වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




වරද කාගෙද?

වරද කාගෙද?

චිත්‍රපටයක් මුදා හැරීමේදී පිටපත් 35 කට සීමා කිරීමට ජාතික චිත්‍රපට සංස්ථාව ගෙන ඇති තීරණය මේ දිනවල විවිධ පාර්ශව මඟින් කතාබහට ලක් කර තිබුණ ද මෙම නව නියෝගය සිනමා ශාලාවලට බලපාන්නේ කේසේදැයි තාමත් කිසිවෙකු විමසා නැති නිසා මෙසේ ප්‍රකාශයක් නිකුත් කිරීමට අදහස් කළෙමු.

චිත්‍රපටයක් ප්‍රදර්ශනයේදී මූලික වන නිෂ්පාදක, බෙදා හැරීමේ මණ්ඩල, සිනමා ශාලාව, ප්‍රේක්ෂකයා යන කොටස් 4 කි. මෙම නව නියෝග පැනවීමේදී ඉහත සඳහන් කොටස්වලින් කොපමණ පිරිසකගේ අදහස් විමසා ඇත්දැයි අපි නොදන්නෙමු. සිනමා ශාලා හිමියන්ගේ අදහස් විමසා නැති වගත් ඒ පළාත්වල ලක්ෂ සංඛ්‍යාත ප්‍රේක්ෂකයින්ගේ අදහස් ද විමසා නැති බවත් අපි දනිමි. නිෂ්පාදකයින් හා අධ්‍යක්ෂවරුන් මෙහිදී දෙකඩ වී සිටින නිසා ඔවුන්ගේ එක් පාර්ශවයක් පමණක් සලකා බලා ඇති බව පැහැදිලිය.

සිනමා ශාලාවලට ප්‍රෙක්ෂකයින් කැඳවන ජනප්‍රිය මෙන්ම උසස් ගණයේ චිත්‍රපට නිපදවන සිනමාකරුවන් සියලු දෙනාම මෙයට එරෙහිව සිටියදී ඔවුන්ගේ හඬට කන් නොදී ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක් නොවන පිරිසකට පමණක් කන් දීමෙන් සමත්ත සිනමාවේ ද බිඳ වැටීමක් වන බව බලධාරීන්ට නොවැටහී තිබීම පුදුමයකි.

වසර පුරා සිනමාශාලාවල පෙන්වන චිත්‍රපටවලින් සිනමා ශාලාවේ වියදම හෝ පියවා ගන්නේ ඉඳහිට හෝ ලැබෙන ජනප්‍රිය චිත්‍රපටයකින් පමණි. බොහෝ විට මෙවන් චිත්‍රපට වසරකට ලැබෙන්නේ එකකි. එකකට වැඩි වන්නේ කලාතුරකිනි. ඉඳහිට හෝ ලැබෙන එවන් චිත්‍රපටයක පිටපතක් පළමු වටයේ අපට නොලැබෙන්නේ නම් අනෙකුත් ජනප්‍රිය නොවන චිත්‍රපට පෙන්වීමෙන් හෝ ජනප්‍රිය චිත්‍රපට දෙවන වටෙයේ පෙන්වීමෙන් අපට සිනමා ශාලා පවත්වාගෙන යා නොහැකිය.

නව නීතිය අනුව මුදාහැරීමේ උපරිමය 35 කට සීමා වුවහොත් බොහෝ දුර බැහැර සිනමාහල්වලට ජනප්‍රිය චිත්‍රපට පිටපත් නොලැබී යනු ඇත. එසේ වුවහොත් එම සිනමා ශාලා පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇත. දිගින් දිගටම පාඩු ලබමින් ව්‍යාපාරයක් පවත්වාගෙන යා නොහැකි නිසා අපට සිදුවන්නේ අකමැත්තෙන් හෝ අපගේ සිනමා ශාලා වසා දැමීමටය. අසාධාරණයට ලක්වන්නේ සිනමා ශාලා පමණක් නොවේ. මේ ප්‍රදේශවල සිටින සිනමා රසික ජනතාවට සිදුවන අසාධාරණයට වග කියන්නේ කවුද?

හම්බන්තොට, මොණරාගල, අම්පාර, ත්‍රිකුණාමලය, මාතලේ, පොළොන්නරුව, පුත්තලම ආදී සිංහල සිනමා ප්‍රේක්ෂකයින් බහුල දිස්ත්‍රික්කවල එකම සිනමා ශාළාවකටවත් පළමු වටයේ පිටපත් නොලැබෙනු ඇත. මෙම ප්‍රදේශවල වසන ජනයා දෙවන ගනයේ පුරවැසියන් වන්නේ කෙසේද?

නිෂ්පාදකයින් මුදල් වැයකර පිටපත් මුද්‍රණය කර දෙන්නේ නම්, සිනමා ශාලා එම චිත්‍රපට පෙන්වීමට සූදානමින් සිටී නම්, ඒ ඒ ප්‍රදේශවල ජනයා චිත්‍රපටය නරඹන්නේ නම් එම අවස්ථාව නවතා දැමීමට

තවත් පිරිසකට ඇති අයිතිය කුමක්ද?

එසේ නවතා දැමීමෙන් වාසියක් වන්නේ කාටද?

සිනමා ශාලා හිමියන්ට පැන නැගී ඇති ප්‍රශ්න පිළිබඳ සාකච්ඡා කොට යම් සම්මුතියකට එළඹීමේ අරමුණින් පසුගියදා ගැලි හෝටලයට රැස් වූ ජාතික සිනමා ශාලා හිමියන්ගේ සංගමයේ නිලධාරීන් හා සාමජිකයෝ රැස්ව සිටි අයුරු

ජනප්‍රිය චිත්‍රපටයක් අවහිර කර, ජනප්‍රිය නොවන චිත්‍රපටයක්ම සිනමා ශාලාවලට ආදේශ කිරීමක්ද සිදු නොවේ. මෙම සත්‍ය වටහා ගැනීමට වර්තමාන තත්ත්වය විමසා බලන්න. අද ‘සිරිපැරකුම්’ චිත්‍රපටය ප්‍රේක්ෂකයින් පිරුණ සිනමා ශාලා 55 ක තිරගත වෙයි. තවත් අලුත් චිත්‍රපට 2 ක් මේ මොහොතේ තිරගත වුවත් ඔවුන් මුදා හැර ඇත්තේ අඩු පිටපත් සංඛ්‍යාවකි. පිටපත් අඩු කිරීමට හේතුව ප්‍රේක්ෂක ආකර්ෂණය අඩුකම මිස වෙන හේතුවක් නොවේ. එම චිත්‍රපට දෙක තිරගත වන සිනමා ශාලා කිහිපයට ද ප්‍රේක්ෂකයින් ඇදෙන්නේ අඩුවෙනි. මෙම චිත්‍රපටවලට ප්‍රේක්ෂකයින් අඩුවීම හොඳ චිත්‍රපට සීමා කිරීමෙන් විසඳෙනවාද? සිනමා ශාලා හිඟය නිසා චිත්‍රපට පෝලිම දික් වී ඇත කියා කිව්වත් මේ මොහොතේ සිනමා ශාලා කීයක් නම් චිත්‍රපටයක් නැතුව වේලෙමින් තිබෙනවාද? ජනප්‍රිය චිත්‍රපටයක පිටපතක් මේ සිනමා ශාලාවක ප්‍රදර්ශනය කළොත් පාඩු වන්නේ කාටද?

සිනමාවේ ගැලවුම්කරුවන් වන ජනප්‍රිය නිර්මාණකරුවන්ට ඊර්ෂියා නොකර, තමනුත් හොඳ චිත්‍රපට හදන්න කියා 35 සීමාව ඉල්ලන සිනමාකරුවන්ට අපි කියන්න කැමතියි. හොඳ චිත්‍රපට දිගින් දිගටම හැදෙනවා නම්, ඊට සරිලන පරිදි අලුත් සිනමා ශාලා හදන්නට අප සුදානම්ය. නමුත් ජනප්‍රිය චිත්‍රපට සීමා කළොත්, තාවකාලිකව හෝ නැවතුණොත් ඒ කාලය තුළ ප්‍රේක්ෂකයින් සිනමාවෙන් ඉවත් වී සිනමා ශාලා විශාල ප්‍රමාණයක් වැසී යනු ඇත. එය යළි ගොඩ ගන්නේ කෙසේද? දැන් සිදු වන්නේ ඇඳුමේ ප්‍රමාණයට ශරීරිය කැපීමක් නොවේද?

චිත්‍රපටය හදන්නේ කවුද? ඔවුන්ගේ දේශපාලනය කුමක්ද? ඔවුන්ගේ ආරවුල කුමක්ද? යන්න අපට අදාළ නැත. අපට සිනමා ශාලා පවත්වාගෙන යාමට නම් ජනතාව නරඹන උසස් ගණයේ චිත්‍රපට සිනමා ශාලාවලට අවශ්‍යය. 35 සීමාව යටතේ අපට ජනප්‍රිය චිත්‍රපට නොලැබී යන්නේ නම් ලංකාව පුරා සිනමා ශාලා වැසී යාමේ අවදානම ගැන කිසිවෙකු විමසා බලා ඇතිද?

එහෙයින් මෙම පිටපත් සීමා කිරීමෙන් සිනමාවට වෙන වාසි, අවාසි මොනවාද යන්න පිළිබඳව සිනමා ශාලා හා ප්‍රේක්ෂකයන්ගේ ද අදහස් විමසා බලා 35 සීමාව ඉවත් නොකළහොත් සිනමාව යළි කඩා වැටෙන්නේ යළි ගොඩ නොගත හැකි ලෙසය. එසේ වුවහොත් එයට වගකිව යුත්තන්ට දෙන දඬුවම කුමක්දැයි ජනතාව තීරණය කරනු ඇත.