වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




මට ගංගා මුණගැසුණේ එස්.බී නිසා

මට ගංගා මුණගැසුණේ එස්.බී නිසා

Rohan wijethunga

ඔහුගේ උප්පැන්නයේ ඇති රොහාන් විජේතුංග නමට වඩා බාල තරුණ වැඩිහිටි හැම දෙනාම ඔහුව හොඳීන්ම හඳුනන්නේ කේ.ජී රංජි හෙවත් කාණු ගෙදර රංජි ලෙසයි. මේ දිනවල විකාශය වන ‘කෝටිපතියෝ’ ටෙලිනාට්‍යයේ රංජි ලෙස චරිත මවන රොහාන් සිල්ලර සමනල්ලු, නීල පබළු වැනි ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසකට ද රංගනයෙන් දායක වෙයි. ඒ අතර රංජි වෙනුවෙන් ප්‍රේක්ෂකයාගෙන් ලැබෙන ප්‍රතිචාර විශාල බවයි ඔහු පවසන්නේ. කලකට පසුව රොහාන් සරසවියට ගොඩවැඳුනේ ඔහුගේ නවතම කලා තොරතුරු ඔබ වෙත ගෙන එන අදහසිනුයි.

මේ දවස්වල ඔබේ කලා කටයුතු පෙළ ගැහෙන්නේ කොහොමද?

වේදිකා නාට්‍ය කිහිපයකටම දායක වෙනවා. ඒ අතර ශ්‍රියන්ත මෙන්ඩිස් ගේ ‘මමයි ආණ්ඩුව‘ වේදිකා නාට්‍යය, අජිත් මෙන්ඩිස්ගේ ‘අලුත් හොරෙක් ඕනෑ’ වේදිකා නාට්‍යවල පුහුණූවීම් කටයුතු සිදුවෙනවා. ඊට අමතරව කෝටිපතියෝ ඇතුළු සිල්ලර සමනල්ලු, නීල පබළු, ටෙලිනාට්‍ය විකාශය වෙනවා. ඒ කලා කටයුතු සමඟ තමයි මගේ කාලය බෙදී යන්නේ.

ඔබ රඟන චරිත අතුරෙන් මේ දිනවල ජනප්‍රියම චරිතය ...?‍

මෙතෙක් මා රඟපෑ වගේම තවමත් රංගනයේ යෙදෙන හුඟක් චරිත ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියයි. සමහර ප්‍රේක්ෂකයන් හාරකෝටියේ රංජිට කැමැතියි. තවත් අය සිල්ලර සමනල්ලු හි ‘කාබුල්’ට කැමැතියි, තවත් අය ‘නීල පබළු’ හි ඩෙරික්ට කැමැතියි. පොඩි දරුවෝ ‘මෙඩි සිනා’ නාට්‍යයේ හීන් පැල්ල’ට කැමැතියි. මේ විදිහට එක එක අය එක එක විදිහට මගේ රංගනයන්ට කැමැතියි. ඒ අතරින් හුඟක්ම ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වුණේ හාරකෝටියේ ‘රංජි’ කියන චරිතයයි. ඒත් මම කැමැති රොහාන් විජේතුංග නමින් ප්‍රේක්ෂක මතකයේ රැදෙන්නයි.

ඔබේ උප්පැන්නයේ ඇති නමට වඩා ප්‍රේක්ෂකයන් ඔබ වඩාත් හඳුනන්නේ ‘රංජි’ නමින්?

රොහාන් නමට වඩා රංජි නමින් තමයි හුඟදෙනෙක් මාව හඳුනන්නේ. සමහරු ළඟට ඇවිත් ඒ නමින් කතා කරලා පසුව සොරි කියලා රොහාන් නමින් කතා කරනවා. ඒත් රොහාන්ට කලින් රංජි ඉස්සර වෙනවා.

ඒ වගේම මුහුණු පොතේ වැඩිම එකවුන්ට්ස් ගාණක් වගේම වැඩිම කාටුන් ඇදුනෙත් රංජිට. මේ වෙන කොට රංජි නමින් ඇදපු කාටුන් හතලිහකට වඩා ෆේස් බුක් එකේ තියෙනවා. මේ ළඟදි දවසක අවුරුදු දෙකහමාරක පමණ ඕස‍්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකික පවුලක දරුවෙක් රංජි මාමාව දකින විදිහ ඇඳළා ෆේස්බුක් එකට දාලා තිබුණා. මේ වගේ කුඩා දරුවන්ගෙන් හරියට ප්‍රතිචාර ලැබෙනවා. ‍මම හිතන්නේ කෝටිපතියෝ නාට්‍යයේ දෝණි නිසා තමයි මට කුඩා දරුවන් මෙතරම්ම ආදරේ.

රංගනයේ දී ඔබ මවන චරිත ඒකාකාරී රාමුවකට කොටුවෙලා කියා හිතෙන්නේ නැත්ද?

මගේ රඟපෑම් දෙස බලන විට විවිධත්වයෙන් යුතු චරිත තමයි මට රඟපාන්නට ලැබිලා තිබෙන්නේ. මම මුලින්ම රඟපෑවේ ‘බොහීමියානුවා’ ටෙලි නාට්‍යයේ. එහි මල් කඩේක වැඩ කරන සරල තරුණයකුගේ චරිතයක්. කළුකුරුල්ලා ටෙලි නාට්‍යයේ ‘ඩිංගියා’ චරිතය පිටිසර ගමක ජීවත් වන අන්ත මෝඩ අහිංසක කිසිම දෙයක් ගැන තේරුමක් බේරුමක් නැති ඔහෙ එහෙ මෙහෙ දුව දුවා ඉන්න ඕපපාතික චරිතයක්. ‘හුලංගෙදර ‘ටෙලි නාට්‍යයේ තුනපහ පැකට් කර විකුණන චරිතයක්.

ඒත් සමනකමක් ඒවා අතර පෙනෙනවා නේද?

සිල්ලර සමනල්ලු හි කාබුල් වගේම හාරකෝටියේ රඟ පෑ චරිතය අතර සමානකමක් තිබුණත් නීල පබළු ටෙලි නාට්‍යයේ මෝස්තර නිරූපණ ශිල්පියෙක්. කෝටිපතියෝ හි රංජි දැඟලුවාට සිල්ලර සමනල්ලු හි කාඹුල් දඟලන්නේ නැහැ. රංගනය පැත්තෙන් බැලුවොත් මට ලැබුණු චරිත එක කාණ්ඩයකට වැටෙනවා. නමුත් මමත් කැමැතියි චරිතාංග නළුවෙක් වෙන්න. ගුරුවරයකුගේ, හාමුදුරුනමකගේ චරිත රඟන්නත් මම කැමැතියි. ලැබුණොත් කරනවා. ඒ අතර බැරි දේවල් තියෙනවා. හැම චරිතයක්ම රඟපාන්න බැහැ. ජිම්නාස්ටික් චරිතයක් කරන්න කිව්වොත් මට කරන්න පුළුවන් කියලා හිතලා මම ඒ චරිතය බාර ගන්නේ නැහැ.

ඔබ කලාවට එක් වෙන්නේ කොහොමද?

මගේ ගම රත්තපුර කුරුවිට එක්නැලිගොඩ. මම පාසල් ගියේ හික්ගස්වත්ත කණිෂ්ඨ විදුහලට. ශිෂ්‍යත්වය සමත් වෙලා ඇහැලියගොඩ ජාතික පාසලට ඇතුළත් වුණා. මම එහි සාමාන්‍ය පෙළ උසස්පෙළ කරන සමයේ තමයි කලාවට අවශ්‍ය අඩිතාලම වැටෙන්නේ.මම පාසලේ කථික,නිවේදන, විවාද කණ්ඩායම්වල කටයුතු කළා. අපිට ඉගැන්නුව රමණි වන්නඹු මිස් ආදරයෙන් මතක් කරනවා.එතුමිය පාසලේ දරුවන්ව ඉදිරියට ගෙන යන්න කැපැවී කටයුතු කළා. ඇයගෙන් ඉගෙනුම ලැබූ බොහෝ දෙනෙක් අද රටේ ලොකු ලොකු තනතුරුවල ඉන්නවා. ඉන්පසුව ශ්‍රීපාලි මණ්ඩපයට ඇතුළත් වීමෙන් පසුව තමයි රංගනයට පිවිසෙන්නට අවකාශ ලැබෙන්නේ. නාමල් ජයසිංහ, තුමිඳු දොඩම්තැන්න කතිකාචාර්යවරු මර්ගයෙන් තමයි ජයප්‍රකාශ් සිවගුරුනාදන් අධ්‍යක්ෂවරයාව හමු වෙන්නේ ඔහුගේ නාට්‍යවලින් තමයි මං කෙටි කාලයකදී ජනප්‍රිය චරිතයක් වෙන්නේ.

ඔබ සම්මාන ලබලා තිබෙනවාද? ඒ ගැන මොකද හිතෙන්නේ?

වේදිකාවේ නම් සම්මාන ලබලා තිබෙනවා. ඒත් ටෙලිනාට්‍යවල නම් නැහැ.

සම්මාන උළෙල ගැන මොකද හිතන්නේ?

සම්මාන උළෙලක් පවත්වනවා කියන්නේ එය කලාකරුවන්ට ලොකු සතුටක්. එය ඉදිරියට යන්නට ලොකු ශක්තියක්. මෙතෙක් කලක් මම ජනප්‍රිය ටෙලි නාට්‍ය කිහිපයකම රඟපෑවා. ඒත් සම්මානයක් තියා සම්මාන උළෙලකින් ආරාධනයක්වත් නැහැ. මගේ රංගනය ඒ අයට හරිමදි ඇති.නමුත් මම හිතන්නේ සම්මානයක් ලැබෙන එක රංගනයට ආලෝකයක්.

සම්මාන නොලැබීම ගැන කනගාටුවෙන්ද ඔබ?

කිසි විටෙකත් නැහැ. මම ගාල්ලෙ ඉඳල යාපනයට ගියොත් ඒ කොතනකදිවත් මම තනිවෙන්නේ නැහැ. කොහෙ ගියත් මගේ රසිකයෝ මාව වට කර ගන්නවා. පොඩි පොඩි ගෑනු ළමයි පුදුමාකාර විදිහට මට ආදරෙයි. ඒ අයත් එක්ක ෆොටෝ එකක් ගද්දී මම ඔවුන්ව වඩා ගන්න ඕන. ඒ පොඩිත්තන්ගේ රසික ආදරයත් එක්ක මම පුදුමාකාර සතුටක් විඳනවා.

දැන් ඔබේ අධ්‍යාපන කටයුතු නිමවෙලාද?

කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයෙන් ප්‍රාසාංගික කලා විශේෂවේදී උපාධිය ෆස්ට් ක්ලාස් එකක් ලබාගනිමින් අවසන් කළා. මේ වන විට MPhill  උපාධියේ වැඩ කටයුතු සමඟ කාලය ගත කරනවා. එහි පර්යේෂණ නිබන්ධය රචනා කිරීමට තිබෙනවා.

ඔබ මේ වන විට පෙම්වතෙක්ද?

ඔව්. ඇය ගංගා. අවුරුදු අටක පෙම් සබඳතාවක්.

කොහොමද ඇය ඔබට මුණ ගැහෙන්නේ.?

ඇයව මට මුණ ගැහෙන්නේ කැම්පස් පටන් ගන්න කළින්. ඒ අපිට පැවති නායකත්ව පුහුණු කඳවුරු නිසා. අපෙන් තමයි කැම්පස් ළමයින්ට නායකත්ව පුහුණු කඳවුරු පටන් ගත්තේ. ඒ වෙනුවෙන් ගම්පහ සහ රත්නපුරේ දිස්ත්‍රික්කවලින් කැම්පස් තෙරුණු ළමයින්ට මින්නේරියෙ කෑම්ප් එකේ පුහුණූ කඳවුරක් පැවැත්වුණා. එතැනදී තමයි මට ගංගා හමුවන්නේ.අදටත් මම එස් බී දිසානායක මහත්මයාට පින් දෙනවා.

ඇයි ඒ?

මට ගංගාව මුණ ගැහුණේ ඔහු නිසා.

ඒ කොහොමද?

එතුමා තමයි එවකට උසස් අධ්‍යපන ඇමැති ලෙස නායකත්ව පුහුණුව ලබා දෙන්න කටයුතු කළේ. ඒ පුහුණුව අපිට නොතිබුණා නම් ගංගා මට හමුනොවන්න ඉඩතිබුණා. අපි දෙන්නා විවාහ වෙන දවසකට එතුමාටත් අපේ විවාහයට එන්න කියලා ආරාධනා කරන්නයි හිතාගෙන ඉන්නේ. ඇය සෞන්දර්ය විශ්වවිද්‍යාලයෙන් නර්තනයෙන් උපාධිය ලැබුවා. මේ වනවිට චිත්‍රසේන කලායතනයේ නර්තනය ඉගෙන ගනිමින් වගේම උගන්වමින් සිටිනවා.

විවාහ වෙන්න අදහසක් නැති ද?

අදහසක් තිබෙනවා. කොහොම වුණත් විවාහ වෙන්නේ කවද්ද ඒ ගංගා එක්ක විතරයි.

ඔබේ ගෙදර දොර ගැනත් කතා කරමු?

ගෙදර ඉන්නේ තාත්තයි,අම්මයි, මමයි,අක්කයි විතරයි.

අනාගත බලාපොරොත්තු?

මට ගුරුපත්වීමක් ලැබුණා. නමුත් එය මම බාරගත්තේ නැහැ. රංගන වෘත්තියේ තමයි දැනට නියැලෙන්නේ. එය ස්ථාවර වෙයිද කියලා දන්නේ නැහැ. මට වෙන රැකියාවක් වුණත් කරන්නට පුළුවන් කියන විශ්වාසය තිබෙනවා.