වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




පස්වසරකට පෙර සමුගත් ආනන්ද

පස්වසරකට පෙර සමුගත් ආනන්ද

සිනමාව පිළිබද කතන්දර නිතර කියැවෙන්නේ ඒවායේ ප්‍රධාන චරිත. පමණකි.එහෙත් ඒ සදහා මහන්සි වූ එහි පසුපස බොහෝ කතාවලට සම්බන්ධ වූ රාශියකි.සමහර නිර්මාණ කෙතරම් අගය කළ ද ඔවුන් නොමැතිවී නම් එම නිර්මාණ එළි දැක්ම සිහිනයක් වන්නට ඉඩ තිබිණ.මේ 21 වැනි දිනට වෙන්ව ගොස් පස් අවුරුද්දක් පිරෙන ආනන්ද බස්නායක ද එබන්දෙකි.ආනන්ද අය්යා යනුවෙන් අප විසින් ද ආනන්ද නමින් සිනමා කෂේත්‍රයේ බොහෝ දෙනාගේ ආදරයට පත් වූ ආනන්ද බස්නායක නොවන්නට ධර්මසේන පතිරාජයන්ගේ අග්‍රගණ්‍ය නිර්මාණ ගොන්නෙහි ලා ගැනෙන බඹරු ඇවිත් හෝ පාරදිගේ සදහා ආයෝජකයකු සොයා ගැන්ම දුෂ්කර වන්නට ඉඩ තිබිණ.කලකට ඉහත කොළඹ නගරයේ නාට්‍ය සංගීත සන්දර්ශන හෝ වෙන යම් කලා කටයුත්ත යෙදිණ නම් ඒවායේ ප්‍රෙව්ශ පත්‍ර අලෙවි වන තැන් කිහිපයක් විය.ඒ අවදියේ නාට්‍යක හෝ මොනයම් කලා කටයුත්තක පෝස්ටරයක් යටින් මෙබඳු වදනක් විය.කලින් ටිකට්-සෑම්ස්, සදර්න්ස්, ඩ්‍රෙස්සෙන්ස්.

ඩ්‍රෙස්සෙන්ස් තිබුණේ කොල්ලුපිටියේය.ගාලු පාෙර්ය.එහි හිමිකරු ආනන්ද අය්යාය.රෙදි සාප්පුවක් වු නමුදු ඩ්‍රෙස්සෙන්ස් වඩා පතළ ව තිබුණේ බොහෝ කලාකරුවන් ආගිය තැනක් හැටියටය.බොහෝ කලාකරුවන් එහි නිතර ගැවසුනහ. ආනන්ද ගේ උපන් නම උපාලි රංජිත් බස්නායකය.ආනන්දයැයි පැවසුවේ ගෙදර සුරතලයටය. පාසල් ගියේ කොළඹ ආනන්දයටය.උපන්නේ 1943 අවුරුද්දේය.සුරතලයට පැවසූ ආනන්ද නම සමඟ උපාලි රංජිත් නම කාටත් අමතක ව ගියේය.ඔහු ගේ සොහොයුරා හැටේ දශකයේ සිටි ජනප්‍රියම ළමා නළුවා විය.හේ ශ්‍රීනාත් බස්නායකය.සත පනහ,කළ කළ දේ පළ පළ දේ ,පික් පොකට් ආදි චිත්‍රපට වල ද රඟපැ ශ්‍රීනාත් පසුව අකල් මරණයකට ගොදුරු විය.ආනන්ද ගේ හොදම මිතුරන් අතර සිටි එක් අයෙක් වූයේ ධර්මසේන පතිරාජයන්ය.පතිරාජයන් බඹරු ඇවිත් චිත්‍රපටය සදහා ආයෝජකයකු සොයද්දි ආනන්ද තම බිරිදගේ සොහොයුරු එයට යොමු කළේය.ඒ තිලක් ගොඩමාන්නය.තිලක් බඹරු ඇවිත් චිත්‍රපටයේ නිෂ්පාදක වූයේ එහෙමය. බඹරු ඇවිත් චිත්‍රපටයට සම්බන්ධ සියලු පිරිස බම්බලපිටියේ ආනන්දගේ නිවහනට නිතර ආවා ගියහ.ඔවුහු සිනමාව ගැන කතා කළහ. රසවත් අල්ලාප සල්ලාපයේ යෙදුණාහ.ආනන්දගේ මාමණ්ඩිය ඇල්බට් ගොඩමාන්න හිටියේ අල්ලපුගෙදරය.නයින් හාට්ස් ව්‍යාපාරයේ නිර්මාතෘ (නයින් හට්ස් යනු ගොඩමාන්න යුවළ සහ දරුවන් හත් දෙනාය) වරයා ඇල්බට් ගොඩමාන්නය.පුතා චිත්‍රපටයක් නිපද වන පිරිස සමගම තාත්තා ද චිත්‍රපටයක් නිපදවන්නට කල්පනා කළේය.එහෙම හැදුණේ පතිරාජයන්ගේ පාර දිගේ චිත්‍රපටයයි.බඹරු ඇවිත් චිත්‍රපටයට ආනන්ද දායක වූයේ ඇඳුම් නිර්මාණ ශිල්පියා හැටියටය.පාර දිගේ චිත්‍රපටයෙන් පසු ආනන්ද නළුවකු විය.ඒ කාර් සිසර් කෙනෙකු හැටියටය.එතැන් පටන් ආනන්ද අය්යා චිත්‍රපට ගණනාවක රඟපැවේය.චිත්‍රපට ගණනාවක ඇදුම් නිර්මාණය කළේය.නාට්‍ය ගණනාවක ද ඇඳුම් නිර්මාණය කළේය.නොම්මර දා හත,කියලා වැඩක් නෑ,රජ වැඩකාරයෝ,බජාර් එකේ චණ්ඩියා,අන්තිම රැය ආනන්ද චරිත මැවූ චිත්‍රපට අතර වෙයි.කැලණි පාලම නාට්‍ය ඔහුගේ ඇදුම් නිර්මාණයෙන් හැඩවිණ.අඹ යහළුවෝ ඇදුම් නිර්මාණය ද ආනන්ද අය්යා ගෙනි.චිත්‍රපට දෙසියකට වැඩි සංඛ්‍යාවකට ඔහු ඇදුම් නිර්මාණයෙන් දායක විණ. ඒ අතරවාරයේ ව්‍යාපාරිකයකු ද විය.ඩ්‍රෙස්සෙන්ස් සාප්පුවේ නැති විට ඔහු සිටියේ මිතුරු සමාගමකය.ස ප්‍රසංගය වික්ටර් රත්නායකයන් රට පුරා පවත්වද්දී ආනන්දයන් ද බොහෝ තැන් වල ගියේය.සිනමාවට සම්බන්ධ නම් දැරූ බොහොමයක ගේ මුල් නවාතැන ආනන්ද අය්යාගේ බම්බලපිටියේ නිවසය විය.ප්‍රවිණ රංගවේදි සනත් ගුණතිලකයන් ද එබන්දෙකි. තවත් බොහොමයක් එහි සිටියහ.ආනන්ද අය්යා මේ සියල්ල තම දරුවන් මෙන් බලා ගත් වග ඔවුහු අද ද ආදරයෙන් සිහිපත් කරති.පස් වසකට එපිට ආනන්ද අය්යා නික්ම ගියේය.එදා ඔහුගේ මිතුරු ඇසුර පැතුවෝ රැසක් ඔහුට සමුදෙන්නට එහි ආහ.ඔවුන්ට අද ද ආනන්ද අය්යා මතකය.