වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




සම්මාන ලැබුණා ඒත් ඉතින්...

සම්මාන ලැබුණා ඒත් ඉතින්...

මෙවර සරසවිය සිනමා සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මාන තුනක් පිරිනැමුණේ සිය ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය තැනූ නවක අධ්‍යක්ෂවරුන් තිදෙනකුටය. ඉදිරිපත් වූ කෘති 18ක් අතරින් සත් දෙනකුගෙන් යුත් විනිශ්චය මණ්ඩලයකින් තෝරා ගැනුණු ඒ චිත්‍රපට තුන වූයේ මාලක දේවප්‍රියගේ ‘බහුචිතවාදියා’, ප්‍රියන්ත කළුආරච්චිගේ ‘රතු සමනල සිහිනයක්’ සහ මලිත් හෑගොඩගේ ‘දැකල පුරුදු කෙනෙක්’ය. ඔවුන් තිදෙනා එකම මේසයක හිඳ එකවර, එකම පැනයට පිළිතුරු ලබා දෙන පළමුවැනි සම්මුඛ සාකච්ඡාව මෙයයි...

මාලක දේවප්‍රිය සිය සිනමා ප්‍රවේශය අරඹන්නේ1998 පමණ සිටය. කෙටි චිත්‍රපට නවයක් නිර්මාණය කර බොහෝ ශිෂ්‍ය චිත්‍රපට උලෙළවලට ඉදිරිපත් වූ ඔහුගේ ලව් ඉස් ෆොලි බල්ගේරියා සිනමා උලෙළේ තරගකාරී අංශය සඳහා නිර්දේශ විය. සිය ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූ ‘බහුචිතවාදියා’ මොස්කව් සිනමා උලෙළේ නෙට්පැක් තරගකාරී අංශයට නිර්දේශ වුණු අතර 2017 දෙරණ සිනමා උලෙළේ හෙට දවසේ හොඳම චිත්‍රපටයට හිමි සම්මානයත්, 2018 සාක් අන්තර්ජාතික සිනමා උලෙළේ අධ්‍යක්ෂණය සඳහා ජූරි සම්මානයත් 2018 සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයත් දිනා ගැනීමට සමත් විය.

ප්‍රියන්ත කළුආරච්චි තරුණ සේවා සභාවේ සිනමා හා ටෙලි නාට්‍ය පිළිබඳ පාඨමාලාවකින් පසු ඉන්දියාවේ පූනෛ සිනමා ආයතනයෙන් මෙරට පැවැත් වූ පාඨමාලාවක්ද විභවි ආයතනයෙන් තිරරචනය පිළිබඳවද හැදාරා බූඩි කීර්තිසේනගේ මිල්ලෙ සොයා චිත්‍රපටයේ දෙවැනි සහාය අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කළේය. රූපවාහිනී ක්ෂේත්‍රයේ කටයුතුවල නියැලෙන අතරම ‘මේ හීනෙට නමක් දෙන්න’ වේදිකා නාට්‍යය සඳහා රාජ්‍ය සම්මානද, ‘පැරෑලිය’ ලෙස සුනාමියෙන් බේරුණු පිරිස පිළිබඳ කළ වාර්තා වැඩසටහනට ප්‍රංශයේ සිනේ රේල් සම්මානය ලබා බර්ලින් ටැලන්ට් විශ්වවිද්‍යාලයට සමත් විය.

 2010 ‘බෝලය’් කෙටි චිත්‍රපයෙන් පසු සිය ප්‍රථම වෘතාන්ත කෘතිය වන ‘රන් සමනල හීනයක්’ අධ්‍යක්ෂණය කළේය. එය ලොව සිනමා සම්මාන උලෙළ 13ක විවිධ අංශ සඳහා නිර්දේශ වූ අතර ප්‍රංශයේ නීස් උලෙළේ හොඳම සිනමා කැමරාකරණය සඳහා සම්මානයත්, 2018 සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයත් දිනා ගත්තේය.

මලිත් හෑගොඩ සිය පියාණන් වන ලාල් හෑගොඩ මහතාගේ සුලැඟිල්ලේ එල්ලී ගොස් සිනමා කෘති නැරඹූවෙකි. සංස්කෘතික මධ්‍යස්ථාන සහ විදේශ තානාපති කාර්යාල මඟින් පැවැත්වූ උලෙළවල සිය මිත්‍ර බූපති සමඟ එක් වූ ඔහු එයින් සිනමාව කෙරෙහි උනන්දු වී 1990 දශයේ අග භාගයේ කෙටි චිත්‍රපට දෙකක් නිර්මාණය කළේය. ඔහුගේ ප්‍රථම වෘතාන්ත චිත්‍රපටය වූ ‘දැකලා පුරුදු ‍කෙනෙක්’ ලෝක සිනමා මංගල දැක්මට ඉදිරිපත් වූ මොන්ට්‍රියෙල් සම්මාන උලෙළේදී අධ්‍යක්ෂවරයකුගේ පළමු නිර්මාණය සඳහා වන ගෝල්ඩන් සෙනිත් සම්මානයටද ඉන්දුනීසියාවේ නෙට්පැක් ආසියානු සම්මාන උලෙළේ රන් හනුමා සම්මානය සඳහා ද නිර්දේශ විය.

2015 මෙරට පැවැත් වූ ජැෆ්නා ඉන්ටර්නැෂනල් ෆිල්ම් ෆෙස්ටිවල් හි හොඳම ප්‍රථම චිත්‍රපටය සඳහා ජූරි සම්මානය ද, 2016 දෙරණ සිනමා සම්මාන උලෙළේ මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂවරයා සඳහා සම්මානයෙන්ද 2018 සරසවිය සම්මාන උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයෙන්ද පිදුම් ලැබුවේය.

මේ වන විට ඔබ චිත්‍රපට නිර්මාණය කර අවම වශයෙන් වසර පහක්වත් ගෙවී තිබෙනවා?

මාලක- මම 2012 චිත්‍රපටය පටන් ගත්තේ නිෂ්පාදකවරයකු සමඟ. ඔහු පසු නිෂ්පාදන කටයුතු මඟහැරි නිසා මට සිදු වුණා මිත්‍රයන් 42ගෙන් මුදල් එකතු කර නිෂ්පාදන සමාගමෙන් චිත්‍රපටය මිල දී ගෙන ශබ්ද සංකලනය සහ වර්ණ සංයෝජනය කරන්න. දැන් එහි නිෂ්පාදකයාත් මමයි. ඒත් මට ප්‍රාග්ධනයක් නෑ. ඊට අමතරව මෙය ප්‍රදර්ශනයේ තීරණාත්මක සාධකය ශාලා හිමියන්. ඔවුන් සමඟ හැපෙන්න විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි.

ප්‍රියන්ත - ලංකාවේ විශාල කැප කිරීමක් කර කෙසේ හෝ චිත්‍රපටයක් හැදුවත් ඒවා බෙදාහැරීම සම්බන්ධව සම්පූර්ණ අවුල්සහගත විධික්‍රමයක් තිබෙන්නේ. විශේෂයෙන් අප නියුතු වී සිටින කලාත්මක සිනමාවට මහත් අසාධාරණයක් වනවා. අද සමහර කලාකරුවන්ගේ කුජීත ගති නිසා විදෙස් චිත්‍රපට උලෙළත් ගණන් නොගන්නා මට්ටමට ‘අප්සෙට්’ හැඟීමක් ඇති වෙලා. ඒත් චිත්‍රපට ශාලාවලට යෑම සඳහා බොහෝ උලෙළ නියෝජනය කිරීම වගේම මේ සරසවිය සම්මානය යහපත් සාධක වුණා. 2013 දී කළ මගේ චිත්‍රපටය වසර පහක් තිස්සේ කොහොමද මිනිසුන් අතරට ගෙන යන්නේ කියන දේ පිළිබඳ ඇත්තේ මහත් දුර්වල ක්‍රියාකාරීත්වයක්. මෙහෙම ගියොත් අපට මුළු ජීවිත කාලයේම චිත්‍රපට දෙක තුනකට වඩා හදන්න බැරි වෙයි. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කිරීමට විශාල වැඩපිළිවෙළක් සහ දැඩි මැදිහත්වීමක් අවශ්‍යයි.

මලිත් - මම චිත්‍රපටය රූගත කරන්නේ 2013 වසරේ. ඊළඟ වසරේ මැද හරියේ ලෝක මංගල දර්ශනය පවත්වනවා. රැඟුම්පාලක මණ්ඩල සහතිකයත් ගන්නවා. ඒත් අදටත් මගේ චිත්‍රපටය ප්‍රදර්ශන මණ්ඩලයක පෝලිමේ තිබෙනවා. ප්‍රදර්ශන අනුපිළිවෙළ පිළිබඳ නියත ක්‍රියාපටිපාටියක් නැති නිසා ඒවා බාරගන්න සමාගම්වල තිබෙන වෙළෙඳ තර්කනයන් අනුවයි ඔවුන් තීරණය කරන්නේ මේ චිත්‍රපටය දුවන එකක්ද, දිය යුත්තේ සම්පූර්ණ මුදාහැරීමක්ද, සීමිත මුදාහැරීමක්ද යන වගට. නවතම ප්‍රවණතාව තමයි ශාලා හිමියන්ගේ කැමැත්ත හා රුචි අරුචිකම්වල බලපෑම.

මෙය ඔබට පමණක් බලපෑ ප්‍රශ්නයක්ද?

තිදෙනාම- නෑ. අපට පෙර සත්‍යජිත් මාඉටිපේ, තිසර ඉඹුලාන වැනි අයගේ චිත්‍රපට වසර දොළහක් පහළොවක් පමණ පමා වුණා. අපේ පෞද්ගලික උනන්දුව මත ක්‍රියාත්මක නූනොත් අපටත් බොහෝ කල් බලා ඉන්නයි සිදු වන්නේ. මේ තත්ත්වය තවත් නවක අධ්‍යක්ෂවරුන් රැසකට තිබෙනවා.

මෙය බලපාන්නේ කලාත්මක ගණයේ චිත්‍රපට සඳහාද?

මාලක - රටක සංස්කෘතික ප්‍රතිපත්තිය කියන දේට රජය සෘජුවම වගකිව යුතුයි. දැන් හරියට පෞද්ගලික බස් වගේ, ඒ සංස්කෘතික ප්‍රතිපත්තියත් පෞද්ගලික මාෆියාවක් වෙලා. රජය මැදිහත් වන්නේ බොරු ප්‍රශ්න නිසා චිත්‍රපට වාරණය කරන්න, කලාකරුවාගේ ප්‍රකාශන නිදහස මර්දනය කරන්න වගේ සදාචාරාත්මක කෑලි අල්ලගෙන විතරයි. සිනමාව එක් අතකින් අධ්‍යාපනික දැනුමක් සහ උරුමයක්. රජයකට වගකීමක් තිබෙනවා ප්‍රතිපත්තියක් හදලා මේවා මහජනතාව වෙත ගෙන ගොස් රසවින්දනය, විචාරය කරමින් ජනතා පරිකල්පනය වැඩි දියුණු කරන්න. කලාකරුවන් කටයුතු කරන්නේ ඒ කරුණු පදනම් කරගෙන. අපේ චිත්‍රපට හැදුවෙත් ඒ සඳහා මිස, සල්ලි හම්බ කරන්න විකුණන භාණ්ඩ ලෙස නොවේ. පසුගිය සම්මාන උලෙළක ටෙලිවිෂන් නාළිකාවක සභාපතිවරයෙක් කීවා විකුණන්න පුළුවන් භාණ්ඩ හදන්න, ඉල්ලුමට අනුව සැපයුම කළාම කිසිම ප්‍රශ්නයක් නෑ කියලා.

එය වැරැදියි. කලාකරුවන් කටයුතු කළ යුත්තේ එහෙම නොවේ. රටක යම් ප්‍රතිපත්තියක් සෑම කලාවකටම තිබිය යුතුයි මිනිසුන් අතරට ගෙන යන්නේ කෙසේද කියන විධිමත් යාන්ත්‍රණයක් සමඟ. මගේ පෞද්ගලික අදහස කමර්ෂල් නවකතා, චිත්‍ර, කවි, කෙටිකතා කියලා දේවල් නෑ වගේ චිත්‍රපටවලටත් ඒ බොරු වර්ගීකරණය අවශ්‍ය නෑ. සමහරු කියනවා පෙන්වන්න පුළුවන් චිත්‍රපට හදන්න කියලා. එහෙම බෑ. කලාකරුවා කරන්නේ තමන්ගේ ප්‍රකාශනය. මගේ විශ්වාසය නම් ඕනෑම හොඳ ප්‍රකාශනයක් මිනිසුන් අතරට ගෙනයන වැඩපිළිවෙළක් තිබෙනවා නම් එය වැලඳ ගන්නවා.

ප්‍රියන්ත - මගේ අදහස ඊට ටිකක් වෙනස්. සිනමාව කියන මාධ්‍ය තුළ යම් වර්ගීකරණයක් තිබෙනවා. විනෝදාස්වාදය සහ මුදල් සෙවීම අරමුණු කරගත් ප්‍රධාන ධාරාවේ නිර්මාණ තිබෙනවා. හොලිවුඩ් බොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපට ආදිය මනුෂ්‍යයාගේ සිතීමේ රටාව වෙනස් කරනවාට වඩා උත්සාහ කරන්නේ සරලවම කොහොමද මේ ක්‍රමය තුළම තැනකට එන්නේ, වීරයෙක් වෙන්නේ. අනෙක් කෙනාව කපාගෙන හරි හොඳ විවාහයක් ගෙයක් දොරක් වාහනයක් ගන්නේ කියන බලු පොරය උත්කර්ෂවත් කිරීම සහ ඒ තුළ විනෝදය සපයන්නේ කියන දේ චිත්‍රපටයට නැඟීමයි. මම එයට වැරැද්දක් කියන්නේ නෑ. එයත් කර්මාන්තයට අවශ්‍යයි. ජනතාව විනෝදාස්වාදයට වගේම මේ දිවිල්ලට කැමතියි. හැබැයි එය එක් අන්තයක් පමණයි.

සමාජයක් සොමියෙන්ම දුවන්න බෑ. මුළු ශිෂ්ඨාචාරයම ඒ මත ගොඩනැඟිලා නෑ. සමහරු ඉන්නවා මනුෂ්‍ය ජීවිතයේ ගැඹුර සොයන. එනිසා එවැනි නිර්මාණකරුවනුත් සමාජයකට අවශ්‍යයි. ලංකාවේ පතිරාජ, ධර්මසිරි බණ්ඩාරනායක, සත්‍යජිත් මාඉටිපේ, ප්‍රසන්න, හඳගම වගේ අය තමයි අප ආකර්ෂණය කර ගත්තේ. අපි මැදිහත් වුණෙත් ඒ වගේ සිනමාවක් ගොඩනඟන්නයි. අද තිබෙන ක්‍රමයට ගියානම් ඔය කියූ පිරිසටත් චිත්‍රපට පෙන්වන්න බැරි වෙනවා. ඉස්සරට වඩා ගොඩක් වාණිජකරණය වෙලා නිසා සමහරුන්ට අපේ සිනමාව තේරුම්ගන්න බැරුව විහිළුවක් වෙලා. සින්දු පහයි ෆයිට් පහයි තමයි ඔවුන් දන්නේ. ඒ නිසා වෙන ක්‍රමයක් යෝජනා කරන්න වෙනවා මේ නිර්මාණ ජනතාවට ගෙන යන්න.

මලිත් - වර්ගීකරණය ඒ අයම හදාගෙන තිබෙන්නේ තම තමන්ගේ කටයුතු කරගෙන යන්න ලේසි වෙන්න කියලයි මට හිතෙන්නේ. ඒ නිසා ඔවුන් හිතනවා මේ මේ චිත්‍රපට දුවයි, මේවා දුවන එකක් නෑ කියලා. ඊට පස්සේ දුවන්නේ නැති චිත්‍රපට තේරුම් ගන්න අමාරුයි වැනි හේතුවක් කියලා කලාත්මක ගණයට දාලා, ඔවුන්ට බේරෙන්න කාරණයක් හදා ගන්නවා.

මේ දේවල් විධිමත් කරන්න ඔබ යෝජනා කරන ක්‍රමයක් තිබෙනවාද?

මාලක - 1960 දශකයේ ඉඳන් සිනමාව සම්බන්ධයෙන් ගත යතු ප්‍රතිපත්ති සැලසුම් පරිකල්පනය කළ දිගු ඉතිහාසයයක් තිබෙනවා. ඒත් මේ කිසිවක් කිසිදු රජයක් ජාතික ප්‍රතිපත්තියක් ලෙස පිළි ගෙන නෑ. හොඳම උදාහරණය 1956 තමයි සිනමා සංරක්ෂණාගාරයක අදහස ලෙස්ටර් ජේම්ස් පීරිස් ගෙනෙන්නෙ. ඒත් හැම රජයක්ම එයට කළේ බොරු ඇටවීමක්. එක සභාපතිවරයෙකු කීවා ලංකාවට කිසිදු ආකාරයකින් සංරක්ෂණාගාරයක් අවශ්‍ය නෑ කියලා. හේතුව ලෙස බීබීසී සන්දේශය සමඟ සාකච්ඡාවක කියා තිබුණේ “දැන් සංරක්ෂණය කරන්න තරම් චිත්‍රපට ඉතුරුවෙලා නෑ. මේ සඳහා කරන ආයෝජනය අපරාධයක්” කියලා. ඔහුට නොතේරුණු කාරණය තමයි චිත්‍රපට සංරක්ෂණය කළ යුත්තේ අනාගතය සඳහා කියලා. හැම රජයක්ම බලන්නේ ප්‍රශ්නයට පැළැස්තර දාන්න.

සිනමාව දැන් ඩිජිටල් අවදියක පසුවෙනවා. දැන් සිනේ රීල්වලින් වැඩකරන්නේ නෑ. සිනමාව පවතින්න පුළුවන් ක්‍රම ගොඩයි. ඒ පුළුල් අවකාශය ගැන හිතලාවත් නෑ. ඒ නිසා පරණ වැඩවසම් චින්තනය සහිත දේශපාලකයන් සහ නිලධාරීන් නොවේ පුළුල් දෘෂ්ටියක් සහිත පිරිසක් පත් කිරීම අවශ්‍යයි.

ප්‍රියන්ත - විවිධ රජයන්වල තිබෙන අසමත්කම් නිසා කිසිම සංස්ථාවක් හෝ වෙනත් ආයතනයක් නිදහසෙන් පසු ක්‍රමවත්ව විකාශනය වන්නේ නෑ. සිනමාව 70 දශකයේ යම් ජයග්‍රහණයක් ලබා ගත්තත් එය ඉදිරියට ගෙන යන්න සංස්කෘතික අමාත්‍යාංශය හෝ වෙනත් වගකිව යුතු ආයතනයක් කටයුතු කළ යුතුයි. පත්වන රජයන් මිනිසුන්ට වගකියන රජයන් බවට පත් විය යුතුයි. එසේ නැත්නම් මිනිසුන් එවැන්නක් පත්කර ගත යුතුයි.

මලිත් - අපි ප්‍රථම චිත්‍රපටය කළ තරුණ සිනමාකරුවන් එක්ව සංගමයක් පිහිටුවා ගත්තා ස්වාධීන සිනමා එකමුතුව නමින්. (ධ්ඛ්ර්) විවිධ අය යෝජනා ගේනවා කොහොමද මේ සිනමා කර්මාන්තය ප්‍රතිසංවිධානය විය යුත්තේ කියලා. ඒ සමහර කරුණු හරිම පරස්පරයි. මීට පෙර කමිටු වාර්තා කිහිපයක සිනමාව සම්බන්ධයෙන් ඔවුන්ට තිබූ ගැටලු සහ විසඳුම් සඳහා ගෙන ආ යෝජනා පිළිබඳවත් අප අවධානය යොමු කරලා අපට පේන විදිහටත්, සිනමාවේ අනාගතය ස්ථාවරව පවත්වා ගත යුත්තේ කෙසේද යන්න පිළිබඳවත් යෝජනා මාලාවක් ග්‍රන්ථයක් ලෙස එළි දැක්වීමට කටයුතු යොදමින් සිටිනවා. අප වෙනම ව්‍යූහයක් යෝජනා කරනවා මෙය ක්‍රියාත්මක කරවීමට.

ප්‍රියන්ත- මෙතෙක් කල් ඇතැම් සිනමාකරුවන් මේ සිනමා කර්මාන්තය දුකින් මුදවා ගැනීමේ පිළිතුර ඉදිරිපත් නොකර තමන්ගේ පැවැත්ම සෙව්වා. හරියට දේශපාලනඥයන් වගේ. ඒක පුරුද්දට ගිහින්. අපි කළේ මේ ක්‍රමවේදයේ කුහකත්වයේ රෝගයට නිවාරණයක් සොයන එකයි. එනිසා මේ පොත ඉදිරිපත් කළ පසු එය ක්‍රියාත්මක කරවීම සම්බන්ධයෙන් අපි මැදිහත් වෙනවා.

මාලක - මේ වෙලාවේ කලාකරුවන් තුළ නැත්තේ සාමූහිකත්වය. බොහෝ කලාකරුවන් විසඳුම් සොයන්නේ තමතමන්ගේ න්‍යාය පත්‍ර අනුවයි. රහසිගතව හෝ තමන්ගේ වැඩේ කරගන්න. එනිසා තරුණ සිනමාකරුවන් ලෙස මේ සම්ප්‍රදාය වෙනස් කරලා අපි එකතු වෙලා වැඩ කළොත් තමයි අනාගත ප්‍රතිපත්ති ගොඩනඟන්න පුළුවන්. මේ කාලේ චිත්‍රපට කළ බහුතරයකට මේ අදහස තිබෙනවා. අපි තුන්දෙනාට අමතරව තිසර ඉඹුලාන, ශමීර නාඔටුන්න, උදාර අබේසුන්දර, දිනිඳු ජාගොඩ, කීර්ති පතිරණ, චත්‍ර වීමන් ආදී විශාල පිරිසක් උත්සාහ කරන්නේ අනාගතය ප්‍රක්ෂේපණය කර සිනමාව කර්මාන්තයක් ලෙස ජයගත යුතු පුළුල් අවකාශයක් සැකසීමට අවශ්‍ය වසර තුනක් පුරා සොයා බැලු ප්‍රතිපත්ති යෝජනා කරන්න. මෙය අපේ චිත්‍රපටය නිදහස් කරගන්න කරන වෑයමක් නොවේ.

මලිත්- ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නවක ප්‍රවීණ සියලු සිනමාකරුවන්ගේ සහයෝගය ලබා ගන්න. සිනමාව රටක සමාජ සංස්කෘතියේ කොටසක් යන්න පදනම් කරගෙනයි මෙය අප කරන්නේ. නිෂ්පාදනය, ප්‍රදර්ශනය, ආනයනය, බෙදාහැරීම ආදී සියලු අංශ මෙහිදී සලකා බැලෙනවා. උදාහරණයක් ලෙස 1960 දශකයේ රෙජී සිරිවර්ධන වාර්තාවේ තිබෙනවා අපේ රටට පොකුරු සිනමාහල් ඕනෑ කියලා. ඒ සියල්ල අධ්‍යයනය කරලා, ලෝකයේ අනෙක් රටවල් මේ ප්‍රශ්නයට මුහුණ දුන්නේ කෙසේද යන්නත් සොයා බලලා මේ වසර අවසන් වන්න පෙර අප මෙය එළි දක්වා සියලු වගකිව යුත්තන්ගේ සහ මහජනතාවගේ අවධානයට යොමු කරන්න බලාපොරොත්තු වනවා.

ඔබේ සම්මානයේ ජූරි සභාපතිවරයාට අනුව ඉදිරිපත් වී තිබූ නිර්මාණ බොහෝ දුර්වලයි?

මාලක - කලාකරුවාගේ ප්‍රකාශන ධාරිතාව තමයි නිර්මාණයකින් පෙන්වන්නේ. එනිසා ඔවුන්ට නිදහස තිබිය යුතුයි තමන්ගේ කෘති ප්‍රේක්ෂකයා වෙත ගෙන යන්න. එහෙත් ළමා වැඩිහිටි ආදී වර්ගීකරණයක් සහ නියාමනයකුත් ප්‍රමිතියකුත් කලාවේ තිබිය යුතුයි කියාත් මා සිතනවා.

මලිත්- හැම කෙනකුටම ප්‍රකාශනයේ අයිතිය තිබෙන බව මම දැඩි සේ පිළිගන්නවා. ඒ වගේම නිර්මාණවලට යම් ප්‍රමිතියක් තිබිය යුතුයි කියාත් මම දැඩි සේ විශ්වාස කරනවා. මොකද යම් යම් අවස්ථාවල ප්‍රමිතියෙන් තොර නිර්මාණ එළි දැක්වුණු නිසායි අද ප්‍රේක්ෂාගාරය පිරිහී තිබෙන්නේ.

ප්‍රියන්ත- වාරණය යන්න කලාවේ සදාචාරයට හරි වුණත් එය සමහර නිෂ්පාදකයන් ප්‍රයෝජනයට ගන්නවා නම් සහ බාල මට්ටමේ නිර්මාණ මඟින් ලාභ ලබන ජාවාරමක් තිබෙන නිසා යම් වර්ගීකරණයක් සහ ප්‍රමිතියක් නඩත්තු කළ යුතුයි.

අද ප්‍රේක්ෂකයා ඔබ කියන රසඥතාවයේ පිහිටනවාද?

මාලක - රසඥතාව බහුවිධයි. ඕනෑම කෘතියකටත් පුළුවන් බහුවිධ අර්ථ සපයන්න. එනිසා මම විශ්වාස කරනවා ඕනෑම හොඳ කෘතියක් සඳහා ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. සියලු දෙනාට හරියන්න නිර්මාණයක් කරන්න බෑ. ඉතිහාසයේ කෙරිලාත් නෑ. එනිසා සමකාලීන ප්‍රේක්ෂකාගාරය හොඳ මට්ටමක ඉන්නවා කියා මම හිතනවා.

ප්‍රියන්ත - පාලකයාගේ රසඥතාව ජනතාවගේ රසඥතාවේ සීමාවන් ලකුණු කරනවා. ඒ ඒ පාලකයාගේ රසය අප දැකලා තිබෙනවා. නිදහසේ සිට මේ මොහොත දක්වා එද්දී අප ලොකු පිරිහීමක් දකිනවා. කේරලයේ තිබෙනවා සිනමා සමාජ. ඒවායේ වගකීම ලෝක සිනමාව ජනතාවට දැක්වීමෙන් රසඥතාව වැඩි දියුණු කිරීම. එය අරගලයක්. ඒ සඳහා සංස්කෘතික වැඩපිළිවෙලක් අවශ්‍යයි.

මලිත් - මට ජනතාවගේ රසඥතාව මොට කිරීමේ ව්‍යාපෘතියක් යන බව පේනවා. විශේෂයෙන් මාධ්‍ය මඟින් මේ දේ සිදුවෙනවා. එය වැළැක්වීමටත් පියවර ගත යුතුයි.

සරසවිය උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානය ලැබීම ගැන මොකද හිතෙන්නේ?

මාලක - එකවරම සතුටට පත් වී සැණෙකින් අසතුටට පත් වුණා. සතුටු වුණේ සරසවිය වැනි දැවැන්ත උලෙළකින් සම්මානයට පාත්‍ර වීම නිසා. අසතුට වසර හැත්තෑවක් පුරා එතෙක් මෙතෙක් කිසිම ප්‍රගතියක් සිනමාවට නැති නිසා අනාගතය ගැන සිහි වෙලා. ලෙස්ටර් ජේම්ස් පීරිස් වැනි සිනමාකරුවන් බලාපොරොත්තු වූ සිනමාව රටේ ගොඩ නැඟුණේ නෑ. ලෝකයේ සිනමාකරුවන් විවිධ තේමාවලින් විවිධ ආකෘතිවලින් නිර්මාණ කරනවා අපට පේනවා. එවන් සිනමාවක් ලංකාවේ ගොඩ නඟා ගැනීම සඳහා නිර්මාණ කිරීමටත් ඒවා ප්‍රදර්ශනයටත් අවස්ථාව සලසා ගැනීම අවශ්‍යයි.

ප්‍රියන්ත - සරසවිය සිනමා උලෙළට මේ සම්මානය එක් කිරීම ඉතා හොඳ තීරණයක්. මොකද චිත්‍රපටයක් කරලා කල්පකාලාන්තරයක් බලා ඉන්න සිදුවන අසාධාරණයට පත්වන මා වැනි සිනමාකරුවන්ට මෙය සතුටක්.

ඒත් ප්‍රවීණ ජූරියක පරාමිතීන්වලට හොඳම අධ්‍යක්ෂණය සම්මානයක් නිර්දේශ නොවීම පුදුමයක්. සිනමාව පමණක් නොවේ සමස්ත සමාජ සංස්කෘතික දේශපාලනික තත්ත්වය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාවක් තිබෙනවා. මේ සියල්ල සත්භාවයක් ඇති පිරිසක් අතට පත් කිරීම සඳහා අප පියවර ගත යුතුයි.

මලිත්- සිනමා ක්ෂේත්‍රයේ කටයුතු කිරීම ඇත්තටම දැන් කටුක අත්දැකීමක් වෙලා. ඒ අතර මෙවැනි ඇගයීමක් ලැබීම සතුටක්. ඒත් පසුදාටත් අපට දැනෙන්නේ අවිනිශ්චිතතාවෙන් යුතු අනාගතය ගැනයි. එනිසා මේ මොහොතේ ලංකාව තුළ දෘශ්‍ය සාහිත්‍ය සහ රසඥතාව වඩා දියුණු කිරීමට යම් මැදිහත්වීමක් කිරීමේ වගකීමට සහ අභියෝගයට තරුණ සිනමාකරුවන් ලෙස අපට මුහුණ දීමට සිදුව තිබෙනවා.