වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මානවසිංහ පබැඳූ සිනමා ගී...

මානවසිංහ පබැඳූ සිනමා ගී...

බුද්ධ දිවාකරයාණෝ

පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ
වෙසක් පොහෝ දින දිනූ සේක ලොව
බුද්ධ දිවාකරයාණෝ
සැනසෙමු පුද දී මුනි සිරි පාදේ
පිහිනමු පිහිනමු බුදු ගුණ මූදේ

සනසා මුළු ලොව නිවන් ලබාදී
පුණ්‍ය මහෝදදි ශාන්ත සමාධී
සනරාමර ගුරු ලෝක ශිවංකර
බුද්ධ දිවාකරයාණෝ
මාර පරාජය කළ මුනිඳුන්ගේ
කරුණා සීතල මෙත් ධාරා
ගලා බසී තුන් ලෝ තලයේ
දුක් ගිමන් නිවා අම සෙත් සාදා
බුදු රැස් කැටි වී නැඟි ආලෝකේ
පිස යයි දුකඳුරු මුළු තුන් ලෝකේ

ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව, නන්දා මාලිනී ඇතුළු පිරිස
තනු නිර්මාණය –
ඩබ්ලිව්. ඩී. අමරදේව
චිත්‍රපටය ‘රන් මුතු දූව’

ආදරියේ රුචිරාණනියේ

ආදරියේ රුචිරාණනියේ
ලියලනවා තව තව සෝකේ
වැලපෙනවා මා අද හිර ගේ
ආදරියේ රුචිරාණනියේ

මගෙ ආදරියේ සුව නින්දේ
රස සිහින වැලේ එතිලා
හමනා සුළඟ ද මේ එන්නේ
කවදද ඇයගේ මුව කමලේ
ඔද වැඩෙන සිනා රසයේ
ගිලිලා යළි මා සැනසෙන්නේ
ආදරියේ රුචිරාණනියේ

හා හා ඇයි මේ සතුරු කැල මැද
කඳුළු පෙරා සිහලුන් මෙලොවේ
නෑ නෑ ළත වෙන්නේ
ඔද පා තෙද පා දැඩි එඩි පා
මේ යදම් කඩා පුපුරා යන සේ
කකියා එයි රුධිරේ
ආදරියේ රුචිරාණනියේ

ගායනය - මොහිදීන් බෙග්
තනු නිර්මාණය - සජාද් හුසේන්
චිත්‍රපටය ‘දෛවයෝගය’

ගලන ගඟකි ජීවිතේ

ගලන ගඟකි ජීවිතේ
දයාලූ ලෝකයේ
මිහිර පතා ආදරේ
ළපලු නටයි ගං තෙරේ
ගලන ගඟකි ජීවිතේ....

වැලි තල කිති කවන නටන
පෙම් රළ වැල ඉවුරු බදන
මිහි තලයට සුවය දැනෙන
උකුළු තලය බඳු නැළැවෙන

පෙමට පෙම පුදා
තුඩට තුඩු දිදී
කුරුලු ගී නඟයි
ආදරේ බැඳීලා

ගායනය – නන්දා මාලිනී සහ නාරද දිසාසේකර
තනු නිර්මාණය – ඩබ්ලිව්. ඩී. අමරදේව
චිත්‍රපටය – ‘රන් මුතු දූව’

ඉර හඳ පායන ලෝකේ

ඉර හඳ පායන ලෝකේ
ආලෝකය අතරේ
සැප දුක සමබර වේ
මේ ජීවන කතරේ
සැප දුක සමබර වේ

උකුලේ ළමැදේ සමබර උසුලන
ගැමිලිය යන ගමනේ
මුදු බඳ නැළැවෙන සේ
කඳු වැටි ගංගා සාගර එක සේ
පොළොවට සමබර වේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

වැඩිවන ආශා මැඬලන වේගේ
ජීවන මඟ කැලඹේ
ඒකම රස මුසු වේ
මහ මඩ වගුරේ වන විල් මතු වේ
පියුම් පිපී නැටවේ
මේ ජීවන කතරේ //
සැප දුක සමබර වේ

ගායනය – ඩබ්ලිව්. ඩී. අමරදේව සහ පිරිස
තනු නිර්මාණය – ඩබ්ලිව්. ඩී. අමරදේව
චිත්‍රපටය – ‘සිකුරු තරුව’