වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ජුනි 16 දා ඇම් කොම්පැනි වේදිකාවේ නදීශ් සහ සමන් හමුවෙමු

ජුනි 16 දා ඇම් කොම්පැනි වේදිකාවේ

නදීශ් සහ සමන් හමුවෙමු

කලක් ඇන්ඩ් කොම්පැනි නාට්‍යයේ හෙළ රුවන් හැටියට රඟ පෑ සමන් ඒකනායක තවත් අයකු කැටුව සරසවියට ගොඩවැදුණා.

මේ නදීශ් දික්කුඹුර, මෙයා මේ දවස්වල වේදිකා නාට්‍යයක් කරන්න ලැහැස්ති වෙනවා.

සමන් තම සගයාව අපට හඳුන්වා දුන්නා.

මොකක්ද වේදිකා නාට්‍යයේ නම?

මං ඇහැව්වේ නදීශ් ගෙන්.

ඇම් කොම්පැනි. තවත් විදිහකින් කිව්වොත් ඇන්ඩ් කොම්පැනි නාට්‍යයේ වේදිකා නාට්‍යය. දෙතුන් දෙනෙක් හැර ඒකේ ඔක්කොම නළු නිළියො මේකෙ ඉන්නවා.

ඇයි පුංචි තිරයේ පිරිවර වේදිකාවට ගේන්න හිතුවේ?

මේක කලක තිස්සේ තිබුණු ඉල්ලුමක්. අනික ටී. වී. එකේ ඇන්ඩ් කොම්පැනි බලපු අය හැබැහින් ඒ නළු නිළියන්ව දැකලා නැහැනේ. මෙහිදී ඒකත් පුළුවන්. මං විශ්වාස කරනවා ඇම් කොම්පැනි තුළින් වේදිකාවේ විශාල පෙරළියක් කරන්න හැකිවේවි කියලා.

කාලයක් තිස්සේ ඇන්ඩ් කොම්පැනි මාලා නාටකය විකාශය වෙනවා. ඒකම වේදිකාවේ බලන්න මිනිසුන් ඒවිද?

අනිවාර්යයෙන්ම ඒවි. මං තමයි වසර ගණනාවක ඉඳලා ඇන්ඩ් කොම්පැනි පිටපත ලියන්නේ. ටී. වී. එකේ කතාව නෙවෙයි මේකෙ තියෙන්නේ. මෙයින් වෙනමම පණිවුඩයක් දෙන්නෙ. ඒක හින්දා මං මේක අවස්ථාවක් කරගන්නවා ටී. වී. එකේ තිබුණම දේ විතරක් නෙවෙයි වේදිකාවේ අප කරන්නේ කියලා.

මට තවත් ඇන්ඩ් කොම්පැනි සහ ඇම් කොම්පැනි සසඳන පැනයක් සිතට නැඟුණා. ඇන්ඩ් කොම්පැනි කාලානුරූපිව පිටපත සකස් කෙරෙමිනුයි රූගැන්වුණේ. ඒත් ඇම් කොම්පැනි එහෙම කරන්න පුළුවන්ද? සාමාන්‍යයෙන් වේදිකා නාට්‍යයක පිටපතක් කාලයෙන් කාලයට වෙනස් කරන්න අමාරුයි නේද?

ඔව්, ඔබ කියන කතාව හරි. නමුත් මෙහි දෙබස් සකසා තියෙන්නේ යම් යම් වෙනස්කම් වලට භාජනය කළ හැකි ආකාරයට. යම් අලුත් සිද්ධියක් දේශපාලන කරළියේ වනවිට ඒක ක්‍ෂණිකව ඇඳ ගන්න දැනට අපි ප්ලෑන් කරලා තියෙනවා.

කොහේද කවදාද ඇම් කොම්පැනි මංගල දර්ශනය තියෙන්නේ?

මෙම මාසේ 16 වැනිදා. ඒ කියන්නේ ලබන ඉරිදා සවස 6.30 ට කොළඹ ලුම්බිණි ශාලාවෙදියි ඇම් කොම්පැනි හා හාපුරා කියලා වේදිකා ගතවන්නේ.

ඇම් කොම්පැනි වගේ නමක් භාවිත කළේ වෙළෙඳ උපක්‍රමයක් විදිහටද?

ඔව්

කවුද ඇම් කොම්පැනි හි පිරිවර?

ඇම් කොම්පැනි හි ඇන්ඩ් කොම්පැනි නාට්‍යයේ ඉන්න සේරම අය ඉන්නවා දෙන්නෙක් හැර. ඒ මිහිර සිරිතිලක සහ අංජුලා රාජපක්‍ෂ. මිහිරම තමයි ඔහුගේ චරිතයට සමන්ව යෝජනා කළේ.

ඇම් කොම්පැනි නරඹන්න දේශපාලන ක්‍ෂේත්‍රයේ පිරිසට කතා කළේ නැතිද?

විශේෂ ආරාධනාවක් කළේ නැහැ. ඒත් පොදුවේ ආරාධනාවක් කරනවා මෙය බලන්න එන්න කියලා.

ඔබ ගැන කෙටි හැඳින්වීමක් කළොත් එහෙම?

ඇන්ඩ් කොම්පැනි තිර රචනයට අමතරව නිදහස් මාධ්‍යවේදියකු විදිහට කටයුතු කරනවා. පන්නිපිටිය ධර්මපාලයේ සහ හොරණ ශ්‍රීපාලි මණ්ඩපයේ ඉගෙන ගන්න කාලෙමයි නාට්‍ය කරන්න පටන් ගත්තේ. ඒ ගමන තමයි මේ තවමත් යන්නේ.

සමන් තම සගයාගේ කතාව අවසන්වනතුරු බොහොම නිහඬව බලාගෙන හිටියා. බොහොම දෙනකු නොදන්නවා වුණාට ඔහු හොඳ ගීත රචකයෙක්. මං ඒ ගැන විමසුවා?

ජානකගේ බාලිකාවියන්, ප්‍රදීපා ධර්මදාසගේ බෝධිසත්ව ලීලාවෙන්, චරිතාගේ හඳපාන වැටෙන ලන්ද, චාමර වීරසිංහගේ ගැටබරු කන්දේ මං ලියූ ගීතවලින් කිහිපයක්.

ඇයි ඔබ ගීත රචකයකු විදිහට කැපී පෙනෙන චරිතයක් නොවුණේ?

මං ඉල්ලුවොත් විතරයි කාටහෝ සිංදුවක් දෙන්නේ. අනික දඩිබිඩියේ සිංදු ලියන කෙනෙක් නෙවෙයි මම. කාලයක් ගන්නවා සිංදුවක් ලියන්න. ඒක වෙන්න ඇති මං වැඩිය ඒ පැත්තෙන් ඉස්මතු නොවුණේ.

ඔබත් ඇම් කොම්පැනි නිසා බොහොම කාර්ය බහුල වෙලා?

මං මේ දවස්වල මේකටම කැපවෙලා ඉන්නේ. වේදිකා නාට්‍යයක් නිසා හොඳට පුහුණුවීම් කරන්න එපායැ.

සමන් කොහොමද රංගනයට එන්නේ?

මගේ ගම දෙණියායේ මොරවක. උසස් පෙළ කරන්න අනූව දශකයේ මුල විතර මං කොළඹ එනවා. පසන් කොඩිකාර මහත්තයාගේ වීදි නාට්‍යවලට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා ඒ කාලයෙදිම. රංජිත් ධර්මකීර්තියන් හඳුනා ගැනීමත් සමඟ ඔහුගේ මෝදර මෝල වේදිකා නාට්‍යයට මාව එකතුකර ගත්තා.

ඒ හරහා තමයි සමන් ඒකනායක කියන චරිතය ක්‍ෂේත්‍රයේ අය හඳුනා ගන්නේ. ඊට පසුව වසර ගණනාවක් මනෝරත්නයන්ගේ සඳගිර, කනේරු මල්, ලෝකය තනියායක්. බුද්ධික දමයන්තගේ පළිගු රෑන ආදී වේදිකා නාට්‍ය බොහොමයක රඟන්න මට ලැබෙනවා.

වසන්ත මොරගොඩයන් තමයි මාව ටෙලි නාට්‍යවලට ගේන්නේ. ඒ ඇන්ඩ් කොම්පැනි හි හෙළ රුවන් මට බාර දෙමින්. එහිදී ‘ඇල්වතුරත් නිවලා බොන්නේ’ යන වචන පේළියත් එක්ක එක රැයකින් මිනිස්සු මාව හඳුනා ගන්නවා. අනතුරුව අතුරුපාර, ෆැමිලි ඩොක්ටර්, බට්ටි, සඳ සාක්කි 99/9 වැනි නාට්‍යවලට දායක වුණා.

මා දන්නා තරමින් ඔබ වෙනත් වෘත්තියක නියැළෙන්නේ නැහැ?

ඔව්, මගෙ වෘත්තිය නාට්‍යකරණය.

ලංකාව වගේ රටක නාට්‍ය කරලා විතරක් ජීවත්වන්න පුළුවන්ද?

තමාට ලැබෙන මුදල හරියට කළමනාකරණය කළොත් සිම්පල්.

ඉතින් සමන් ඇම් කොම්පැනි නිසා ආයෙත් හෙළ රුවන්ගේ චරිතය ලැබුණා නේද?

ඇන්ඩ් කොම්පැනි නාට්‍යයෙන් වසන්ත අයියා අයින් වෙද්දී මමත් ඉවත් වුණා. මොකද ඔහුනේ මාව ගෙනාවේ. ඊට පස්සෙයි එය මිහිර කළේ. නදීශ් කිව්වා වගේ මිහිරට කාර්ය බහුල නිසා ආයෙත් මට හෙළ රුවන් ලැබුණා. ඇත්තටම සතුටුයි.

ඇම් කොම්පැනි නරඹලා අපට හොඳ නරක කියන්න ඒක අපට ගොඩාක් වටිනවා.

නදීශ් අවසන් කොට එහෙම කිව්වා. ඇම් කොම්පැනි හි රූගත කිරීම් අතරතුරදී සහ පෝස්ටර් සඳහා ගත් සේයා රූ දුටු බොහෝ දෙනෙක් එය රසවත් අත්දැකීමක් වේයැයි මත ප්‍රකාශ කළා.