වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවි වරම් ලබා කලා ලොව සැරිසැරූ අපේ තාත්තා

සරසවි වරම් ලබා කලා ලොව සැරිසැරූ අපේ තාත්තා

උදය මානවසිංහ

සරසවි වරම් ලබා කලා ලොව සැරිසැරූ තාත්තා ‘සරසවිය’ සිනමා කලා පුවත්පත සමඟ සම්බන්ධකම් පවත්වන්නට වූයේ එහි ආරම්භයටත් පෙරාතුව බව මගේ කල්පනාවයි. සරසවි වරමින් කවි ලොව කිරුළු දැරූ බොරලැස්ගමුවේ ජී. එච්. පෙරේරා කිවිඳු තාත්තාගේ සමීපතම කල්‍යාණ මිත්‍රයා සේම සිය දිවි මගෙහි වැදගත්ම අවස්ථාවේ ළඟින්ම සිටි වැඩිහිටියා ද විය. තාත්තාගේ විවාහ මංගල්‍යයේදී ඔහු වෙනුවෙන් මාතර ගොස් සාක්ෂියට අත්සන් කළේ ජී. එච්. පෙෙරේරා කිවිඳුන්ය.

ඔහු දෙටු පුත් විමලසිරි පෙරේරා කවියා සරසවිය පුවත්පතේ ආරම්භක කතුවරයා වූයේය. තම පියාගේ අභාවයෙන් පසුවත් ඔහු පියාගේ මිතුරා හා මිතු දම් පැවැත්වීය. ඔහු ඉඳහිට කිසියම් උවදෙසක්, ගුරුහරුකමක් සඳහා තාත්තා හමු වූ බව මගේ වැටහීමයි. සරසවිය පුවත්පත ආරම්භ කරන්නට පෙර එහි සැකැස්මත් රැගෙන ඔහු තාත්තා හමුවට පැමිණ කතා බහක නියැළී සිටිනු මම දැක ඇත්තෙමි.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් සරසවිය ආරම්භයේ සිට ඔහු රෝගී වන තෙක්ම එම කලා පුවත්පතට ලියූ ලේඛකයෙක් බව කිසිවෙක් දන්නේදැයි නොදනිමි. සරසවිය මංගල කලාපයේ සිට සෑහෙන කාලයක් තාත්තා ‘අපූර්වාචාර්ය’ යන ආරූඪ නාමයෙන් තීරු ලිපියක් ලීවේය. එකල ඔහු ලංකාදීපයෙන් ඉවත්ව ‘වගතුග’ තීරුව ලියමින් සිටියේ නිදහස් ලේඛකයකු හැටියට බැවින් ලේක්හවුසියේ සරසවියට ලියන්නට බාධාවක් නොවීය.

සරසවිය පත්‍රයේ තාත්තාගේ තීරු ලිපිය ‘උතුරු මුතුරු’ නම් විය. මට මතක හැටියට එය සරසවිය මංගල කලාපයේ සිට පළ වූවකි. පළමුවැනි උතුරු මුතුරු තීරුව ‘පොල් කොටාණන් වහන්සේ’ යන මැයෙන් ලියැවුණු කවි පංතියකි. එකල රටේ අග්‍රාණ්ඩුකාර ධූරයට විලියම් ගොපල්ලව මහතා පත්වීමත් සමඟම එක්තරා පුවත්පතක් ඔහුගේ තනතුරු නාමයත් සමඟ ‘උතුමා’ ‘උතුමාණන්වහන්සේ’ වැනි බරසාර ගෞරව නාමයන් යොදන්නට පටන් ගත්තේය.

උදය මානවසිංහ

රදළ යුගයේ පරණ මලකඩ කඳුවලින් අපේ දරුවන්ගේ හිත්වලට බැගෑපත්භාවය ඇතුල් නොකරන ලෙස ඉල්ලා සිටිමින් කාලයට නොගැළපෙන එම යෙදුම්වලට තදින් පහර දෙන ‘වගතුග’ තීරුවක් ලංකාදීපයට ලියූ තාත්තා සරසවියට උතුරු මුතුරු යටතේ ලියූ ‘පොල් කොටාණන් වහන්සේ’ කවි පංතියෙන් කළේ එම යෙදුම් හාස්‍යයටත්, උපහාසයටත්, හෑල්ලුවටත් ලක් කිරීමටය. ඉන් පසු සමාජයේ හරසුන් ඇතැම් අලුත් ඇබ්බැහිකම් හාස්‍යයට ලක් කෙරෙන ‘උතුරු මුතුරු’ තීරු සෑහෙන ගණනක් තාත්තා සරසවියට ලිව්වේය.

දරු සෙනහසට යාවී

සිනමා කලාවනට තාත්තාගේ තිබූ සබඳතාවය චිත්‍රපට කිහිපයකට සාහිත්‍යයෙන් පොහොසත් ගී ලිවීම පමණක් නොවේ. කන්ද උඩරට වැඩ විසූ වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජ හිමියන් පිළිබඳව ‘සඟ රජ වත’ නමින් වූ වාර්තා චිත්‍රපටයට පිටපත ලියුවේ ඔහුය. ඉන් පසු භාරතයේ බිමල් රෝයි නම් සිනමාකරු විසින් නිපදවනු ලැබූ ‘ගෞතම බුද්ධ’ චිත්‍රපටය 2500 බුද්ධ ජයන්තිය වෙනුවෙන් සිංහල බසට හැරවීමේ භාරදූර කටයුත්ත අගමැති බණ්ඩාරනායකගේ උනන්දුව මත පවරන ලදුව ඔහු විසින් ඉටු කෙරිණ.

මුල් කාලයේ ‘වගතුග’ තීරුවෙන් ස්වභාෂා අරගලයක නිරතව සිටි තාත්තා එවකට සිංහල චිත්‍රපටවල දෙබස් සඳහා භාවිත වූ පොතේ භාෂාව වෙනුවට කතා කිරීමේ භාෂාව භාවිත කිරීමේ අවශ්‍යතාව ගැන ද ලියා තිබුණේය.

තාත්තාගේ නිර්මාණ ශක්තියෙන් සරසවිය පුවත්පත ලබාගත් අග්‍රඵලය හැටියට සරස්වතී අභිනන්දන ගීතය සැලකිය හැකිය. සරසවිය සිනමා කලා පුවත්පත සිනමා කලාකරුවන්ගේ සිත් තදින්ම බැඳ ගන්නේත්, සිනමා ලෝලීන්ගේ සිත්වලට තදින්ම ආකර්ෂණය වන්නේ සරසවිය සිනමා උළෙල ඔස්සේය. ‘ජගන් මෝහිනී’ යනුවෙන් ඇරැඹෙන සරස්වතී අභිනන්දන ගීතය සරසවිය සිනමා උළෙල වෙනුවෙන්ම ලියැවුණු ගීයයි.

තාත්තා එවකට බරපතළ රෝගීී තත්ත්වයකින් පසු මඳක් සුවය ලබා මාරවිල මිතුරු නිවෙසක නැවතී සිංහල වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියේය. සරසවිය කතුවර විමලසිරි පෙරේරා මහතා මේ ගීය ලියවා ගන්නට තාත්තා සොයා මාරවිල නිවසට ගියේය. එම නිවසේ දියණියක් වූ එවකට පාසල් දැරියක්ව සිටි මා බිරිඳ ලලිතාට කැමරා ශිල්පියකු ඇතුළු තිදෙනකු සමඟ ඔහු පැමිණෙනු මතකයේ තිබේ. ඒ පැමිණ සිටින්නේ විමලසිරි පෙරේරා මහතා බව ඇය දැනගෙන තිබෙන්නේ අපේ අම්මාගෙනි. ‘අර ඇවිත් ඉන්නේ විමලසිරි, ජී. එච්. පෙරේරා මහත්තයගෙ පුතා. සරසවිය කර්තෘ, අපි ඒගොල්ලන්ට කෑම ටිකක් ලෑස්ති කරමු’ යයි පිරිස දැක අම්මා කියා තිිබේ. ඔවුන් තාත්තාගේ සුවදුක් විමසා පැමිණි කාරණය පවසා තිබේ.

මානවසිංහයන්ගේ චතුර කථිකත්වය

ඔවුන් සමඟ සිටි කැමරා ශිල්පියා තාත්තාගේ පිංතූර රැසක් ගත් බව ද මගේ බිරිඳ කියයි. ඔවුන් එදා තාත්තා සමඟ දිවා ආහාරය ද ගෙන ඇත. ගීතයේ පදමාලාව රැගෙන යන්නට විමලසිරි පෙරේරා මහතා නැවත පැමිණි අවස්ථාව ද ඇයට මතකය. ගීතය ලියැවෙන්නට ඇත්තේ තමා පාසල් ගොස් සිටි උදේ වරුවක වන්නට ඇතැයි ඇය සිතන්නීය. තාත්තා හිතට හරි යන තුරු කප කපා ලියූ ගීතයේ තාත්තාගේ අත් අකුරින් ලියැවුණු කටු පිටපතක් ඇය පරෙස්සම් කර තබාගෙන සිටියාය.

තාත්තාගේ සරස්වතී අභිනන්දනය අත පත් විමලසිරි පෙරේරා මහතා එවකට බත්තරමුල්ලේ සුභූති පුර නිවෙසක විසූ මහා ගාන්ධර්වයා සොයා ගියේය. පණ්ඩිත් අමරදේවයන් සිය ‘ගී සර මුවරද’ පොතෙහි සඳහන් කර තිබෙන ආකාරයට සරසවිය සිනමා උළෙලේ මේ තේමා ගීතය නිර්මාණය කිරීමේ වගකීම තමා වෙත පවරනු ලැබීම ඔහු සැලකුවේ එක්තරා විදියකට සරසවි වරමක් ලැබුවා හා සමානවය. තාත්තාගේ ද කැමැත්ත ඇතිව ගීතයේ එක් වචනයක් පමණක් ඔහු වෙනස් කර ගත්තේය.

‘සරස්වතී දේවි නමස්තේ’ වෙනුවට ‘සරස්වතී දේවි වන්දේ’ යනුවෙන් යොදා ගැනිණි. ඒ වඩාත් සුගායනීය වීම සඳහාය. ගීතයෙහි දැක්වෙන ගාඪ, ප්‍රෞඪ, සන්ධි, සමාස පද බහුල රීතිය හේතු කොට ගෙන ප්‍රබල නිර්මාණයක් කිරීමට බලවත් ආවේශයක් තමා තුළ ඇති වූයේ යයි ද අමරදේවයෝ සිය ගී සර මුවරද කෘතියෙහි සඳහන් කරති. මධුර තනුවක් නිමවා සංගීතය සංයෝජනය කොට මෝහනීය හඬින් ගායනා කළ ගීතය ඔහු සිතූ පරිද්දෙන්ම ප්‍රබල නිර්මාණයක් බවට පත් විය.

මානවසිංහ, නාරද දිසාසේකර, නන්දා මාලිනී ප්‍රථම සරසවිය සම්මාන උළෙලේ සම්මානයෙන් පුද ලබා...

අද ජීවතුන් අතර සිටින අපේ එකම ප්‍රාඥයා හැටියට සැලකිය හැකි පණ්ඩිත් අමරදේවයන් මේ සරසවතී අභිනන්දන ගීතය සලකන්නේ සරසවිය ගැන ලියා තිබෙන හොඳම ගීතය හැටියටය. ගීතය ප්‍රථම වරට ගායනා කළ අවස්ථාවේ මානවසිංහයන් තමා වැලඳ ගත් බව ද අමරදේවයෝ කියති.

‘සරසවිය ගැන ලියූ හොඳම ගීතය තොල් මතුරන විට මට හැඟී ගියේ සරසවි දේවිය ගැන මීට වඩා හොඳට වෙනත් කිසිවෙකුටවත් නොලිය හැකි බවයි. ජයදේවගේ ගීත ගෝවින්දයෙන් ලද පරිසමාප්ත රසය මම මානවසිංහයන්ගේ මේ ගීතයෙන් ලැබුවා. සනාතන වටිනාකමකින් යුත් මේ සම්භාව්‍ය ගීතය මගේ සංගීත දිවියෙහි එක් මංසන්ධියක් සලකුණු කරන අවස්ථාවක්. මුලින්ම මේ ගීතය ගායනා කළ දිනයේ මානවසිංහයන් මා වැලඳ ගත්තා. අප දෙදෙනා මොහොතක් එකිනෙකා දෙස බලා සිටියා. ‘අමරේ අපි අප්‍රමාණ මිනිස්සු නොවේදැයි’ මානවසිංහයන් කීවේ අව්‍යාජ සිනහ රැල්ලකින් මුහුණ සරසා ගනිමින්.

(සරසවිය – 2009 දෙසැම්බර් 31 – පිටුව 20)

තරමක දිගුª කාලයක් මාරවිල නිවසේ නැවතී ලද ප්‍රතිකාරවලින් සුවය ලැබූ තාත්තා එම නිවසින් සමුගෙන පැමිණියේ සරසවිය මංගල සිනමා උළෙලට සහභාගි වීමේ ද අදහසින් බව මා බිරිය ලලිතාගේ මතකයයි. තමා බලා කියා ගත් අයගෙන් සමුගෙන තාත්තා නික්ම ගියේ දෙනෙත් කඳුළින් බරවන තරමට දුකින් යයි ද ලලිතාට හොඳින් මතකය.

සරසවිය මංගල සිනමා සම්මාන උළෙලේ දී හොඳම ගීත රචකයාට හිමි සම්මානය තාත්තාට ලැබිණි. එහිදී නිවේදක කටයුතුවල නිරත වූ අසහාය නිවේදක ගීත රචක කරුණාරත්න අබේසේකරයන් හමු වූ මොහොතේ ‘මේ සම්මානය ඊළඟට ගන්න ඕනෑ උඹයි’ කියා තාත්තා ඔහුගේ ළෙන්ගතු බසින් කී බව එකල මා අසා තිබේ.

මේ සරස්වතී අභිනන්දන ගීතයෙන් පසු තමා කිසි විටෙකත් සරසවි ගීයක් ලියන්නට උත්සාහ නොකරන බව ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ගීත රචක සුනිල් ආරියරත්නයන් වරක් මානවසිංහ සැමරුමකදී කීවේය. ඔහුගේ වැඩිමහල් සොහොයුරු ප්‍රවීණ පුවත්පත් කාලවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් කියන්නේ සංස්කෘත බසින් මෙවැන්නක් ලියන්නට හැකි කෙනෙක් මෙකල භාරතයේවත් සිටීදැයි සැක සහිත බවය.

ශ්‍රි චන්ද්‍රරත්න මානසිංහ ජන්ම ශත සංවත්සර සැමරුමේ සංවිධධාන කටයුතු පිළිබඳව අප පදනමේ සභාපතිවරයා ද වන ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් හා කතා කරන විට සැමරුම් උත්සවය ආරම්භයේදීම සරස්වතී අභිනන්දන ගීතය ගායනා විය යුතු යයි කීවේ එය අද දිවයිනේ ඕනෑම කලා උළෙලක අනිවාර්යෙන්ම ගැයෙන ජාතික සරස්වතී ගීතයක් බවට පත්ව ඇතැයි සඳහන් කරමිනි.

මේ මහගු ගීය දැයට දායාද කිරීමට මුල්වීමේ ගෞරවය සරසවිය සිනමා කලා පුවත්පතට හිමි වන්නේය.