වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




මේ සුරූපිනිය මැරුවාද? මැරුණාද?

මේ සුරූපිනිය මැරුවාද? මැරුණාද?

තම මරණය ප්‍රහේලිකාවක් කර බොලිවුඩයෙන් සමුගත් සුරූපිනියන් අතරට අලුතින්ම එක් වූ තාරකාව වී සිටින්නේ, ජියා ඛාන්ය. දිගුකල් විශාදයෙන් පීඩා විඳි ඇය මරණය සොයා යාමට කිහිපවරක්ම කළ උත්සාහය පසුගියදා සාර්ථක වූවාය.

වයස අවුැදු 25 ක් වැනි සමනල වයසකදී තරුවක් මෙන් බැබලෙන්නට පටන් ගෙන වැඩි කාලයක් යාමට පෙර ඇය ජීවිතයෙන් සමුගත්තාය. ජියා ඛාන්ගේ නම තාරකාවක ලෙස සඳහන් වී ඇත්තේ සිනමාපට තුනක පමණි. 2007 දී තිරගත වූ ‘නිශාබ්’ හි ඇය ජියා ලෙසින් රඟපා ෆිල්ම් ෆෙයාර් සම්මාන උළෙලේ හොඳම නවක නිළිය ලෙස නිර්දේශ වීමට වරම් ලැබුවාය. ‘ගජිනි’ (2008) සුනීතා ද, ‘හවුස්ෆුල්’ (2010) දේවිකා ද ජියා තිරයේ ජීවත් කළ චරිතයි.

කලක සිට ජියා විශාදයෙන් පීඩා වින්දත් මෑතකදී ඇය යළි රංගනයට එක්වීම සඳහා අධ්‍යක්ෂවරුන් කිහිප දෙනකුම මුණ ගැසී තිබේ. ඇය පෞද්ගලික හේතූන් නිසා විශාදයට පත්වී සිටිය ද යළි සිත සුවපත්කර ගනිමින් සිටි බවට එය ඉඟියකි.

ඇය දකුණු ඉන්දියානු සිනමා රංගනයට ද මිය යන විට ඇරැයුම් ලබා සිටියාය. ජියා දකුණු ඉන්දියානු සිනමාපට තුනකට දායකවීමට පැතුම් පිරුවාය. පොලිස් වාර්තාවන්ට අනුව ඇයගේ ජීවිතයේ අවසන් සිනමා අත්දැකීම ජූනි මාසයේදී තිරගතවීමට නියමිත දකුණු ඉන්දීය සිනමාපටයක නිළියකට කළ හඬ කැවීමයි.

ජියාගේ පෙම්වතා වූයේ ජනප්‍රිය හින්දි නළුවකු වූ ආදිත්‍ය පංචෝලිගේ පුතු සූරජ් පංචෝලියි. මේ පෙම් කතාවට මුල පිරුණේ පසුගිය වසරේදීයි. එය විසි එක් වැනි සියවසේ තාක්ෂණික ප්‍රේමයකි. සමාජ වෙබ් අඩවි හරහා ඇති වූ සූරජ් හා ජියාගේ දැන හැඳුනුම්කම අවසානයේදී ආදරයක් බවට පරිවර්තනය විය. ඇය ඔහු හා පෙමින් බැඳී සිටියදීත් මැණික්කටුව දරුණු ලෙස කපා ගෙන සිය දිවි නසා ගැනීමට උත්සාහ කළාය. සූරජ් ඇයගේ මවට මේ ගැන දැන් වූ පසු විශාදයෙන් පෙළෙන දියණියගේ තනියට මව මූම්බායි පැමිණියාය.

ජියා, සූරජ් හා නිතර දබර කළාය. ඔහුට තවත් පෙම්වතියක් ඇති බව ඇයට නිතර සිතුණාය. ඇය සැක පහළ කළේ ඔවුන්ගේ අභරණ නිර්මාණ ශිල්පිනිය ගැනයි.

ජියා ද, කත්‍රිනා කායිෆ් මෙන්ම බ්‍රිතාන්‍යයේ පුරවැසිභාවය හිමි තාරකාවකි. රංගනය වෙනුවෙන් ඇය උප්පැන්න සහතිකයේ නම නෆිසා ඛාන්, ජියා ඛාන් ලෙස වෙනස්කර ගත්තාය. එහෙත් සිතූ තරම් ඉක්මනින් තාරකාවක් ලෙස ඉහළට යාමට නොලැබුණු නිසාදෝ 2012 දී ඇය යළිත් උපන් නමින්ම පෙනී සිටියාය.

සිනමාගමනයත් සමඟ ඇය පදිංචියට තෝරාගෙන තිබුණේ මූම්බායිහි සාගර් සංගීත් තට්ටු නිවාසයයි. ජියාගේ තනියට මව පැමිණ සිටියත් ඒ අවාසනාවන්ත දිනයේදී මව, පෙම්වතාගේ පියා ආදිත්‍ය පංචෝලි සමඟ රාත්‍රී කෑමකට පිටව ගොස් සිටියහ. ඔවුන් පැමිණෙන විට රාත්‍රී එකොළහමාරට ආසන්න වී තිබුණි. ජියා සිය නිදන කාමරයේ විදුලි පංකාවේ එල්ලී මියගොස් සිටින අන්දම ඔවුන් දැක ඇත්තේ එවිටයි.

ජූනි 1 වැනිදා දමිළ නිළියකට හඬ කැවීමෙන් පසු ඇය මවට පවසා ඇත්තේ, තම සිනමා ජීවිතය අහස් මාලිගාවක් වී අවසාන බවයි. ඉල්ලුමක් නැති නිළියක් වීම ගැන ඇය කනගාටු වූවාය. දකුණු ඉන්දීය අධ්‍යක්ෂවරුන්ට ඇය පමණට වඩා කෘෂ විය. එහෙත් දකුණු ඉන්දීය සිනමාපට තුනකටම ඇරැයුම් ලැබුණු පසු ඇයගේ ඉහේ මලක් පිපුණි. මේ සතුටු ආරංචිය ඇය සූරජ්ට දැන් වූ පසු ඔහු ඇයට සුබපතා කෙටි පණිවුඩයක් යැව්වේය. ඇයට මල් පොකුරක් ද යැව්වාය.

පියා සමඟ කාර්යබහුල වී සිටි ඔහුට ජියා හමුවීමට කාලය බාධාවක් විය. එහෙත් ඒ බැව් තේරුම් ගැනීමට තනි වූ ජියාට අපහසු විය. සූරජ්ගේ නිවෙසට ගොස් මුරකරුට මල් කළඹ ආපසු කෝපයෙන් දී ඇය නිවෙසට පැමිණියාය. පසුව දෙදෙනා අතර කෙටි දුරකතන සංවාදයක් සිදු වී තිබේ. ඇය මිය යාමට හෝරා කිහිපයකට පෙර යැවූණු කෙටි පණිවුඩයේ වාතාවරණය හොඳ නැති නිසා නැවත ලන්ඩන් යන බව සඳහන්කර තිබුණු බව ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී පොලිසියට හෙළිකර ගැනීමට හැකි විය.

පශ්චාත් මරණ පරීක්ෂණයේදී, මිය යන විට ජියා මත්පැන් පානයකර නොසිටි බව හෙළි විය. ඇයගේ කාමරයෙන් හමු වී ඇත්තේ ආයුර්වේදීය නිදි පෙති කිහිපයක් පමණි. මේ අනුව මරණය ගැන යම් සැකයක් ද පොලිසියට නැත්තේම නොවේ. සිද්ධිය සම්බන්ධයෙන් වහාම මවගෙන්, පෙම්වතාගෙන්, ආදිත්‍ය පංචෝලිගෙන්, නිළි අංජු මහේන්ද්‍රගෙන් කට උත්තර ලබාගෙන ඇත.

ජියාගේ මව රබියා අමින් ද, අසූවේ දශකයේ බොලිවුඩයේ නමගිය තාරකාවකි. ‘දුල්හා බික්තා හෛයි’ සිනමාපටයේ රංගනයෙන් ඇය වඩාත් ප්‍රසිද්ධ වූවාය.

බ්‍රිතාන්‍ය පුරවැසිභාවය තිබුණ ද ජියාගේ උපන් නගරය නිව්යෝක්ය. ඇයට බොලිවුඩ් තාරකාවක වීමට සිතක් පහළ වී තිබෙන්නේ ‘රංගිලා’ සිනමාපටයේ උර්මිලාගේ රංගනය දැකීම නිසයි. ඒ වන විට ඇය සය හැවිරිදි කුඩා දැරියකි. ජියා ඔපෙරා ගායිකාවක මෙන්ම පොප් ගායිකාවක ද වූවාය. එපමණක් නොව ඇය පෙර, අපරදිග නර්තන ශිල්ප දිගු කලක් හදාරා නර්තනයෙන් ද දස්කම් පෑ තාරකාවකි.

සිනමා කලාවට සකලවිධ සුදුසුකම් තිබුණුු රුවැත්තියක ලෙස දිගු ගමනකට පාර කැපී තිබුණ ද ඇයගේ හුදකලා සිත ඊට ඉඩක් ලබා දුන්නේ නැත.

ජියා සමඟ ‘නිශාබ්’ සිනමාපටයේ රැ¼ගූ මෙගා තරුව අමිතාබ් බච්චන් සිද්ධියෙන් පසු කියා සිටියේ හිතට දැනෙන දුක්, වේදනාවන්ට පිළිතුර සියදිවි නසා ගැනීම නම් කරගන්න එපා කියායි. ජියාගේ මරණය මෙන්ම සිය සත් හැවිරිදි සුරතල් සුනඛයා ෂනුක් මිය යාම ද අමිතාබ්ගේ හද රිදවීමට හේතු විය.

ජියාගේ අවසන් කටයුතු මුස්ලිම් චාරිත්‍රානුකූලව සිදු කෙරුණු අතර ඊට නග්මා, රිතීෂ් දේශ්මුක්, රන්ජීත්, අමීර් ඛාන්ගේ බිරිය කිරන් රාඕ වැන්නෝ සහභාගි වූහ.

කෙසේ වුවත් සිය කෙටි සිනමා ජීවිතයේදී ඇය අමිතාබ් බච්චන්, අමීර් ඛාන්, අක්ෂේ කුමාර් වැනි සුපිරි තරු සමඟ රඟපෑමට වාසනාව ලැබුවාය.

මේ වන විට සූරජ් අත්අඩංගුවට ගෙන අවසන්ය. ජියාගේ මව රබියා මරණයට පෙර දියණිය ලියූ පිටු හයක ලිපියක් පොලිසියට භාර දී තිබේ. එහි සඳහන් අන්දමට ගැහැනු සොඬකු වූ සූරජ් ඇයට නිතරම බලහත්කාරකම් කර ඇත. ලැබෙන්නට සිටි දරුවා ද ඔහුගේ බල කිරීම නිසාම ඇයට ගබ්සා කිරීමට සිදු විය. ඒ ගැන ජියා නිතරම දුක් වූවාය.

රබියා පවසන අන්දමට ජියා ආදරය කිරීමට තෝරාගෙන තිබුණේ නොගැළපෙන කෙනෙකි. සූරජ්ට පෙම් නොකළා නම් ඇය අවාසනාවන්ත ලෙස මිය යන්නේ නැත. ඇයගේ අවමඟුලට පවා රබියා සූරජ්ගේ පැමිණීම අපේක්ෂා නොකළාය.

සූරජ් නුදුරු අනාගතයේදීම රංගනයට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටින්නෙකි. රංගනයට පිවිසුණත් ඔහු නළුවකු ලෙස නැඟී එන්නේ නැඟී ආ සුරූපී තාරකාවක මරා දමමින් බව කිසිවකුටත් අමතක කළ නොහැකි වනු ඇත.