වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඇතැම් වෙලාවට මං විකිණිලා තියෙනවා

ඇතැම් වෙලාවට මං විකිණිලා තියෙනවා

සුදර්ශන බණ්ඩාර

වසර කිහිපයකට පෙර නැවතුණ තැන මට තවමත් හොඳ හැටි මතකය. 2008 මාර්තු 08 වන දින සරසවිය පුවත්පතට මා ලියූ ලිපිය නිමා වූයේ මෙසේය.

“චිත්‍රපට අතට යොමුවීම තමයි ඉලාපොරොත්තු ලැයිස්තුවේ මුලින්ම තියෙන්නේ.”

දැන් අපට එතැන් පටන් මේ කතබහ ඇරැඹිය හැකිය.

සුදර්ශන බණ්ඩාර.

එන්න අපි එතැන් පටන් ගමන අරඹමු.

නමුදු නොකියාම බැරිය.

එදාට වඩා සුදර්ශන අද වන විට සෑම දේ අතින්ම පරිණතය.

* සුදර්ශන . . . අපි නැවතුණ තැනින් පටන් ගනිමු. ඒ කියන්නේ අභිනික්මක ළඟින් . . .?

ඇත්තටම ඉතාමත් ආදරයෙන්, ආසාවෙන් කළ චරිතයක්. හෙක්ටර් කුමාරසිරි මහත්මයා මේ චරිතයට මාව තෝරා ගනිද්දී හිසේ හැඩ තල පවා හොඳීන් නිරීක්ෂණය කළා. හිස මුඩු කළ පසුව හිස බොල් වෙව්ච, ගැටිති තිබෙනවාද කියලා පවා ඔහු සියුම්ව පරීක්ෂා කළා. ඉන් අනතුරුව තමයි මේ චරිතය සඳහා මාව තෝරා ගත්තේ.

මේ පිටපත ඇතුළේ කරන්නට ඉතාමත් සියුම් දේවල් තිබුණා. මට මේ පිටපත වෙනස්ම අකාරයකට දැනුණා. ඉතිං ඉතාමත් ආසාවෙන් සහ ආදරයෙන් තමයි බුද්ධදාස සහ බුද්ධදස්සී හිමිට පණ දුන්නේ.

* මේ චිත්‍රපටයට අන්තර් ජාලයේ කටකතා මඟින් විවිධ ප්‍රහාර එල්ල වුණා

ඔව් . . . එහෙම කළේ චිත්‍රපටය නොබලපු අය. ඒ වගේම ඇතැම් අයට කොච්චර චිත්‍රපට බැලුවත් ඒක ඇතුළෙ සියුම්ව දිවෙන කතා රසය උකහා ගන්නට තරම් බුදධියක් නැහැ. ඒ නිසා ඒ අය කරන්නේ චිත්‍රපටය අසාධාරණ ලෙස විවේචනය කිරීම. මෙතනදිත් වුණේ ඒකම තමයි.

* ඔබට ලැබුණේ අභියෝගයක්?

හොඳ අභියෝගයක්. වීදි නාට්‍යයක හැර මා මීට පෙර භික්ෂු චරිත කරලා තිබුණේ නැහැ. මේ චරිතයට පෙර මං භික්ෂුව හොඳින් අධ්‍යයනය කළා. මොකද මේ චරිතය ඉතාමත් පරෙස්සමෙන් කළ යුත්තක්. මට මේ චරිතයට සිවුර ඇඟ තිබ්බේ පිරිත් කියමින් ඉතාමත් පරෙස්සමෙන්. සිවුරක් ඇඟලා ගත්තම ඒ ශාන්ත බව ඉබේටම දැනෙන්න පටන් ගන්නවා. ඒක කියා නිමකර නොහැකි කරුණාබර හැඟීමක්.

* මේ චිත්‍රපටයේදී බුද්ධදස්සී හිමි සහ බුද්ධදාස කියන චරිත ද්විත්වයට දෝලනය වන්නට ඔබට සිදු වෙනවා. මේ චරිත ද්විත්වය එකිනෙකට වෙනස්.

බුද්ධදස්සී හිමියන්ගේ ගිහි කාලය තමයි බුද්ධදාස. මේ චරිත ද්විත්වය එකිනෙකට වෙනස් වගේම සමානතා දක්වනවා. නමුත් ඒ සමානතා හා වෙනස්කම් ඉතාමත් බුද්ධිමත්ව අවබෝධ කර ගැනීම ඉතාම වැදගත් වුණා. ඒ අනුව මේ චරිත දෙකටම සාධාරණයක් කරන්නට මට හැකි වුණා කියලා හිතනවා.

* අභිනික්මන හරහා ඔබට හොඳ ප්‍රවීණයන් ඇසුරු කරන්නට ලැබෙනවා?

රංගන ක්ෂේත්‍රයට පැමිණි කාලයේ සිටම මට ලොකු ආසාවක් තිබුණා අයිරාංගනී සේරසිංහ මහත්මිය, මාලිනී ෆොන්සේකා මහත්මිය වගේම ජෝ මහත්තයත් එක්ක එකට රඟපාන්න. මේ චිත්‍රපටයේදී ඒ ආසාවෙන් සියයට අනූවක්ම සාර්ථක වුණා. ජෝ මහත්තයා නිරතුරුවම ඇසුරු කරන්නට මට අවස්ථාව උදා වුණා. එතුමා ඉතාමත් නිවුණු හොඳ හිතැත්තෙක්.

අයිරාංගනී මහත්මිය වගේම ජෝ මහත්මයාගේ නිහතමානී බව අපේ පරපුරට ඉතාමත් හොඳ ආදර්ශයක්. ඒ තරමටම ඔවුන් නිහතමානියි. එවැනි සුන්දර මිනිසුන් සමඟ රඟපෑමට වගේම ඇසුරු කිරීමට ලැබීමත් මගේ භාග්‍යයක්.

ජෝ මහත්මයා ඉතාමත් පරිණත ගුණ යහපත් කෙනෙකු බව මා අසා තිබුණා. මම චිත්‍රපටයේ රූගත කිරිම් අතරතුර එතුමා සමඟ ඉතා සමීපව ආශ්‍රය කළා. එතුමා චිත්‍රපටයට නව අදහස් එකතු කළා වගේම නිර්මාණශීලී ගුණය වැඩි කරන්නට නිර්ලෝභීව ඉදරිපත් වුණා.

රූ ගත කිරීම් ඉවර වෙලා ජෝ මහත්තයත් එක්ක කතාවක් දාන එක මගේ අංගයක් වුණා. මං එතුමා රඟපෑ විවිධ චරිත ගැන විමසුවා. පුරහඳ කළුවර චිත්‍රපටයේ තිබෙනවා ඔහු බත් පිඟානට කණ තියලා බලන දර්ශනයක්. මං දවසක් එතුමාගෙන් ඒ ඇයි කියලා ප්‍රශ්න කළා.

ගමේ පුංචි කඩයක් ළඟට නිතරම එන හිඟන අන්ධ මනුස්සයෙක් කෑමට යමක් දුන්නම කණට තියලා බලනවලු. මේ සිද්ධිය ජෝ මහත්තයා බලන් ඉඳලා ඒ ඇයි කියල ඇහුවම මේ හිඟන්නා කියලා තියෙන්නේ කණට කෑම ඒකේ තත්ත්වය දැනෙනවා කියලා. ඇස නොපෙනෙන විට කණ සංවේදී වෙනවා කියලා එතුමා දැනගෙන තිබෙන්නේ එදා.

* පුරහඳ කළුවර චිත්‍රපටයේ හින්නිහාමි චරිතයට ඒ කොටස එක් කළේ ජෝ මහත්තයා. ජෝ මහත්තයා ඒ කොටස එක් කරන්නේ ස්ව අධ්‍යයනයෙන්. නමුත් ඒ දැවැන්තයන් සමඟ සසඳා බැලුවාම අපි ඉන්නේ කොතනද?

ජෝ මහත්තයට තියෙන්නේ කියා නිම කර නොහැකි දැනුම ගබඩාවක්. ශ්ලෝක, ගාථා, පිරිත්, බජන්, යන්ත්‍ර මන්ත්‍ර, ගායන ක්‍රම, සංගීතය, පොතපත, එතෙර සාහිත්‍ය ගැන එතුමාට තිබූ දැනුම අපරිමිතයි.

ඒ දවස්වල මට දැනුණේ අපේ පරම්පරාව ඉන්නේ පහළ තැනක කියලයි.

* මේ චිත්‍රපටය තිරගත වද්දීම ධ්බඵ ර්චබබඥප ධට ඹ්ධමඥ චිත්‍රපටයේ ඔබ වෙනම කෙනකු ලෙසයි හමුවන්නේ?

ඒ චරිතය මීට හාස්පස වෙනස් චරිතයක්. සරල සාමාන්‍ය සªටුදායක, නිදහස් ජීවිතයක් ගත කරන තරුණයෙක්.

* වේදිකාව ගැනත් කතා කළ යුතුමයි.

මියො නැතුව බෑ සහ උමතුසංවරුසාව කියන වේදිකා නාට්‍ය ද්විත්වය සමඟ මේ දිනවල කටයුතු කරනවා. කොතරම් දේවල් ලැබුණත් වේදිකාව අතහරින්න මගේ අදහසක් නැහැ. මට ක්ෂේත්‍රයට එන්නට පාලම තැනුවේ, වේදිකාව. ඒ වේදිකාවට එදා වගේම අදටත් මං ගෞරව කරනවා.

* නමුත් පසුගිය කාලයේ ඔබ වැඩි ප්‍රමුඛත්වයක් දැක්වූයේ ටෙලි නාට්‍යවලට?

මං ඊට විරුද්ධ වෙන්නේ නැහැ. පසුගිය දිනවල සඳ පිණි බිඳක, තූර්යා, සිටු මැදුර, ඉටිමල්, අම්මාවරුනේ වගේටෙලි නාට්‍යවලට මං දායක වුණා. ඒ වගේම සිහින අරන් එන්න, හිරු තනි වෙලා අහසේ, දියමත ලියමි වගේ ටෙලි නාට්‍ය එන්නටත් තිබෙනවා.

ප්‍රමාණාත්මිකව චරිත බදා ගන්නවාට වඩා ගුණාත්මකව නිර්මාණයක් කිරීම තමයි මට අවශ්‍යය. මේ යන රටාවට අනුව වැඩිපුර හැදෙන්නේ ටෙලි නාට්‍යය. ඉතිං ඒ අතරෙන් යමක් කළ හකි චරිතවලට දායක නොවුණොත් අපේ දක්ෂතා උපන්ගෙයි මිය යාවි.

* මා දන්නා පරිදි ඔබ හොඳ ගායකයෙක්?

ඒ ගායකයා දැන් හැංගිලයි ඉන්නේ. නමුත් ප්‍රසංග වේදිකාවකට ආරධනා ලැබුණම ඒ වෙනුවෙන් කැප වෙනවා මගේම ගීත කිහිපයකුත් කරන්න අදහසක් තිබෙනවා. නමුත් ඒ සඳහා තවමත් ආර්ථිකය ශක්තිමත් නැහැ. මං එහෙම කියන්නේ අද ලංකාවේ ගීතයක් කරනවා කියන්නේ අධික මුදලක් වැය වන අතිශය සංකීර්ණ ව්‍යාපෘතියක්. නමුත් ඉදිරියේදී ගීත කිහිපයක් කරන්න හිතක් මටත් තියෙනවා.

* ගුරුවරයාගේ භූමිකාව කොහොමද?

වත්තල ලයිසියම් පාසලේ නාට්‍ය හා රංග කලා ගුරුවරයා ලෙස දරුවන්ට දැනුම දෙන්නට ලැබීම වාසනාවක් කියලා මම හිතනවා. ඇත්තටම මං දරුවන්ව නාට්‍ය උළෙල වලට යොමු කරනවා. නාට්‍ය ගැන රංග කලාව ගැන යථාර්ථය කියා දෙන්න මං උත්සාහ කරනවා.

* ඔබත් මෙගා ලේබලය ඇලවුණ නළුවෙක්?

මෙහෙමයි. අලවා ගත්තාද, ඇල වුණාද, ඇලෙව්වාද කියන කතාවට වඩා එහෙම වුණේ ඇයි කියන එක සොයා බැලීම වටිනවා. ඇතැම් දෙවල් අකමැත්තෙන් වුවත් කරන්න සිදු වෙනවා. අපේ නාට්‍ය කලාව කැරකෙන්නේ එකම තැන. අපිට රඟපාන්න වෙන්නේ ඉතිං අපේ රටේ හැදෙන නාට්‍යවල. ඇත්ත . . . ඇතැම් වෙලාවට මං විකිණිලා තියෙනවා.

අද ටෙලි නාට්‍ය හසුරුවන්නේ චැනල්. චැනල්වලට යන විදියට තමයි වැඩේ යන්නේ. කොටස් 200 – 250 යනකොට අපි කරන චරිතයට අපි අතින්ම අසාධාරණයක් වෙනවා. මං කවදාවත් කොහේවත් චරිත ඉල්ලලා නැහැ. ජනප්‍රියවීමේ මේනියාවකුත් මට නැහැ. චරිතය හොඳ නම්, ගාන සාධාරණ නම් මම වැඩ භාර ගන්නවා.

මෙගාවලට රඟපානවට විරුද්ධ අය මෙගා රැල්ලට විරුද්ධ අය, ඔවුන්ගේ නිර්මාණවලට අපට කතා කරන්නේ නැහැ. ඒක තමයි යථාර්තය.

* ඉදිරිය කොහොමද?

ඉදිරියේදී නිර්මාණ කිහිපයකට ඇරැයුම් ලැබිලා තිබෙනවා. චිත්‍රපටයකටත් කතා කළා. මගේ රංගන ජීවිතය වගේම ගුරු ජීවිතයක් ඉතාමත් හොඳීන් සැම දෙනාගේම යහපත උදෙසා ගෙවන්නට මං බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම මෙතැනට එන්නට මට උදව් වුණු හැමෝටම ස්තුතිවන්ත වන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.