වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මං වැඩ කරන්නේ සීමාවක ඉඳලා

මං වැඩ කරන්නේ සීමාවක ඉඳලා

සිරස සුපර් ස්ටාර් වූ දසුන්ගේ හිත කියවමු

ඔහු සෙමින් පාසල් බිමේ ඇවිද යයි. ඒ මුවින් ගීතයක් ද මුමුණමිනි. ඔහුගේ සිතෙහි සප්තස්වර කැටයම් කළා මෙන් තැන්පත්ව ඇත. ඔහු ඒ තරමටම සංගීතයට ලැදිය.

හදිසියේම තම එකම අයියණ්ඩිය වන කසුන් මධුසංඛ සිරස සුපිරි තරු සොයා යෑමේ සිව් වැනි අදියරේ පෑ දස්කම් ඔහුට සිහි විය.

අයියේ, මටත් සුපර් ස්ටාර් යන්න ඕන.

කඩිමුඩියේ නිවසට ගිය ඔහු කසුන් අසලට පැමිණ කීවේය. ඒ වන විටත් අපේ කථා නායකයා මොරටුව වේල්ස් කුමර විදුහලේ නවවැනි වසරේ ශිෂ්‍යයෙකි.

‘මුලින් ඉගෙන ගන්න’ යැයි මලයණ්ඩිට නොකී කසුන් ඉගෙන ගන්න ගමන් සංගීතයත් මනාව ප්‍රගුණ කරන්නැයි අවවාද කළේය. ඔහු සුපිරි තරු සොයා යාමේ පස්වැනි අදියරට තම අතින්ම සැකසූ අයැදුම් පත්‍රයක්, දසුන් වෙනුවෙන් තැපැල් කළේය. මේ යවන්නේ ඊළඟ සුපිරි තරුවගේ අයැදුම්පත බව ඔහු නොසිතන්නට ඇත.

මේ කතාව මෙතැනින් වෙනත් මගකට මම ගෙන යමි. ඉතිරිය පවසන්නේ ඔහුගේ වචනවලිනි. සිරස සුපිරි තරු සොයා යාමේ පස්වැනි අදියරේ සුපිරි තරුව රත්මලානේ දසුන් මධුශාන් මේ කතාවේ නායකයාය.

දසුන් පවසමු ඉතිරිය?

අයියා අයැදුම්පත්‍රය දම්මට පස්සේ මට පුදුමාකාර සතුටක් ලැබුණා. සිරස ස්ටයින් මැදිරියේමයි පළමු තරග වටය තිබුණේ. මට ඉස්සරහින් හිටපු තිදෙනාම දෙවැනි වටයට තේරුණේ නැහැ. හද ගැස්ම බෙහෙවින් වැඩි වුණා.

ඊට පස්සෙ?

මමත් හිතුවෙ මාවත් අයින් වේවි කියලා. ඒත් මම දෙවැනි වටයට ගියා. එතැන්පටන් සුපර් ස්ටාර් වෙනකම් හරි ආත්ම විශ්වාසයකින් හිටියේ.

ඔබ තවම පාසල් ශිෂ්‍යයෙක්?

ඔව්, ලබන අවුරුද්දෙයි ඒ ලෙවල් ලියන්නේ. මොරටුව වේල්ස් කුමාර තමයි මගෙ පාසල. විජය බණ්ඩාර වැලිතුඩුව සර් සහ චමිලා නාමලී මිස් යන දෙපොළයි මට පාසලේදී සංගීතය ඉගැන්නුවේ. එයට අමතරව තිස්ස ගුණවර්ධන සර් යටතේ නාට්‍ය හා රංග කලාව හදාරණවා. මේ වෙලාවෙ අප විදුහලේ විදුහල්පති සම්පත් වේරගොඩ මහතාවත් ආදරයෙන් මතක් කරනවා.

ඔබ වෙනත් තරගකරුවන් වගේ වැඩිපුර පැරැණි ගීත ගැයුවේ නැහැ?

මට ඕන වුණේ වැඩිපුර තරුණ පිරිස මාවටා රොක්කර ගන්න. ඒ හින්දා මං වැඩිපුර අලුත් ගීත ගැයුවා. ඉන්ද්‍රචාප ලියනගේ ගේ සිංහයෝ ගීතය ගැයූ දවසෙයි ගොඩක් ප්‍රතිචාර ලැබුණේ.

ඔබ එහෙම කළේ ඔබේ එස්. එම්. එස්. ගොඩ වැඩිකර ගැනීමටද?

නෑ මං හිතනවා මෙවන් වූ තරගවල දී පැරැණි ගායකයන්ව ඕනෑවට වඩා විකුණනවා කියලා මටත් එහෙම කරන්න හිතුණේ නැහැ.

ඔබ දැන් සුපිරි තරුවක්. සුපුරුදු ජීවන රටාව ගෙනියන්න බැහැනේද?

එහෙම තමයි. ඉස්සර වගේ නිදහසේ පාරෙ තොටේ ඇවිදින්න බැහැ තමයි. එත් පුරුදු පරිදි මිත්‍ර සමාගම නම් හැකි පරිදි පවත්වනවා.

ඔබ සුපර් ස්ටාර් වූ මොහොත ගැන යළි ආවර්ජනය කළොත්?

ඒ වෙලාවේ ලොකු බරකින් හිස නිදහස් වුණා වගේ කියලා හිතුණා.

සතුට දැණුනෙ නැතිද?

මං ටිකක් ඕනෑවට වඩා හිතන කෙනෙක්. ඒකයි අරවගේ හිතුණේ.

මේ තරගය අතරතුරදී වෙච්ච අමතක නොවන අත්දැකීම මොකක්ද?

අවසාන 24 දෙනාගෙන් 12 දෙනාට තෝරද්දි මමයි තව තරග කරුවෙකුයි සිං කළේ. විනිශ්ච මණ්ඩලයට තෝරගන්න බැරි වුණා කාවද ඒ වෙලාවේ ඉදිරියට යවන්නේ කියලා. ඔවුන් කාසියක් උඩ දාන්න තීරණය කළා. කාසියේ වාසිය ලැබුණේ මට. ඒ මොහොත නම් ජීවිතේට අමතක වන්නේ නැහැ.

ඔබේ විලාසිතා ගැන ගොඩක් අය කතා කරනවා?

විලාසිතා නොකර බැහැනේ. මං විශේෂයෙන්ම කොණ්ඩය ගැන සැලකිලිමත් වෙනවා. මගෙ කොණ්ඩය කූරු කූරු නිසා මට ඉත්තෑ මල්ලී කියලා පෙට් නේම් එකකුත් දාලයි තිබුණේ. මගෙ අනන්‍යතාව ගොඩනගාගන්න ඕන නිසා ඉංගී‍්‍රසි ඩී අකුර සටහන් වූ ටී ෂර්ට් පමණයි අඳින්නේ.

සුපර් ස්ටාර් දිනලා ලබන මුදල්වලින් මොකද කරන්න හිතාගෙන ඉන්නේ?

සංගීත කටයුතුවලටම වියදම් කරනවා.

රිඟිං ටෝන් ගැන ඔබේ ආකල්පය මොකක්ද?

දැන් නම් රිඟිං ටෝන් ඇති. රිඟින් ටෝන්වලට සිංදු කරන එක නවත්වමු කියන මතයෙයි මං ඉන්නේ.

දසුන්ට ගැහැනු ළමයිගෙ ආකර්ෂණය ගොඩක් තියෙනවා?

මටත් ඒක දැණෙනවා.ඒත් මං මගෙ සීමාවේ ඉඳගෙනයි කොයි කාවවත් ආශ්‍රය කරන්නේ.

ඔබේ ප්‍රතිවාදී තරගකරුවා වූ රසින්ත ගයාන් ගැනත් වචනයක් කියමු?

ඔහු මට ඇත්තටම මහත් වූ අභියෝගයක් වුණා. ඔහු හොඳම හොඳ අවංක ප්‍රතිවාදියෙක්.

දසුන්ට කතා කරන්නට ආසාවෙන් බොහෝ අය ඇති?

0715541412 අංකයට හෝ [email protected]  යන විද්‍යුත් ලිපිනයෙන් මාව සම්බන්ධ කරගන්න පුළුවන්.

අවසන්කොට මොනවද කියන්න තියෙන්නේ?

සුසාර දිනාල් මහතා ඇතුළු සිරස කණ්ඩායමට, මට උදවු කරපු හැමෝටම තුති පුදනවා. ඒ වගේම හැමදාමත් මගෙ රසිකයන් වෙනුවෙන් ගයනවා. මට එස්. එම්. එස්. එවපු හැමෝටම මං ආදරෙයි.