වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




පයින් art

පව් නිසා

පසුගියදා මොනරාගලදී පැවැත්වුණු එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා ප්‍රදර්ශනයේ ලේක්හවුස් කුටිය වර්ණවත් කරන්න කලාකරුවන් රැසක් සහභාගි වුණා. ජනප්‍රිය රංගන ශිල්පිණි රොෂානා ඔන්ඩච්චිත් ඒ පිරිස අතර හිටියා. එදින එතැන වැඩ කටයුතු නිම වෙලා නවාතැන් පොළට ආවේ බුත්තල කතරගම මාර්ගයේ. රොෂානාට කවුදෝ කියලා ඒ පාරේ තැන් තැන්වල දිවුල් ගන්න තියෙනවා කියලා. වාහනේ පාරට දැම්ම වෙලාවෙ ඉඳලම රොෂානා දිවුල් හොයනවා. වාහනයේ රියැදුරු දිවුල් තිබෙන තැනක නැවැත්තුවා. දිවුල් ගෙඩි දෙක තුනක් ගන්න හිතාගෙන රොෂානා වාහනයෙන් බැස්සා. එතැන දිවුල් ගොඩ ගාවට රොෂානා එනවා දැකලා දුවගෙන ආවේ අවුරුදු හතක විතර ගෑනු දරුවෙක්. රොෂානාව හඳුනාගෙන ද කොහෙද ඇයගේ මුහුණේ සිරියාවන්ත හිනාවක් ඇඳුණා. ඒ හිනාවට රොෂානාගේ හිත උණු වුණා. අන්තිමේ දිවුල් ගෙඩියක් දෙකක් ගන්න වාහනයෙන් බැහැපු රොෂානා වාහනයට ගොඩ වුණේ එතැන තිබුණු දිවුල් සේරම අරගෙන.

කාටද අප්පේ මෙච්චර දිවුල්?

රොෂනාගෙන් වාහනයේ අය ප්‍රශ්න කළා.

මට නම් මෙච්චර දිවුල් කන්න බැහැ. ඒත් අර ළමයා පවුනේ ඒක නිසා ගත්තා. කන එක ගැන පස්සේ හිතනවා.

රොෂානා එහෙම කියලා දිවුල් ගොඩ පරිස්සමට ළඟ තියා ගත්තා.


චොකලට් මාමා

මාධව විජේසිංහ කියන්නේ දෙරණ හැඩ කරන ජනප්‍රිය නිවේදකයෙක්. ඒ වාගේම ඔහු නළුවකු වශයෙන් ද ප්‍රසිද්ධයි. මාධවගේ නිවෙස තියෙන මාවතේ පුංචි ළමයින් ඔහුව හඳුන්වන්න අනවර්ථ නමක් යොදලා. මේ හේතුවෙන් ඇතැම් දෙනාට මාධවගේ ඇත්ත නමත් අමතකලු. මතක අනවර්ථ නම. ඒ තරමටම ඒක ජනප්‍රියයිලු. මොකක්ද දන්නවද ඒ නම චොකලට් මාමා. මාවතේ ළමයි මාධවව අමතන්නේ එනමින්. එයට හේතුව මාධව කොහේ හෝ විදෙස් සංචාරයක් ගොස් එද්දී මුළු ළමයින් ඔක්කෝටම හිත පිරෙන්න චොකලට් ගේන ඒක. මාධව ඒ වගේ ගමනක් ගියොත් චොකලට් වරදින්නේ නැහැ කියලා ළමයින් දන්නවලු. මේ හේතුව නිසා තමයි මාධවට චොකලට් මාමා කියන නම පටබැඳිලා තියෙන්නේ.


හිතවතුන් සඳහා

ආචාර්ය වික්ටර් රත්නායකගේ නවතම ප්‍රසංගය වූ සරස ඉතාම සාර්ථකව ඉකුත් දා නිම වුණා. ඔහුගේ 'ස' ප්‍රසංගයටත් වඩා ඉහළ ප්‍රතිචාර ඊට හිමි වූ බවයි අපට දැනගන්නට ලැබුණේ. සරස සඳහා කොතරම් ඉහළ ප්‍රතිචාර ලැබුණද කිවහොත් එහි ටිකට්ස් අවුට් කරලා දින හතරක් ඇතුළත වාර්තාගත අන්දමින් අලෙවි වුණාලු. ටිකට් විකිණෙන අන්දම ගැන අහලා වික්ටර් බොහොම සතුටට පත්වුණත් එක්තරා කාරණයක් නිසා ටිකක් කල්පනා කරන්න වුණාලු. ඒ තම හිත මිත්‍රයින්ට කොහොමද මේ ප්‍රසංගයට එන්න කියන්නේ කියලා. අන්තිමේ ඔහු තීරණයක් ගත්තලු ටිකට් ඉවර වේගන එන බව දැනගෙන ඔහු ඉක්මනින් තමන් අතින් මුදල්් ගෙවලා ටිකට් කිහිපයක් මිලයට ගෙන ඒවා හිතවතුන්ට බෙදුවලු.


තරහ වෙලා බැහැ

භාතිය සන්තුෂ් යන නම් යුවළත් එක්ක කියැවුණු තවත් නමක් ලෙසට අශාන්තිව හඳුන්වා දෙන්න පුළුවන්. ඇගේ හඬ භාතියලගෙ ගීත ජනප්‍රියත්වයට පත්වන්නට බොහෝ සෙයින් ඉවහල් වුණා. ඉකුත් දිනවලදී මේ අශාන්ති ගැන වැරැදි ආරංචියක් පියඹා ගියේ තටු අරගෙන. ඒ ඇය භාතියලගෙන් අයින් වෙලා කියන එක. අශාන්ති ඔවුන් සමඟ අමනාපව ඇති වගත් ඇතැම් සමාජ මාධ්‍ය තුළින් ප්‍රචාරය කළා. මේ හේතුවෙන් දැඩි අපහසුතාවයට පත් වුණේ අශාන්ති. මොකද එහෙම දෙයක් ඇත්තටම වෙලා නැති නිසා. ඇය භාතියලගෙන් අයින් වෙලා නැහැ. ටික දවසකට ඔවුන් එක්ක ගී ගයන්නේ නැති තීරණයකුයි ඇය අරගෙන තියෙන්නේ. තවත් විදිහකින් කිව්වොත් කෙටිකාලීන විවේකයක් ඇය විසින් ගෙන තිබෙනවා. මේක තමයි ලැව් ගින්නක් වෙලා තියෙන්නේ. ඇය කිසිසේත්ම භාතියලත් සමඟ අමනාපයක් නැතිලු. එහෙම අමනාප වෙන්නත් බැරි බව ඇය පවසා සිටිනවා.