වර්ෂ 2018 ක්වූ  සැප්තැම්බර් 20 වැනිදා බ්‍රහස්පතින්දා




යන අයට යන්න කියලා අපි අලුත් වුණා

යන අයට යන්න කියලා අපි අලුත් වුණා

රොමේෂ් සුගතපාල කියන්නේ කවුද කියලා ආයෙ අයෙ හඳුන්වා දෙන්න ඕන නැහැනෙ. ඒක නිසා අපි කෙළින්ම අදාළ කතාව වෙත යමු. රොමේෂ් අප කතාබහකට අල්ලා ගත්තේ එක්තරා ආරංචියක් නිසා. ඔහුගේ සංගීත කණ්ඩායම ගැනයි ඒ තතු විත්තිය දැනගන්නට ලැබුණේ. එහි සිටි සාමාජිකයින් කිහිප දෙනෙක් හදිසියේම ඉවත් වෙලා. ඒ විතරක්යැ ඔවුන් ෆේස්බුක් එක හරහා රොමේෂ්ගේ කීර්ති නාමයටත් හාණි පමුණුවමින් ප්‍රචාරණ වැඩ පිළිවෙළකුත් කරගෙන යනවලු. මේ හේතුවෙන් ඔහු යම් අපහසුතාවයකට පත්වෙලා කියලත් අප සමඟ කිව්වා. ඒවා සියල්ල ගැන රොමේෂ් වැඩිදුරටත් මෙන්න මෙහෙම අදහස් දැක්වූවා.

රොමේෂ් සිදු වුණ දේ A to Z  දැනගන්න ඕන?

ඔව් කියන්නම්. මගේ සංගීත කණ්ඩායම බිඳී ගිහින් කියලා ආරංචියක් පැතිරෙනවා. ඒ වගේම කණ්ඩායම දැන් නැහැ කියලත් සමහරු කියනවා. මේ නිසා එක්තරා පිරිසක් දැඩිව බය වෙලා. ඔවුන් තමයි මට සහ සංගීත කණ්ඩායමට ප්‍රසංග ලබා දුන් කට්ටිය. ලබන වසරේ ජනවාරි තෙක් මට බුකිං ලැබිලා තියෙනවා. මේ දූෂමාන ආරංචි හින්දා ඔවුන් නොසෑහෙන්න බය වෙලා. මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මගේ සංගීත කණ්ඩායම තවම තියෙනවා.

එතකොට සාමාජිකයින් අයින් වුණා කියන කතාව?

අයින් වුණා. ඒක ඇත්ත. එකවර පස් දෙනෙක් ගියා. ඔවුන් අයින් වෙලා විතරක් හිටියේ නැහැ. ෆේස්බුක් හරහා කැම්පේන් එකක් පටන් ගත්තා අලුත් ගමනක යෙදෙනවා කියලා සහ අපි දැන් රොමේෂ් ගාව නැහැ කියලයි ඔවුන් එමඟින් කිව්වේ. ඔතැන තමයි මුලාරම්භය වුණේ අර කට කතා පැතිරෙන්න.

ගිය පස් දෙනාගේ අඩුව පිරෙව්වේ කොහොමද?

මට තියෙන කන්ටැක්ස් හරහා ඇසිල්ලකින් තවත් පස් දෙනෙකු මට හොයා ගන්නට හැකියාව ලැබුණා. ඔවුන් හිටපු අයටත් වඩා දක්ෂයි බලාගෙන ගියාම.

පෙරළුණු පිට හොඳයි වගේ?

ඒක තමයි. එහෙම හිතෙනවා දැන්.

ඔබට දිගින් දිගටම මඩ ප්‍රචාරය එනකොට ඒ වෙනුවෙන් ක්‍රියා මාර්ගයක් ගත්තේ නැද්ද?

එච්චර දුරකට යන්න අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. ඔවුන්ට වඩා මං බුද්ධිමත් කෙනෙක්. අනවශ්‍ය කලබල ඕන නැහැනෙ. එයාලා විසින් අවුස්ස ගත් දේ එයාලම ඉවර කර ගනීවි.

ඒ අයට හොඳ ගමනක් තිබේවිද?

බෙහෝ දෙනෙකු ප්‍රසංග සහ විවාහ මංගල උත්සවවලට මගේ සංගීත කණ්ඩායම ඉල්ලුවේ මං හින්දා. කණ්ඩායම සමඟ මගේ සහභාගිත්වය අනිවාර්ය වුණා. එහෙම බලනකොට කණ්ඩායමේ සාර්ථකත්වය පිටුපස මං හිටියා. මම දන්නෙ නැහැ එයාලගෙ අනාගතය මොන වගේ වේවිද කියලා.

ඔබගේ කණ්ඩායමෙන් අයින් වුණ සාමාජිකයින් කවුද කියලා නම් වශයෙන් කියන්න පුළුවන්ද?

මං හිතන්නේ ඒක අවශ්‍ය නැහැ.

රොමේෂ් එක්ක වැඩකරන්න අමාරුයි කියලා හිතෙන්න පුළුවන්. ඒ ගැන මොකද කියන්න තියෙන්නේ?

කණ්ඩායමේ සාමාජිකයින්ට මං සැරවැර කරන්නේ නැහැ. නමුත් කියන්න ඕන දේවල් කෙළින්ම කියනවා. වැරැදි පෙන්වලා දෙනවා. ඔය ගිය අයටත් එහෙමයි. ඔවුන් හැදුණේ වැඩුණේ බොහෝ දේවල් ඉගෙන ගත්තේ මාත් එක්ක. නමක් පවා හැදුණේ. බොහෝ සෙයින් මං ඔවුනට සැලකුවා. එහෙම බලද්දී කාටවත් කියන්න බැහැ මගෙත් එක්ක වැඩ කරන්න අපහසුයි කියලා. ඔවුනට ආලෝකයක් වුණා මගෙත් එක්ක වැඩ කිරීම තුළින්.

යන අයට ඉන්න කියලා කිව්වෙ නැද්ද?

එක සැරයක් කිව්වා. නමුත් දෙවැනි තුන් වැනි වරට කිය කිය වැඳලා යන අයව නවත්වන්න බැහැ. අනික මට එහෙම කරන්න වුවමනාවකුත් නැහැ. ගිය අය ගියාවේ කියලා අපි අලුත් වුණා. මං ආයෙත් කියන්නේ මට වැඩ බාර දුන් අයට දෙගිඩියාවකින් ඉන්න එපා කියලයි.

මොනවද ඔබේ අලුත් ගී නිර්මාණ කටයුතු?

සින්දු දෙකක් කළා. එකක් මගේ. අනික බෑන්ඩ් එකේ. ඒවා එකම දවසක එළි දැක්වෙනවා. ඒ සඳහා තමයි මේ දිනවල වෙහෙසෙන්නේ.