වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




නිරුවත් සිරුර පුරා කළු තීන්ත ‘ක්වොන්ටම් ඔෆ් සොලේස්’

නිරුවත් සිරුර පුරා කළු තීන්ත ‘ක්වොන්ටම් ඔෆ් සොලේස්’

ගිරිදුර්ග සහ උමං මාවත් හරහා ඉතාලියේ සියනා නගරය වෙත වැටී ඇති අධිවේගී මාර්ගයක් ඔස්සේ වේගයෙන් ධාවනය වන ඇස්ටින් මාටින් ඩී. බී. එස්. වර්ගයේ කළු පැහැති මෝටර් රථයකි. එය පසුපස ලුහුබැඳ එන ඇල්ෆා රොමියෝ රථ දෙක තුළ සිටින දාමරික පිරිස වලිකන්නේ කෙසේ හෝ පෙරගමන්කරුවා වෙඩි තබා විනාශ කර දැමීමටයි.

ඇඟ හිරි වැටෙන අන්දමේ ධාවනයක යෙදෙන රථ අතුරින් ලුහුබැඳ එන රථයක් සුළු ප්‍රමාද දෝෂයකින් බිහිසුණු අනතුරකට ලක්ව ප්‍රපාතයට ඇද වැටී සුනුවිසුනු වී යයි. එහෙත් ලුහුබැඳීම නතර නොවන අතර එවර ඉතාලි පොලීසියේ ලෑන්ඩ් රෝවර් රථ දෙකක් ද ලුහුබැඳීමට එක් වෙයි. සියලු ලුහුබැඳීම් අවසානයේ ජයග්‍රාහී ස්ථානය වූ සියනා නගරයට ඇතුලු වන රථය නිශ්චිත ස්ථානයක නවතා රථයෙන් බසින සුපිරි රහස් ඔත්තුකරු ජේම්ස් බොන්ඩ් රථයේ ඩිකිය හැර පිටතට ගන්නේ ‘කැසිමෝ රෝයල්’ චිත්‍රපටය අවසානයේදී ඔහු අතින් වෙඩි කා මිය ගියා යයි කවුරුත් විශ්වාස කළ ‘වයිට්’ නමැති කපටි ජාවාරම්කරුවායි. බොන්ඩ්ගේ පෙම්වතිය වූ ‘වෙස්පර් ලින්ඩ්’ ඝාතනය වූයේ ඔහුගේ සහචරයන් අතිනි. එම ඝාතනයට වගකිව යුතු ‘ක්වොන්ටම්’ රහස් සංවිධානය විනාශ කිරීම සඳහා බොන්ඩ් සහ එම් අයි 6 රහස් ඔත්තු සේවය දියත් කරන මෙහෙයුම වටා ‘ක්වොන්ටම් ඔෆ් සොලේස්’ චිත්‍රපට කතාව විකාශනය වී ඇත.

2008 වසරේ තිරයට ආ මෙම චිත්‍රපටය ඉඔන් ප්‍රඩක්ෂන්ස් සමාගම විසින් නිපැයූ 22 වැනි බොන්ඩ් චිත්‍රපටයයි. ‘කැසිනෝ රෝයල්’ චිත්‍රපටයේම දිගුවක් ලෙසින් විකාශනය වූ මෙහි තිර රචනය නීල් පර්වස්, රොබට් වේඩ් සහ පෝල් හැගිස් විසින් ලියූ අතර අධ්‍යක්ෂණය කළේ මාක් ෆොස්ටර්ය. නිෂ්පාදනය බාබරා බ්‍රොකොලි සහ මයිකල් ජේ. විල්සන්ගෙනි.

ඩැනියෙල් ක්‍රේග් ගේ දෙවැනි බොන්ඩ් චිත්‍රපටය වන මෙහි රඟපෑම සඳහා ඔහුගේ දැඩි කැපවීම කෙතරම්ද යත් එක් සටන් ජවනිකාවක් රූගත කෙරෙද්දී වැදුණු පා පහරකින් පුපුරා ගිය ඔහුගේ මුහුණට මැහුම් 8 ක් දැමීමට සිදු වූ අතර මුහුණේ ඇති වූ කැළැල් මැකීමට ප්ලාස්ටික් සැත්කමක් ද කිරීමට සිදු විය. රූගත කිරීම් අතරතුර අධිවේගී බෝට්ටු හා වාහන පැදවීමේ විශේෂ පුහුණුවක් ද ඔහු ලබා ගත්තේ අදාළ දර්ශන සඳහා ‘ස්ටන්ට්’ ශිල්පීන් වෙනුවට තමාම පෙනී සිටීමේ අභිලාෂයෙනි. චිත්‍රපටය අධ්‍යක්ෂණය සඳහා මාක් ෆොස්ටර් යොදා ගැනීම ද ඔහුගේ යෝජනාවකි.

නිළියන් 400 ක් තිර පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව ප්‍රධාන නිළි චරිතය වූ ‘කැමිල් මොන්ටස්’ ලෙස රඟපෑම සඳහා සුදුසුකම් ලැබුවේ ‘ඔල්ගා කුරිලෙන්කෝ’ නමැති යුක්රේන ජාතික නිළියකි. ඇය රඟ දැක්වූයේ සිය පවුලේ සාමාජිකයින් ඝාතනය කරන ලද, ක්වොන්ටම් සංවිධානයේ මැරයන්ගෙන් පළිගැනීම සඳහා පැමිණෙන බොලීවියානු ඒජන්තවරියකගේ චරිතයයි. තිර පිටපත මුල්වරට කියැවීමේදී ඈ ඉතා සතුටට පත් වූ කරුණක් වූයේ ඩැනියෙල් ක්‍රේග් සමඟ පෙම් ජවනිකා රඟපෑමට නොමැතිවීමයි. ක්‍රියාදාම ජවනිකා බහුල ලෙස රඟපෑමට ඇති බැවින් මුළු දවස පුරා ගිනි අවි පරිහරණය කරමින් සිදු කෙරෙන සටන් පුහුණුවක සති තුනක් තිස්සේ නියැලීමට ඇයට සිදු විය. එම පුහුණුවීම් සඳහා ක්‍රේග් සහ ‘ස්ටන්ට්’ ශිල්පීන් ලබා දුන් නොමසුරු සහයෝගය ඇය සිහිපත් කළේ කෘතඥතා පූර්වකවය.

ප්‍රධාන ප්‍රතිවාදී ඩොමිනික් ග්‍රීන්ගේ චරිතයට බෲනෝ ගැන්ස් ගේ නම යෝජනා වුවත් අධ්‍යක්ෂ ෆොස්ටර් ගේ වැඩි මනාපයට අනුව මැතිව් ඇමල්රික් තෝරා ගන්නා ලදී. එම්. අයි. 6 ඒජන්තවරියකගේ චරිතය නිරූපණය කළ ගෙමා ආටටන් බොන්ඩ්ගේ සහායිකාවක් ලෙස රඟපෑ අතර ඇගේ නිරුවත් සිරුර පුරා කළු පැහැති තීන්තක් ආලේප කොට රූගත කෙරුණු ජවනිකාවක පෙනී සිටීමට සිදු විය. තරගකාරී නිළියන් 1500 ක් අතුරින් තෝරා ගත් ඇයට එම දර්ශනය සඳහා අධික මිලක් ද ගෙවන ලදී. ජූඩි ඩෙන්ච් ‘එම්’ ගේ චරිතය රඟපෑ අතර ස්ටැනා කැටික්, ඌනා චැප්ලින්, ලුක්රෙසියා ලැන්ටෙඩෙලා සහ එලිසබෙත් ආසිනිගා චිත්‍රපටය වර්ණවත් කළ සුරූපිනියන් අතර විය.

2007 අගෝස්තු 16 දා ඇරැඹුණු රූගත කිරීම් රටවල් 6 ක් පුරා විටින් විට සිදු කෙරිණි. මැක්සිකෝව, පැනමාව, චිලිය, ඉතාලිය, ඔස්ට්‍රියාව සහ වේල්සය එම රටවල් වෙයි. පැරැණි බොන්ඩ් චිත්‍රපට නිෂ්පාදන සැලසුම් ශිල්පි කෙන් ඇඩම් ගේ පසුතල දර්ශන සිහිගන්වන සුළු අපූර්ව පසුතලයන් නිර්මාණය වූයේ පසුතල නිර්මාණ ශිල්පී ඩෙනිස් ගැස්නර් අතිනි.

අධ්‍යක්ෂක මාක් ෆොස්ටර් විසින් අධිවේගී බෝට්ටු ධාවන තරගයක්, බිහිසුණු මෝටර් රථ ලුහුබැඳීමේ ජවනිකා රැසක් සහ ගුවන් යානා ලුහුබැඳීමේ දර්ශන පෙළක් චිත්‍රපටයට ඇතුළත් කරන ලද්දේ ප්‍රේක්ෂක අවධානය දිනා ගැනීමේ අටියෙනි. රූගත කිරීම් අතරතුර බරපතළ රිය අනතුරු දෙකක් සිදු වූ අතර ඇස්ටන් මාටින් ඩී. බී. එස්. රථයක් ‘ගාර්ඩා’ විලට ඇද වැටීමෙන් විපතට පත් රියැදුරු දිවි ගලවා ගත්තේ අනූනමයෙනි. අනෙක් රිය අනතුරින් ග්‍රීක ජාතික ‘ස්ටන්ට්’ රියැදුරන් දෙදෙනෙක් මාරාන්තික තුවාල ලැබූ අතර ‘ස්ටන්ට්’ සම්බන්ධීකරණ ‘ගේරි පවල්’ කියා සිටියේ චිත්‍රපටයේ දර්ශනවල ඇති තාත්වික බව එම අනතුරුවලින් මනාව පිළිබිඹු වන බවයි. රූගත කිරීම් හමාර වූයේ බොන්ඩ්ගේ පළිගැනීමේ කූටප්‍රාප්තිය රූගත කෙරුණු ‘ඇටකාමා’ කාන්තාරයේදීයි. 2008 ජූනි 21 වන විට චිත්‍රපටයේ සංස්කරණ කටයුතු සිදු කෙරුණු අතර දෘශ්‍ය ප්‍රයෝග 900 කට අධික ප්‍රමාණයකින් චිත්‍රපටය සමන්විත විය.

චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂණය කළ ඩේවිඩ් ආමෝල්ඩ් විසින් තේමා ගීත ගායනය සඳහා මුලින් තෝරා ගෙන සිටියේ එමී වයින්හවුස් නම් ගායිකාවකි. එහෙත් ඈ අධික මත්ද්‍රව්‍ය භාවිතයට හුරු වූ කෙනෙක් නිසා අවසානයේ තේමා ගීතය ගායනා කිරීම පැවරුණේ ඇලිසියා කීස් සහ ජැක් වයිිට් වෙතයි. එය ප්‍රථම ජේම්ස් බොන්ඩ් චිත්‍රපට යුග ගායනය විය. මෙහි තවත් විශේෂත්වයක් වූයේ සුප්‍රකට බොන්ඩ් තේමා වාදනය චිත්‍රපටය පුරාවට පසුබිමින් වාදනය නොවීමයි. අවසන් ජවනිකාවේදී පමණක් එයින් කොටසක් වාදනය වීමට සලස්වා තිබිණි.

2008 ඔක්තෝබර් 29 දා ලන්ඩන් ලිසෙස්ටර් ඕඩියන් ශාලාවේදී රාජකීය අමුත්තන් වන විලියම් සහ හැරී කුමරුවන්ගේ ප්‍රධානත්වයෙන් පූර්ව දර්ශනය පැවැත්විණ. එම නොවැම්බර් 19 දා අමෙරිකාවේදී ද, 26 වෙනිදා ඔස්ට්‍රේලිියාවේදී ද තිරගත කිරීම් ආරම්භ විය. හිටපු බොන්ඩ් නළුවෙකු වූ රොජර් මුවර්, ඩැනියෙල් ක්‍රේග් ගේ රඟපෑම් මහ ඉහළින් අගය කළ අතර 2008 ‘සැටලයිට් සම්මාන’ උළෙලේ හොඳම සංගීතය, හොඳම ගීතය, දෘශ්‍ය ප්‍රයෝග සහ ශබ්ද පරිපාලනය සඳහා ‘ක්වොන්ටම් ඔෆ් සොලේස්’ චිත්‍රපටය නිර්දේශිත නාම අතරට එක් විය. 2009 විචාරක තේරීම් සම්මාන උළෙලේ හොඳම ක්‍රියාදාම චිත්‍රපටය ලෙස ද නිර්දේශ වූයේ මෙයයි. ඔල්ගා කුර්ලෙන්තෝ සහ ජූඩි ඩෙන්ච් හොඳම සහාය නිළියන් ලෙස නිර්දේශ වූයේ ‘සැටර්න් සම්මාන’ උළෙලේදීයි.

චිත්‍රපටය ප්‍රදර්ශනය ආරම්භ කළ මුල් සතියේදීම බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව, ස්වීඩනය, ප්‍රංශය සහ ජර්මනියේ සියලු ආදායම් වාර්තා බිඳ හෙළමින් ප්‍රථම ස්ථානයට පත් වූ අතර 2009 මාර්තු 18 වනදා සිට බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රේලියාවේ සහ උතුරු ඇමෙරිකාවේ බෙදා හැරුණු චිත්‍රපටයේ ඩී. වී. ඩී. සහ බ්ලුරේ පිටපත් අලෙවියෙන් ලත් ආදායම ඩොලර් 21,894,597 කි. 2009 නොවැම්බර් 1 දා වන විට ඩී. වී. ඩී. පිටපත් 2,643,250 ක් විකිණී තිබුණි. චිත්‍රපටය ලොව පුරා ප්‍රදර්ශනය කිරීමෙන් ලත් මුලු ආදායම ඩොලර් 586,090,727 කි. ක්වොන්ටම් ඔෆ් සොලේස් බොන්ඩ් සිනමාවලියේ අතිශය සාර්ථක චිත්‍රපටයක් ලෙස වාර්තාගත වී ඇත.

2012 නොවැම්බරයේ බොන්ඩ් සිනමාවට 50 වසරක් පිරීම නිමිත්තෙන් තිරයට පැමිණ, සියලු ආදායම් වාර්තා බිඳ හෙලමින් තවමත් ලෝ පුරා ප්‍රදර්ශනය වන ‘ස්කයිෆෝල්’ නවතම බොන්ඩ් චිත්‍රපටය ලබන සතියේ.