වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

‘අඹරේ නැත අද පුන්සඳ පායාලා’ ගීතය ගයන ගායකයා හා ගායිකාව සේන ෆොන්සේකා හා දයා නෙල්ලම්පිටිය යනුවෙන් පසුගිය සතියේ පළ වූ පිළිතුර මෙසේ නිවැරැදි විය යුතුයි. එය ගායනා කරනු ලබන්නේ ඇන්ජලින් ගු.ණතිලක සමඟින් අමරපාල සොයිසා. එම ගීතය රචනා කළේ කරුණාරත්න අබේසේකර වන අතර සංගීතය ප්‍රේමසිරි කේමදාසගෙන්. මේ පිළිබඳ නිවැරැදි තෙරතුරු පෙන්වා දුන් අපගේ පාඨක හිතවතුන්ටත්, එමෙන්ම තොරතුරු සොයා ගැනීමේදී සහාය ලබා දුන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවටත්, ප්‍රවීණ ගීත රචක සුනිල් විමලවීර මහතාටත් ස්තුතිය හිමි විය යුතුයි.

ටෙලි නාට්‍ය වගේම සමහර චිත්‍රපට නොබලන ජීවිතේ කෙතරම් සුන්දර ද නේද අර්ජුන්?

කරූ මන්දාවල – නාත්තන්ඩිය

ඒක සහතිත ඇත්ත කරූ. ඒ චිත්‍රපට බලන සල්ලිවලින් කාට හරි පිනට දානයක් දෙන එක එලොවටත් හොඳයි.

ලංකාවේ සිටි දක්ෂ නළුවකු වන බැප්ටිස්ට් ප්‍රනාන්දුගේ පළමු හා අවසාන චිත්‍රපටය මොනවාද?

එම්. එඩිසන් – රත්මලාන

බැප්ටිස්ට් ප්‍රනාන්දු පෙරකදෝරු බෑනා චිත්‍රපටයේ චරිත ද්විත්වයක (පොලිස් පරීක්ෂක හා මැරවරයෙක්) රඟපාමින් සිනමාවට පිවිසියා. ඒ වගේම චෙරියෝ ඩාලිං චිත්‍රපටය දැනට තිරගත වී ඇති අවසාන චිත්‍රපටය වුණා.

සමහර නාලිකා අසන අයට මුදල් ත්‍යාග පිරිනමන්නේ ඇයි?

චාමර ප්‍රේමනාත් විජේසිංහ – පිළියන්දල

එහෙම නැත්නම් ඒවා කවුරුත් අහන්නේ නැති නිසා.

ලතා මංගේෂ්කාර් සිංහල චිත්‍රපට පසුබිම් ගීත ගයා තිබේද?

වියානි ගුණවර්ධන - වෙන්නප්පුව

ඔව්නේ වියානි, ඒ සැඬ සුළං චිත්‍රපටයට. ඔබ වැනි පරැණි පාඨකයෙක් මේ බව නොදැන අහනවා නොවෙයි නේද?

රම්‍යලතා, ප්‍රේම තරඟය, පෙරකදෝරු බෑනා, ගංතෙර ආදි චිත්‍රපට නිෂ්පාදනය කළ ඒ. බී. රාජ් ගැන කෙටි විස්තරයක් කියන්න.

සේන ගමගේ – බණ්ඩාරවෙල

අදටත් තමිල්නාඩුවේ හොඳීන් ජීවත්වන ඒ. බාස්කර් රාජ් ලංකාවට පැමිණෙන්නේ ‘බණ්ඩා නගරයට පැමිණිම’ චිත්‍රපටයේ සම අධ්‍යක්ෂවරයා හැටියටයි. ඔහු චිත්‍රපට අධ්‍යක්ෂණයට පෙරාතුව සිංහල භාෂාව හොඳීන් ඉගෙන ගත්තා. ඔහු මුලින්ම සිනමාවට පිවිසෙන්නේ සේලම් නගරයේ මොඩර්න් චිත්‍රගාරයේ ටී. ආර්. සුන්දරම්ගේ සහාය අධ්‍යක්ෂවරයා හැටියටයි. ඔහු ශ්‍රීී ලංකාවේ අධ්‍යක්ෂණය කළේ එස්. එම්. නායගම්ගේ සුන්දර සවුන්ඩ් චිත්‍රාගාරයේ චිත්‍රපට අධ්‍යක්ෂවරයා විදියටයි. ඔහු ශ්‍රී ලංකාවෙන් ගිය පසු ඉන්දියාවේදී චිත්‍රපට රාශියක් නිපද වූවා. ඔහුගේ වැඩිමහල් දියණිය සරන්‍යා නායකත් වැනි ජනප්‍රිය චිත්‍රපටවල රඟපෑ දක්ෂ නිළියක්.

මෙය ඔබ පිළිගන්නවාද අර්ජුන්? මම මේතාක් දුටු රූමත්ම නිළිය සන්ධ්‍යා කුමාරියි. ඇයගේ රඟපෑම් ඉතා ඉහළයි. ඇය අකාලයේ මිය යෑම සිනමාවට බලවත් පාඩුවක්.

කරුණා වීරබාහු - නිවිතිගල

ඇය රූමත් කියා මම ඉහළින් පිළිගන්නවා. ඇය මිය යෑම ගැන කනගාටු වුවත්, ඒ වන විටත් ඇය සිනමාවෙන් නම් ඉවත්වෙලා සිටියේ. හැබැයි සන්ධ්‍යා වගේ රූමත් නිළියන් ලංකාවේ බොහොමයක් සිටියා. ඒ වගේම වර්තමානයේත් ඉන්නවා කරුණා.

ගාමිණී ෆොන්සේකා ජීවන් කුමාරතුංග සමඟ චිත්‍රපට රඟපා තිබේද?

ඊ. දයානන්ද සිල්වා - හික්කඩුව

ඔව්, ශක්ති චිත්‍රපටයේ එකට රඟපෑවා.

රූපවාහිනියේ මුල් කාලයේ ටයිටස් තොටවත්තයන්ගේ තෙවත, සිහසුන සහ එම්. එස්. මස්තාන්ගේ අටවැනි පුදුමය යන චිත්‍රපට ප්‍රදර්ශනය කළමුත් නැවත අපට දකින්නට ලැබුණේ නැහැ. 83 දී විජය චිත්‍රාගාරය ගිනිබත්වීමත් සමඟ චණ්ඩියා චිත්‍රපටය විනාශ වූවා යැයි යම් අය පැවසුවත් ඊට පසු කලෙක ලිඩෝ සිනමා ශාලාවේ මා එය නැරඹුවා මතකයි. මේ ගැන මොකද කියන්නේ අර්ජුන්?

ජානක ඉළුක්කුඹුර – කඩවත

චණ්ඩියා පමණක් නොවෙයි. බොහෝ චිත්‍රපට 83 දී විනාශ වූවා යැයි කීම ජානක ඔබ පමණක් නොවෙයි මාද පිළිගන්නේ නැහැ. 83 දී විනාශ වූවා යැයි කියූ චිත්‍රපට පසුකාලීනව මා නැරඹූ බවත් සත්‍යයි. එකල චිත්‍රපට බෙදා හැරීමේ බලතල තිබුණේ ජාතික චිත්‍රපට සංස්ථාව සතුවයි. ඒ අනුව 83 ගිනි ගත්තා යැයි කියන චිත්‍රපට අතර වනමෝහිනී, සංදේශය, ආත්ම පූජා, ධීවරයෝ වැනි චිත්‍රපට පමණක් නොව තවත් අති විශාල චිත්‍රපට සංඛ්‍යාවක් එයින් පසුවත් කොළඹ නගරයේ සිනමාහල්වලින් නැරඹුවා.

නාරාහේන්පිට එවකට පැවැති මොන්ටෝ නමැති සිනමාහල 1986 දී වසා දමනතුරු හැමදාම ප්‍රදර්ශනය කළේ පැරැණි චිත්‍රපට. 83 ගින්නට හසුව විනාශ වූවා යැයි කියන චිත්‍රපට නැවත ප්‍රදර්ශනය කළ දින වකවානු සහිතව කරුණු ඉදිරිපත් කරන්න මට හැකියි. මේ චිත්‍රපටවලට මොකද වුණේ කියන දේ ගැන සෙවීම චිත්‍රපට සංස්ථා සභාපති අශෝක සේරසිංහ මහතා කුමන විදියේ හෝ පරීක්ෂණ කටයුත්තක් අරඹනවා නම් එයට අප උදවු උපකාර කරන්නත් කැමැතියි.

එදා චිත්‍රපටවල රඟපෑ නළු නිළියන් රඟපෑමට මෙන්ම ගායනයට ද එකසේ දස්කම් පෑවා. අද එහෙම අය ඉන්නවාද?

සරත් රණසිංහ – කපුගොඩ

අදත් ඕනෑ තරම් ඉන්නවා සරත්. එයට හොඳම උදාහරණය තමයි මෙවර අම්පාරේ පැවැති සරසවිය දැයට කිරුළ වේදිකාවේ අලුත් පරපුරේ නළු නිළියන් ගීත ගායනයෙන් දස්කම් දැක් වූ අයුරු. ඒ වාගේම එදත් නිකමටවත් ගීතයක් කියන්න බැරි නළු නිළියනුත් සිටියා.

මහ රෑ හමු වූ ස්ත්‍රිය චිත්‍රපටයේ නළු නිළියන් කවුරුද?

එච්. වී. කේ. පියදාස - මාබෝල

ඩී. ඒ. එස්. මොහොමඩ් නිෂ්පාදනය කළ කේ. වෙන්ගඩසලම් (කේ. වෙන්කට්) අධ්‍යක්ෂණය කළ මහ රෑ හමුවූ ස්ත්‍රිය චිත්‍රපටයේ රඟපෑවේ ඇල්ෆ‍්‍රඩ් එදිරිමාන්න, සන්ධ්‍යා කුමාරි, පියදාස ගුණසේකර, ක්‍රිස්ටි ලෙනාඩ් පෙරේරා, සේනාධීර රූපසිංහ, පිටිපන සිල්වා, රාණි පෙරේරා, බී. එස්. පෙරේරා, වාහිනී ගුණසේකර, රූපසිංහ හාමිනේ, ඇග්නස් පෙරේරා, අයිරංගනී හේමලතා, අශෝක පෙන්නම්පෙරුම යන නළු නිළි පිරිසයි.

ජෝ අබේවික්‍රම රඟපෑ මුල්ම චිත්‍රපටය සරදම් ද, දේව සුන්දරීද?

සුදත් නිශාන්ත – මීගමුව

රඟපෑවේ දේව සුන්දරී, තිරගත වූයේ නම් සරදම්.

ජේ. ඒ. මිල්ටන් පෙරේරා සහ ලතා වල්පොල එකට ගී ගායනා කර තිබේ ද යනුවෙන් ඇසූ ප්‍රශ්නයට පහත සඳහන් ලෙස පිළිතුර මෙවර සඳහන් කරමි.

මිල්ටන් පෙරේරා සහ ලතා වල්පොල හිත මිතුරා චිත්‍රපටයට ‘නැවක් ඇදෙනවා’ ගීතයත්, සිරිපතුල චිත්‍රපටයට ‘පාවී පාවී උක්දඬු දුන්න’ ගීතයත්, තක්කිට තරිකිට චිත්‍රපටයට ‘කිඳුරු කුමාරි’ ගීතයත් ගයා ඇති අතර, සුජාගේ රහස චිත්‍රපටයට මිල්ටන් පෙරේරා, ලතා වල්පොල, ධර්මදාස වල්පොල හා සුජාතා අත්තනායක යන සිව් දෙනා එකට ගීතයත් ගායනා කළා.