රෝමියෝ ජුලියට් කථාවක්
රෝමියෝ ජුලියට්
කථාවක්
My dreams are Roses for my love
රංගනයේදී ඩග්ලස් රණසිංහ විශාල මැජික් එකක් නොපෙන්නුවද, ඔහුගේ නැවුම් පෞර්ෂත්වය
ආකර්ෂණීය විය. දක්ෂ නළුවෙකුගේ ආගමනයේ,පෙර නිමිති මෙම රෝමියෝ චරිතයෙන් පෙන්වීමට
ඩග්ලස් ට හැකි විය. මොනා මංගලා නම් පැහැදිලිවම නා ගත්තේය. 1968 ෆ්රැන්කෝ සේෆ්රිලි
අධ්‍යක්ෂණය කල "රෝමියෝ ජුලියට්" චිත්‍රපටයේ ජුලියට්ට රගපෑ ඔලිවියා හුසේ ගේ රංගනය සහ
සුන්දරත්වය ගැන සිතෙන විට , මෝනා මංගලා කාටුන් එකක් මෙන්ය. මෝනාව ජී.ඩී.එල් මොනවට
ගත්තාදැයි චිත්‍රපටය නරඹන විට අනන්තවත් සිතුණි.
"කැපියුලේට්ස්" සහ "මොන්ටෙගුස් " සමාජ පරම්පරා දෙකකි. මෙම පරම්පරා දෙක අතර තිබුණේ
කිසිදිනෙක නොබිදිය හැකි වෛරයකි. ඒ වෛරය කොතරම්දයත්, ඔවුන් අතරේ එකිනෙකෙක් හෝ මුණ
ගැහුණොත් ඇතිවෙන්නේ විශාල කලබගෑනියකි. ඇතැම් විට එක් අයෙක් මරුමුවට හෝ පත් විය
හැකිය. මෙම විරුද්ධවාදීකම දිනෙන් දින දියුණු වනවා මිස අඩු වූයේ නම් නැත.
"ගජනායක" සහ "අත්තනායක" ද සමාජ පරම්පරා දෙකකි. ඔවුන්ද සිංහයන් සහ කොටියන් මෙනි.
හමුවුණු තැන බිමපෙරළගෙන හපා කයි. නැත්නම් මරා ගනියි. මරා ගත්තාට පසුත් ඉවසුම්
නොදෙයි. එය කෑලි කෑලි වලට කපා ලුණු දෙහි දමා අනෙක් පාර්ශයන්ට කන්න දුන්නද එක
පාර්ශයක් වත් සැහීමකට පත් නොවේ.
මොන්ටිගූස් ගේ පුත්‍රයා "රෝමියෝ" ය . ඔහුගේ ඥාති සහෝදරයා වූ බෙන්වොලියෝ ඔහුව
"කැපියුලේට්ස්" නිවසේ සාදයකට රැගෙන යන්නේ රොසලින් නම් ගැහැනු ළමයෙකු හදුන්වාදීමේ
පරමාර්ථයෙනි . ඔවුන් එම සාදයට ගියේ වෙස් ගන්වා ඔවුන්ගේ මුහුණවල් නොපෙනෙන අන්දමටය.
මෙම සාදයේද තම ඇස් හෝ මුහුණ කිසියම් වෙස් ගැන්වීමක් කල යුතු හෙයින් එය ඔවුන්ට වාසි
විය. කෙසේ හෝ රොසලින්ව බැලීමට ගිය රෝමියෝට එහිදී ජුලියට්ව මුණගැසුණි. ඔහු ඇය සමග
ප්‍රේමයෙන් බැදෙන්නට විය. ඔවුන් ඔවුනගේ දෙමාපියන් හා පරම්පරාව අතර ඇති ප්‍රබල
විරසකය ගණනකටවත් නොගෙන ප්‍රේම කළෝය. ඔවුන් දෙදෙනා ගේ විරුද්ධවාදියා වූයේ ජුලියට් ගේ
ඥාතිසොහොයුරා වූ "ටයිබල්ට්" ය. ඔහුට රෝමියෝ සහ ජුලියට් අතර ඇති සම්බන්ධය ඉව වැටුණි.
රෝමියෝව නැති කිරීමට ටයිබල්ට් උත්සහ ගත්තද, කිසියම් කෝලාහලයකදී ටයිබල්ට් මිය ගියේය.
එම මිය යෑමට සැක කලේ රෝමියෝවය.
අත්තනායකගේ පුත්‍රයාද "රෝමියෝ"ය. ඔහුගේද ඥාති සහෝදරයෙක් ඔහුව ගජනායකගේ නිවසේ සාදයකට
රැගෙන යයි. ඒ රැගෙන ගියේ මේ දේශපාලන විරසකය නැති කිරීමේ අදිටනින් වුවද සිදුවූයේ වෙන
දෙයකි. රෝමියෝ ට ගජනායකගේ දියණිය වූ "ජුලියට් ට " සිත යෑමය. ඉන්පසු ඔවුන් දෙදෙනා
ප්‍රේමයෙන් බැදෙන්නට විය. ඔවුන්ද ඔවුනගේ දෙමාපියන් හා පරම්පරාව අතර ඇති ප්‍රබල
විරසකය ගණනකටවත් නොගෙන ප්‍රේම කළෝය. ඔවුන් දෙදෙනා ගේ විරුද්ධවාදියා වූයේ ජුලියට් ගේ
ඥාතිසොහොයුරා වූ "ඩන්කන් "ය. ඔහුට රෝමියෝ සහ ජුලියට් අතර ඇති සම්බන්ධය ඉව වැටුණි.
රෝමියෝව නැති කිරීමට ඩන්කන් උත්සහ ගත්තද, කිසියම් කෝලාහලයකදී ඩන්කන් මිය ගියේය. එම
මිය යෑමට සැක කළේ රෝමියෝවය.
"කැපියුලේට්ස්" සහ "මොන්ටෙගුස් " පරම්පරාවන් ශේක්ස්පියර්" ගේ ය. "ගජනායක" සහ
"අත්තනායක" පරම්පරාව ජී.ඩී.එල් .පෙරේරාගේය. එලෙසම "ටයිබල්ට්" ශේක්ස්පියර්" ගේ ය.
"ඩන්කන්" ජි.ඩී.එල්.පෙරේරාගේය . නමුත් ඔරිජිනල් රෝමියෝ ජුලියට් , ශේක්ස්පියර්ගේ
වුවා ට, "ලෝකල්, රෝමියෝ ජුලියට් ජී.ඩී එල් ගේය. 1969 වර්ෂයේදී ජි. ඩී.එල් පෙරේරා
මෙම ලෝකප්‍රකට "රෝමියෝ ජුලියට්" කථාව සිංහල චිත්‍රපටයකට නැංවීමට අදහස් කළ පසු
අනිවාර්යෙන්ම ජී.ඩී.එල්.පෙරේරා 'ඇන ' ගන්නා බව සැවොම දැන සිටියෝය. 1965 "සාමා" 1968
"දහසක් සිතුවිලි" වැනි මන්දගාමී චිත්‍රපට යුගල නිර්මාණය කළ ජි.ඩී.එල්.පෙරේරා
1597දී, ශේක්ස්පියර් විසින් ලියා ලෝක ප්‍රසිද්ධ කළ ලොව පවතිනතාක් අමරණීය වූ කථාව
කළු සුදු සිනමාපටයකට නගන්නේ කෙසේද යන්න, එකල සිනමා ලෝලයන්ට නම් විශාල ප්‍රශ්නයක්
විය.
එහෙත් එකල තාරුණ්‍යයේ නැවුම් පිණි බිදුවක් වූ අතීශය කඩවසම් විජය කුමාරණතුංගව ජී.ඩී
එල්. විසින් රෝමියෝ ට තෝරා ගත් නිසා,තරමක බලාපොරොත්තුවක් තබා ගැන්මට හැකි විය. මේ
වන විට මාලනී ෆොන්සේකාද සිනමාවට පැමිණ සිටියද, 'ජුලියට්" චරිතයට තෝරා ගැන්මට තරම්
ඇය 'පොෂ්' වී තිබුණේ නැත. කාන්ති ලංකා "ප්‍රියංගා" චිත්‍රපටය හරහා ජනප්‍රිය වී ආවද,
ජී.ඩී.ඇල්, ඇයව මෙම චිත්‍රපටයට තෝරා ගත්තද , ඇයට ලැබුනේ ජුලියට් ගේ ආවතේව කාරීගේ
චරිතයයි . ලාංකීය ඉංග්‍රීසි නාට්‍යවල රඟපෑ 'ගෙල්ස් රාධා' නම් බර්ගර් ජාතික තරුණියක්
'ජුලියට්" ගේ චරිතයට ජී ඩී ඇල් විසින් හදුන්වා දුන්නේ 'නැවුම් නිළියක් "ජුලියට්"ගේ
චරිතයට ගෙන, ආකර්ෂණයක් ලබා දීමට විය හැකිය. මේ අතර රෝමියෝ ගේ චරිතයටත් අලුත්
මුහුණක් ඉදිරිපත් කෙරුවහොත් එතැන නැවුම් බවක් ඇති වේ යන අදහස යලි ජි.ඩී.ඇල්.පෙරේරාට
ඇතිවුණි. විජය කුමාරණතුංග නවක නළුවෙකු වූවද ඒ වන විට ඔහු චිත්‍රපට කීපයක රගපෑ අතර
චිත්‍රපට ගණනාවක්ම භාර ගෙන තිබුණි. එහෙයින් ජි.ඩී.එල් එහී දෙවැනි චරිතය වූ
ටයිබල්ට්ව "ඩන්කන්" කර විජය කුමාරණතුංග ට දී, හෙන්රි ජයසේනගේ නාට්‍ය වල රගපෑ කඩවසම්
නළු ඩග්ලස් රණසිංහ ව "රෝමියෝ" ගේ චරිතයට තෝරා ගතී. මෙය විජය කුමාරණතුංගට තරමක් සිත්
තැවුලට පත් කරුණක් විය. ලෝකප්‍රකට ප්‍රේමනීය චරිතයක් වූ "රෝමියෝ" අත හැරීමත් එහි
දුෂ්ට චරිතය වූ "ටයිබල්ට්" ලැබීමත් එම චරිතයද සුළු පරාශයක් පමණක් විකාශනය වී, එය
වෙඩි වැදී මිය යෑමත් ,එතනින් පසු චරිතය අහෝසි වීමත් සිදුවන හෙයින්, එය එක්වරම විජයට
දරා ගැනීම අපහසු විය. එහෙත් ඒ සමයේම ජී.ඩී.එල් .පෙරේරා ලන්ඩන් වල රූ ගත කරන 'ඉගිළෙන
කුරුල්ලෝ" චිත්‍රපටයේ ප්‍රධාන චරිතයට විජයව තෝරා ගෙන විජයට "බුල්ටෝ" එකක් දුන් නිසා
, මේ "රෝමියෝ ජුලියට් කථාවක් " චිත්‍රපටයට ජී.ඩී.ඇල් ගත් තීරණයට විජයට හිස නමා ඒ
බුල්ටෝ එක කා නිහඩ වීමට සිදුවිය.
"මයි ඩ්‍රීම්ස් ආ රෝසස් ෆොර් මයි ලව්
අයි ඩ්‍රොප් දෙම් ඩවුන් ඔන් හර් ෆීට්
වෝක් ඔන් දෙම් සොෆ්ට්ලි මයි ලව්
යු ෆීට් විල් මේක් දෙම් මෝ ස්වීට් "
ඩග්ලස් රණසිංහ හෙවත් "රෝමියෝ" විසින් ජුලියට් ලෙස රගපෑ මෝනා මංගලා ගේ නිවසේ තිබු
සාදයට ගිටාරය වයමින් ගැයූ ගීතයය ඒ. මෙම ගීතය මර්සලින් ජයකොඩි පියතුමා විසින් ලියු
අතර සුනිල් ශාන්තයන් විසින් ගැයූ එකම ඉංග්‍රීසි ගීතය විය. මෙම සාදය ඉතාමත් රමණීය
ලෙස රූ ගැන්වී තිබුණි. එකල වර්ණ චිත්‍රපට නොතිබුණු හෙයින් මෙය කළු සුදු චිත්‍රපටයක්
ලෙස රූ ගත කෙරුවද ,මෙම සාදය වෙස්මූණු පැලද ගෙන බටහිර ආකාරයට ඉතාමත් චමත්කාරව
ඉදිරිපත් කර තිබුණි. එය සිංහල චිත්‍රපටයක එක්වූ එකම ඉංගී‍්‍රසි ගීතයද විය.
ශේක්ස්පියර්ගේ රෝමියෝ ජුලියට් කථා ශාරය තුල තිබුයේ කඩු සටන්ය. එහෙත් මෙහි තිබුනේ
තුවක්කු සටන්ය. ජි.ඩී.එල් එය හරි අපූරුවට කාලය හා පරිවර්තනය කර තිබුණි . කේ.ඩී
.දයානන්ද කැමරා අධ්‍යක්ෂණය කර තිබු අතර සංගීතය ෂෙල්ටන් ප්‍රේමරත්නගේය. තිර රචනය හා
අධ්‍යක්ෂණය ජී.ඩී එල් පෙරේරාය .
රංගනයේදී ඩග්ලස් රණසිංහ විශාල මැජික් එකක් නොපෙන්නුවද , ඔහුගේ නැවුම් පෞර්ෂත්වය
ආකර්ෂණීය විය. දක්ෂ නළුවෙකුගේ ආගමනයේ,පෙර නිමිති මෙම රෝමියෝ චරිතයෙන් පෙන්වීමට
ඩග්ලස් ට හැකි විය. මොනා මංගලා නම් පැහැදිලිවම නා ගත්තේය. 1968 ෆ්රැන්කෝ සේෆ්රිලි
අධ්‍යක්ෂණය කල "රෝමියෝ ජුලියට් " චිත්‍රපටයේ ජුලියට්ට රගපෑ ඔලිවියා හුසේ ගේ රංගනය
සහ සුන්දරත්වය ගැන සිතෙන විට, මෝනා මංගලා කාටුන් එකක් මෙන්ය. මෝනාව ජී ඩී එල් මොනවට
ගත්තාදැයි චිත්‍රපටය නරඹන විට අනන්තවත් සිතුණි.
පියදාස ගුණසේකර "ගජනායක" ගේ චරිතයටත්, පී.බී.මයිල්ලෑව " අත්තනායක " ගේ චරිතයට
සාර්ථකව පණ පෙවීය.
ජෝ අබේවික්‍රම, රුක්මණී දේවී ,අයිරාංගනි සේරසිංහ ,ඩී.ආර්.නානායක්කාර,කාන්ති ලංකා,
ධම්ම ජාගොඩ,නිහාල් ජයවර්ධන,චන්ද්‍රා කළුආරච්චි,බුද්ධි වික්‍රම, සදුන්
විජේසිරි,එල්සන් දිවිතුරුගම ,"රෝමියෝ ජුලියට් කථාවක් " හී සෙසු චරිත වලට පන දුනි.
"නැති තත් බිදුණා, මිණි වෙන වැයුනා
ගුණ ගී ගැයුණා - ඉහ මල් පිපුණා
ගිං ගඟ කළු ගඟ මුහුදේදී හාවේ
පාවෙන සුදු මුතු ගජ මුතු යාවේ
මේ විජය කුමාරණතුංග, බුද්ධි වික්‍රම ඇතුළු පිරිස ජීප් රථයක නැගී ගීතයක් ගයමින්
විනෝද වන ජවනිකාවකි . මෙම ගීතය සරත් සන්දනායක ඇතුළු පිරිස ගායනා කළෝය . එලෙසම
නිහාල් ජයවර්ධන විසින් මෙහි තේමා ගීතය ගායනා කළේය. එය එතෙක් මෙතෙක් සිංහල සිනමාවේ
දිගුම ගීතය විය. එහි ගායන කාලය විනාඩි 12 කි . එකල ජනප්‍රිය බටහිර ගීත ගයන ගායක
කණ්ඩායමක් වූ "ගබෝ ඇන්ඩ් ද බ්‍රෙක්වෙස්" රගමින් ගැයූ ගීතයක්ද මෙහි විය.
මෙම චිත්‍රපටයේ තිබු විශේෂත්වය නම් ප්‍රථම වරට විලියම් ශේක්ස්පියර් ගේ කථාවක්
ලාංකීය සිනමාවට ඇතුල්වීමය . එලෙසම සුනිල් ශාන්තයන් ඉංග්‍රීසි ගීතයක් ගැයීම, ඩග්ලස්
රණසිංහ නම් ප්‍රතිභාපූර්ණ නළුවෙක් ලාංකේය සිනමාවට හදුන්වා දීම , සහ නිහාල් ජයවර්ධන
විසින් විනාඩි 12 ක් වූ දිගම තේමා ගීතය ගැයීමය.
"රෝමියෝ ජුලියට් කථාවක්"චිත්‍රපටය පැල් බැදගෙන ආදායම් වාර්තා තබමින් ප්‍රදර්ශනය
නොකෙරුවාට, මෙම චිත්‍රපටයේ තිබු නැවුම් බවට, විශේෂිත බවට එය ජනයා අතර ජනප්‍රිය විය
. එස්.සංගදාස සිල්වා නිෂ්පාදනය කල ,ජී.ඩී,එල් පෙරේරාගේ "රෝමියෝ ජුලියට් කථාවක් "
1969 දෙසැම්බර් 21 වන දින ලාංකේය සිනමා ශාලාවල ප්‍රදර්ශනය ආරම්භ කළේය.
ශෝන් මැක්ස්මස් දිසානායක
(ලබන සතියේ තවත් චිත්‍රපටයක්)
|