුවෝ ටෙලි නාට්‍යයෙන් රූපවාහිනී ක්ෂෙත්‍රයට පිවිස, උඩුගංයාමය චිත්‍රපටය සඳහා සරසවිය සම්මාන දිනූ ප්‍රවීණ සිනමා හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සුදත් දේවප්‍රිය විසින් රචිත 'ඉල් මහේ පියෙක්' කාව්‍ය සංග්‍රහය අන්තර් ජාතික පොත් ප්‍රදර්ශනයට සමගාමීව කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ සන්ථව ප්‍රකාශන කුටියේදී නිකුත් කෙරේ.


නතාලි දේවින්කාගේ Naked and Exposed

නතාලි දේවින්කා වසින් රචිත 'Naked and Exposed'  කෘතිය මේ මස 21 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයට සමගාමීව එළි දැක්වීමට කටයුතු යොදා ඇත.

මේ පොත සිය පෞද්ගලික අත්දැකීම් ඔස්සේ මානසික රෝගී තත්ත්වයන් හා සටන් කරමින් ඒවා ජයගැනීම පිළිබඳ සටහන් සමුච්චයක ස්වරූපයෙන් ලියැවුණකි. නතාලි දේවින්කා මානසික රෝගී තත්ත්වයත් සමඟ දිගු අරගලයකින් පසු ඒ පිළිබඳ විවෘතව කතාබහ කිරීමට ඇති බාධක ජය ගත් අධිෂ්ඨානශීලී සිනමා නිර්මාණකාරිනියක ද වෙයි. ලොව පුරා මේ මානසික රෝගී තත්ත්වය යටතේ පීඩාවට පත් අය වෙනුවෙන් හඬක් නැඟීමට මෙන්ම ග්‍රන්ථ රචනාකරණයේ දිගින් දිගටම නියැලීම ඇයගේ අරමුණයි.


මහා පුරුෂ නිහාල් රංජිත් ජයතිලකගේ නවතම කෘතිය 'මහා පුරුෂ' එළි දකී.

විවිධ සමාජ ස්ථර නියෝජනය කරන යොවුන්, මැද හා වියපත් ස්ත්‍රී පුරුෂ මනෝභාවයන් ද, ජීවන අරගලය හා සැබැඳි සමාජ ඛේදවාචකයේ පැතිකඩ කිහිපයක හැඩතල විවරණයක් මෙහි අන්තර්ගතය වේ. ආචාර්ය ජයතිලකයන්ගේ සිව් වැනි කෙටි කතා සංග්‍රහය මෙයයි.


සංචාරක කිරිල්ලි හෙට එයි

ගුණරත්න ඒකනායකගේ අනූදෙවනි නවකතාව සංචාරක කිරිල්ලි හෙට 21දා ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ නිපුන් පොත් කුටියේදී පෙරවරු 9.30ට දෙරට වඩී.