වර්ෂ 2013 ක්වූ පෙබරවාරි 14 වැනිදා බ්‍රහස්පතින්දා




ඒ ගමන මාව පුදුමයට පත්කළා

ඒ ගමන මාව පුදුමයට පත්කළා

රෙබෙකාගේ ලන්ඩන් සවාරිය

 ‘වෙද හාමිනේ’

එදා ඇය ජයන්ත චන්ද්‍රසිරිගේ ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයෙහි වෙද හාමිනේගේ චරිතය ඔස්සේ බොහෝ ප්‍රේක්ෂක හදවත්හි සනිටුහනක් තැබුවාය. අද වුව ද ඈව එනමින් හඳුන්වන්නට ඔවුහු පසුබට නොවෙති.

‘රෙබෙකා නිර්මලී’

සිය රංගන ජීවිතයේ සොඳුරු මතකය සමඟ පසුගිය දිනෙක ‘සරසවිය’ට පැමිණියාය. ඒ ලන්ඩන් නගරයේදී ඇයට ලැබුණු ජනතා සම්මානයකින් හිත පුරවා ගනිමිනි.

‘රංගනය කියන්නේ මගේ ජීවිතය වගෙයි. ඒ තරමටම ඒක මගේ ජීවිතයට බද්ධ වෙලා. ඒ බව දැනෙන්නේ ප්‍රේක්ෂකයන් අතර අපි සැරිසරන විටයි. ඔවුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර, ආදරය තවත් මේ ක්ෂේත්‍රයේ දස්කම් දක්වන්නට අපව පොලඹවනවා.’

ප්‍රේක්ෂකයන්ගෙන් ලැබුණු ප්‍රතිචාරවල සොඳුරු මතකය සිහිපත් කරමින් රෙබෙකා පවසන්නේ සොඳුරු සිනහවකින් මුවඟ සරසමිනි.

‘ඔබට ලැබුණු මේ ජනතා සම්මානය මොකක්ද?’

ඈට හිමිවුුණු සම්මානයේ තොරතුරු බිඳක් දැන ගැනීමේ අටියෙන් මම විමසුවෙමි.

‘පසුගිය මාසයේ මට ලන්ඩනයට යන්න හැකිවුණා. ඒ මා රඟපෑ ‘මව් සෙනෙහස’ කියන ටෙලි චිත්‍රපටයේ පළමු ප්‍රදර්ශනය සඳහායි. එහි අධ්‍යක්ෂවරයා වන විමල් අලහකෝන් මේ නිර්මාණයෙහි මංගල දර්ශනය තියන්න තීරණය කරලා තිබුණේ ලන්ඩනයේදී. ඒ නිසා එහි ප්‍රධාන චරිතයට පණ පෙවූ මටත් ටෙලි නාට්‍යයෙහි මංගල දර්ශනය සඳහා ලන්ඩනයට පිවිසීමේ ආරාධනයක් තිබුණා. ඒ නිසයි මා එහි ගියේ. ඒත් ඒ ගමන බොහොම සුන්දර ගමනක් වුණා. මගේ රංගන ජීවිතයට ලැබුණු ප්‍රතිචාර මා පුදුමයට පත් කළා. ලන්ඩනයේ වෙසෙන අපේ සිංහල ජනතාව මාව කොයිතරම් උණුසුම් අයුරින්

පිළිගත්ත ද කියලා කිව්වොත් ඒ ගෙවුණු දවස් මගේ මතකය සොරා ගත්තා. ඔවුන්ගේ ආදරණීය බව ජීවිතයටම සතුටක්. ඒ ආදරණීය බවට එකතු කළ ගෞරවය ඔවුන් මට පිදුවේ සම්මානයක් ලබාදීමෙන්. ඒ සම්මානය ඔවුන්ගේ ආදරය කැටිවුණු ජනතා සම්මානයක්. කලාකරුවකුට ජනතාවගෙන් ලැබෙන සම්මානය තරම් උතුම් සම්මානයක් තවත් නැහැ කියලා මා නම් සිතන්නේ.’

රෙබෙකාට ලැබුණු සම්මානයෙන් කියැවෙන්නේ ලන්ඩනයේ සිංහල ජනතාවට තවමත් ඇගේ රංගන මතකයට සිය හදවත විවෘතව ඇති බවකි.

‘මේ සම්මානය ඔවුන් ඔබව අමතක නොකළ වගට සාක්ෂියක්ද?

නිමිහිම් නැති සතුටින් පිරී ඉතිරී ලන්ඩනයට ගිය මතකය මා ඇගේ සිතට නැඟුවෙමි.

‘ඔවුන් මා දුටු විගසම හඳුනා ගත්තා. ‘වෙද හාමිනේ’ ටෙලි නාට්‍යයෙහි මා කළ රංගනය ඔවුන්ගේ මතකයේ ලියැවී තිබුණා. ඒ විතරක් නෙමෙයි ‘සිටු මැදුර’ ටෙලි නාට්‍යයෙහිත් මා කළ රංගනය පිළිබඳ ඔවුන් විවිධ මත ප්‍රකාශ කළා. ඒ ටෙලි නාට්‍යය බොහොම ආශාවෙන් ඔවුන් නරඹා තිබුණා. ලන්ඩනය වගේ රටක ඉන්න ඔවුන් මේ වගේ නාට්‍ය නරඹා තිබීම මාව විශ්මයට පත් කළ කාරණයක්. ඉන් පෙනෙන්නේ ඔවුන් ලංකාවේ පළවන නිර්මාණ පිළිබඳ හොඳ අවධානයෙන් පසුවන බවයි.

ලන්ඩනය වැනි සුන්දර රටක චමත්කාරය මෙන්ම බොහෝ නැරැඹිය යුතු ස්ථාන ද බොහොමයකි.

‘ලන්ඩන් සංචාරයේ අමතක නොවන මතකය පිළිබඳත් කතා කරමු’

ඒ අදහසත් සමඟ රෙබෙකාගෙන් පළවූයේ නිහැඬියාවකි. ඇය සිය මතකය පතුළේ කිමිඳුණාය.

‘ශේක්ෂ්පියර් ගම්මානය’

මතකය අතර මුල්තැන ගෙන තිබුණි.

‘පාසල් යන කාලයේදී ගුරුවරුන්ගෙන් ඉගෙන ගත් ශේක්ෂ්පියර් කියන මහා නාට්‍යකරුවාගේ මතකය යළිත් ලියලන්න පටන් ගත්තා. ඔහු කළ නිර්මාණ අසා රසවිඳ තිබුණත් කිසිම දිනක ඔහු සිටි ගම්මානයට පිවිසිය හැකිවේ යැයි මා සිතා සිටියේ නැහැ. ඒ අපූරු අවස්ථාව උදාවුණේ මේ ලන්ඩන් සංචාරය නිසයි. ඔහුගේ නිර්මාණවල පින්තූර වගේම ඔහු එකල පාවිච්චි කළ දේවල් බොහොමයක් එහි තබා තිබුණා. ඒ ගම්මානය අලුත් වී තිබුණත් ඔහුගේ සියලු සැමරුම් දැක බලා ගැනීමට ලැබීම මගේ ජීවිතයේ මා ලැබූ භාග්‍යයක් ලෙසයි සලකන්නේ.

මේ අතර වඩාත් ඇගේ සිත් ගත්තේ ‘සමනල උයන’යි.

පියඹාගෙන පැමිණි තැඹිලි පැහැති සමනලයෙක් රෙබෙකාගේ හිසෙහි වැසුවේය.

‘ඔන්න ඔන්න සමනලයෙක්’

කාන්ති අලහකෝන් කෑ ගැසුවාය.

‘සමනලයා රෙබෙකාගේ ඔළුවේ වැසුවේ මලක් කියලා හිතලද? මම විමසීමි.

ඇගේ උස් සිනහ හඬ ‘සරසවිය’ පුරා විහිදිණි.

‘ඇත්තටම ඒක බොහොම සොඳුරු නිමේෂයක්. අක්කර කිහිපයකටම විහිදිලා තිබෙන සමනල උයන බලන්න ලස්සනයි. ඒ ලස්සනෙන් මගේ සිත වශීවුණා. විවිධ පැහැයන්ගෙන් වගේම විවිධ ප්‍රමාණයන්ගෙන් යුක්ත සමනලයන් රාශියක් එහි සිටියා. ඒ සුන්දරත්වය කොයිතරම් සිතට අල්ලලා තිබුණා ද කිව්වොත් සමනලයෙක් මගේ ඔළුවේ වහලා හිටියා කියන එකවත් මම දන්නේ නැහැ. ඒ වගේම වීදුරු හදන තැනක් බලන්නත් අපි ගියා. ඒ ස්ථානයේ වීදුරුවලින් විවිධ භාණ්ඩ හදන විදිය අපට පෙන්නුවා. මේ නැරැඹුම් ස්ථාන අතරින් මුතු කර්මාන්ත ශාලාව අරුම පුදුම තැනක්. මුතුවලින් නිමැවුණු ඩයනා කුමරියගේ ඇඳුම බලන්න ලස්සනයි. බිග්බෙන් ඔරිලෝසුව, බකිංහැම් මාළිගාව ආදී ලන්ඩනයෙහි විශේෂ වූ ස්ථාන සියල්ලක්ම නැරැඹීමට මට හැකියාව ලැබුණා. මේ සියලු ස්ථානවලට මාව රැගෙන ගිය අලහකෝන් පවුලට වගේම අනෙක් සියලු දෙනාටම මම ස්තුති කළ යුතුයි. සිටිය දින කිහිපයේ ඔවුන් කිසිම පැකිළීමකින් තොරවයි ඒ කටයුතු කළේ. ඔවුන් සියලුදෙනාගේ කාලය, ශ්‍රමය කැප කරමින් තමයි ඒ සියල්ල කළේ.’

‘ඔබ රංගනයෙන් සහභාගි වුණු නිර්මාණය ගැනත් කියමුද?

‘මව් සෙනෙහස’ පිළිබඳ යමක් නොවිමසුවහොත් අඩුවකි.

‘මව් සෙනෙහස’ කියන්නේ අයහපත් අදහස් නිසා අනුන්ගේ වස්තුව පැහැර ගැනීමට තැත්කරන අයගේ සිතුවිලි පිළිබඳ කතාවක්. ඔවුන්ට තිබෙන බලය පාවිච්චි කරමින් කරන්න යන මේ කටයුත්ත පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලැබුණු සැනින් ඔවුන් වෙනස්ම මිනිසුන් බවට පත් වෙනවා. මිනිසුන්ගේ ගති ස්වභාවය පිළිබඳ කියැවෙන මේ ටෙලි චිත්‍රපටයේ මා රඟපාන්නේ පොලිස්

පරීක්ෂකවරයකුගේ බිරිඳගේ චරිතයයි. මේ ටෙලි චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ විමල් අලහකෝන් මහතායි. නිෂ්පාදය කළේ කාන්ති අලහකෝන් මහත්මියයි. මා සමඟ මේ සංචාරයට එක්වුණු රොඩ්නි විදානපතිරණ මෙහි පිටපත් රචකයායි. මගේ රංගනය එක්වුණු තවත් අපූරු නිර්මාණයක් විදියටයි මා ‘මව් සෙනෙහස’ දකින්නේ.

‘මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍ය කිහිපයකම ඔබගේ රුව දකින්නට හැකියි.’

‘තුෂාරි අබේසේකරගේ ‘හෝපලු අරණ’ වගේම ‘අංගනාවෝ’, ‘තරු අහසට ආදරෙයි’ කියන ටෙලි නාට්‍ය කිහිපයකම මගේ රංගනය දකින්නට ප්‍රේක්ෂකයන්ට හැකියි. ඊට අමතරව සමන් කුමාර ලියනගේ කරන ‘පෙම් සිත දැහැමියි’, ගිහාන් රෝහණගේ ‘මුතුªකැට සිහින’ කියන ටෙලි නාට්‍යවල වැඩ කටයුතු පටන් ගත්තා. රජිව් ආනන්දගේ ‘සුයාමය’ ඉදිරි කාලයේ පුංචි තිරයෙන් දකින්නට ලැබේවි.

ඒ වගේම මේ ලන්ඩන් සංචාරයේදී මට උදව් කළ කාන්ති විමල් අලහකෝන් යුවළට වගේම සුජීවා, රේණුකා, ලිලානි ඇතුළු හැම දෙනාටමත්, මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට වගේම සම්මානයක් ලබාදුන් සැමටත් ස්තුති කිරීමට මා මෙය අවස්ථාවක් කර ගන්නවා. මා සංචාරයට සහභාගි වූ විට සියලු විස්තර අසමින් විමසිල්ලෙන් සිටි සියලු මාධ්‍ය මිතුරන්ට හා ආයතනවලටත් මගේ ස්තුතිය හිමි විය යුතුයි.’

රෙබෙකා නිර්මලී සිය සිතැඟි හෙළි කළේ ඒ අයුරිනි. සිය ජනතාවගෙන් ලැබුණු සම්මානයත් තුරුළු කර ගනිමින් ඕ නැඟී සිටියාය. ඒ සිය නිවෙස කරා පා නැඟීමටයි.