වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සරසවියේ පෝස්ට් මාස්ටර් වුණ හැටි

සිනමාවේ රස පිරුණු අත්දැකීම් සපිරි අර්නස්ට් වඩුගේ

සරසවියේ පෝස්ට් මාස්ටර් වුණ හැටි

මගේ තාත්තා වතු අධිකාරිවරයකු වූ හෙයින් මුදල් හදල් අතින් ද මට අඩුවක් නොවිණි. එහෙත් මා කොළඹ ආවේ තාත්තාගෙන් මුදල් ටිකක් සොරකම් කර ගනිමිණි. මා තාත්තාගෙන් ලබා ගත්තේ රුපියල් සියයක මුදලකි. එය එකල මාසයක් ජීවත්වීමට හොඳටම ප්‍රමාණවත් විය. බෝඩිමේ සිට පත්තරයට ලිව්ව ද මට සතයක්වත් නොලැබිණි. එහෙත් ආත්ම තෘප්තිය මිල කළ නොහැකි විය.

මේ වන විට සිනමාවේ රජ පත්තරය වූයේ සරසවියයි. සරසවිය මිල දී ගන්නට මා නිවසෙන් යන්නේ පාන්දර පහටය. මිල සත විසි පහක් විය. මා උදේ පාන්දර එය මුල සිට අගට කියවනුයේ එක හුස්මටය. ඒ තරමටම මට සරසවිය ජීවිතයේ කොටසක් විය.

ලේක්හවුස් ආයතනයේ සේවය කිරීම ආඩම්බරයකි. එය එකල සැලකුවේ එංගලන්තයේ බකිංහැම් මාළිගයේ සේවය කරනු හා සමානවය.

අර්නස්ට් වඩුගේ එදා

දිනක් ආරියරත්න කහවිට මහතා මට කතා කරමින් ජීවත් වෙන්නත් කීයක් හරි හොයා ගන්නත් එපායැ. සරසවිය පත්තරයේ කර්තෘ විමලසිරි පෙරේරා මගේ යාළුවෙක්. ගිහින් ඔහු හමුවන්න යැයි පැවසුවේය. ඒ යන කොට වඩූ ලිව්ව කලා පත්තර දෙක තුනකුත් අරගෙන යන්න යැයි පැවසුවේය. මා ඒ අනුව විමලසිරි පෙරේරා මහතා හමු වීමි. මා ගෙන ගිය කලා පත්තර අතර ඒ සතියේම පිට වූ පත්තරයක් ද විය. එහි ඒ අවදියේ තිරගත වෙමින් තිබූ කුරුලු බැද්ද චිත්‍රපටයේ රඟපෑ පුණ්‍යා හීන්දෙණිය පිළිබඳ මා කලා පත්තරයේ මැද පිටුවට ලියූ ලිපියක් ද විය.

ඒ 1964 වසරයි. මා ලේක්හවුස් මන්දිරයට ගොඩ වූයේ සරසවිය පත්තරයේ රැකියාවක් පිළිබඳ බලාපොරොත්තුª දල්වාගෙනය. එවිට මගේ වයස අවුරුදු විසි හතරකි. විමලසිරි පෙරේරා මහතා මා කලා පත්තරයට ලියූ ලිපි එකිනෙක පෙරලා බැලුවේය. ඔහුගේ හිත වඩාත්ම යොමු වූයේ පුණ්‍යා හීන්දෙණිය පිළිබඳ ලියැවුණු ලිපිය දෙසටය. අනතුරුව එවක සරසවියේ දෙවැනියා වශයෙන් කටයුතු කළ ලක්ෂ්මන් වික්‍රමසිංහයන් දෙසට හැරී ලක්ෂ්මන් යැයි අමතා නළල රැලි කර ඉඟි කළේ මේ පුද්ගලයා අපිට හොඳයි කියා වචනයෙන් නොකියාය. පුණ්‍යාගේ ලිපියක් සරසවියට ලබා නොගැනීම ගැන ඔවුන් කතාබස් කරනු මගේ කනටද ඇසුණි. ඉන් පසු මා බාර වූයේ ලක්ෂ්මන් වික්‍රමසිංහයන් අතටය. ඔහු මා කැඳවා රැකියාව පිළිබඳ සාකච්ඡා කළේය.

පසුදාම මම සරසවිය පත්තරයේ සාමාජිකයෙක් වුණෙමි. ගාමිණී ෆොන්සේකා හමු වී සාකච්ඡාවක් පවත්වා ලිපියක් ලිවීමට මට සරසවියේ භාර වූ පළමු කටයුත්ත විය. කුමාරදාස වාගිස්ට, බන්දු එස්. කොඩිකාර, රෙජී බුලත්සිංහල, රොහාන් පෙරේරා, පර්සි ජයමාන්න, රාජා ටී. බස්නායක, ඒ. ඩී. රංජිත් කුමාර, රවීන්ද්‍ර විජේවර්ධන, විමල් තිලකරත්න, ඩී. බන්දුවර්ධන, සෝමවීර සේනානායක, තලංගම ජයසිංහ, සිරි කහවල, ප්‍රභාත් කුමාර, සිරි කුලරත්න ආදීන් බොහොමයක් එකල සරසවියේ පුනර්ජීවනයට දායක වී සිටියහ.

මැහුම් ගෙතුම්, ළමා පිටුවක්, ජ්‍යෙතිෂය ආදියත් සිනමා තොරතුරුවලට අමතරව සරසවියේ පළ විය. විමලසිරි පෙරේරා මහතා කවියකු වීම නිසාම සරසවියේ වැඩි ඉඩක් කවිය සඳහා ද වෙන් විය. මේ සඳහා බොහොමයකගෙන් එතරම් ප්‍රසාදයක් නොතිබුණ හෙයින් උපක්‍රමශීලීව ඔහුගේ මතය වෙනස් කිරීමට මූලිකව කටයුතු කරනු ලැබුවේ ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ය.

වෙනත් සිනමා පුවත්පත් අභිබවා යමින් විශාල පාඨක පිරිසක් ග්‍රහණය කර ගැනීමේ සැලසුමට මුල පිරුවේ ලක්ෂ්මන් වික්‍රමසිංහයන්ය. සරසවියේ කවියට තිබූ තැන සිනමාව කෙරේ වැඩිකර නව නැඹුරුවකින් සරසවියට පුනර්ජීවනයක් ඇති කිරීමට විමලසිරි පෙරේරා මහතාගේ නායකත්වය තුළ ලක්ෂ්මන් හරි අපූරුවට කරනු ලැබිණි. නළු නිළියන් සීමිත පිරිසක් සිටින අවධියේ සරසවිය එක් ලක්ෂ පහළොස් දහසක් දක්වා මුද්‍රණය කිරීමට හැකි විය. අලෙවියේ හිනිපෙත්තටම නැඟුණු සරසවියට නව විශේෂාංග රැසක් එක් වුයේ හරි අපූරු ආකාරයෙනි. රංජිත් කුමාර සතියෙන් සතිය නමින් ලිපියක් එක් කෙරිණි. සෝමවීර සේනානායක අතින් සාහිත්‍ය පිළිබඳ ලිපි එකතු විය. ඔහු අතින් ලිය වුණු ජෝගෙන් අහන්න පාඨකයන් අතර වඩාත් ජනප්‍රිය විය. අනුලාගෙන් අහන්න, මාලිනීගෙන් අහන්න, ගාමිණීගෙන් අහන්න වැනි ලිපි සත් වසරක්ම ලිය වුණේ මා අතිනි. තරු පෙම් කළ තරු නමින් පිටු දෙකක විශේෂාංගයක් මා අතින් ලියවුණි. නළු නිළි පුරේ සවාරිය ලියනු ලැබුවේ සිරි කහවලය. සිරි කුලරත්න අතින් සතියේ ගීතය ලියැවිණි. විමල් තිලකරත්න අතින් සන්ධ්‍යා කුමාරි පෙම් කතාව ලියවිණි. මේවා දවසින් දවස පාඨක ප්‍රසාදය ලබමින් වඩාත් ජනප්‍රිය විය.

පාඨකයන් විසින් එවනු ලබන ලිපි තැපැල්පත් සියල්ල මට භාර වූයේ ඒ සඳහා මාව නිල වශයෙන් වෙන් කොට තිබූ හෙයිනි. සතියකට පෝර බෑග් දෙක තුනක ලියුම් මලු කීපයක් සරසවියට ලැබිණි. ඒ සියල්ල මා අසල ගොඩ ගසා තිබූ නිසාත් ඒවා සමඟ මා ගනුදෙනු කළ නිසාත් මට සරසවියේ පෝස්ට් මාස්ටර් කියා නමකුත් පටබැන්දේ රංජිත් කුමාරත්, සෝමවීර සේනානායකයන්ය.

මධුරි ඩික්සිත්ට, ඓශ්වර්යා රායිට මෙරට ඇති රසික ආකර්ෂණය එදා මෙරට දිනාගෙන තිබුණේ ජීවරාණි, සන්ධ්‍යා කුමාරිය. එතරම් රසික ආකර්ෂණයක් මේ දෙපළට තිබිණි. සත විසි පහක් වූ සරසවිය පත්තරය එදා වෙළෙඳ පොළට ආවේ සිකුරාදාටය. බදාදා සවස එය මුද්‍රණය කෙරිණි. කර්තේලිස් බාස් ෆෝමන් අතින් පත්තරයේ බොහෝ මුද්‍රණ කටයුතු සිදු විය. එදිනට ලේක්හවුස් එක හා ගෙදර අතර වෙනසක් නොතිබූ තරම්ය. රැයක් දවාලක් නොවිණි. පුංචි පහේ මධුවිත පානයක් තොල ගා කටයුතු කරන සමහර දිනවල වැඩ ඉවර වී නිවසට ගියේ අවසන් බස් රථයෙනි. පොල් පැටවූවා සේ වරාය අසලින් එකල පිටවන අන්තිම බස් රථය ලේක්හවුස් අසලින් යන්නේ රාත්‍රී 12.30 ටය. එවකට මා නතර වී සිටියේ බොරලැස්ගමුවේය.

පසු කලෙක සරසවියේ සිටි මටත්, කුමාරදාස වාගිස්ටටත් අපූරු තනතුරු දෙකක් පිරිනැමිණි. එවක මුදල් අධ්‍යක්ෂවරයා වූයේ විජේසිරිවර්ධන මහතාය. මටත් වාගිටත් කලා ක්ෂේත්‍රයේ හොඳ සබඳතාවක් තිබූ හෙයින් සරසවියට දැන්වීම් ගෙන ඒම සඳහා අප දෙදෙනා පත් කරනු ලැබිණි. එදා සරසවියේ වර්ණ පිටුවක් රුපියල් එක්දහස් පන්සීයක් විය. අපි දෙදෙනා අපේ සබඳතා පාවිච්චි කරමින් එතෙක් සරසවියට නොලැබුණු දැන්වීම් ප්‍රමාණයක් රැගෙන ආවෙමු. එයින් අපට විශේෂ ගෙවීමක් ද ආයතනයෙන් කරනු ලැබුවේ ලැබෙන මාසික පඩියට අමතරවය. මෙම කටයුත්තට උරණ වූ දැන්වීම් අංශයේ නිලධාරීන් අපට විවිධ චෝදනා නගමින් අපේ කටයුත්තට බාධා දැක්වුව ද පාලන අධිකාරියේ උපදෙස් පරිදි එය දිගටම කරගෙන යන්නට හැකි විය.

සරසවිය සම්මාන උළෙල මේ මිහිමත තිබූ සුන්දරම කලා මංගල්‍යය වූවා කිව්වොත් එහි වරදක් නැති තරම්ය. එදා සරසවිය සම්මාන උළෙලට නළු නිළියන් ලකලෑස්ති වූයේ මාස ගණනක සිටය. ඒ හා සමානව අපි ද ඒ සඳහා සූදානම් වූයේ මාස කීපයක පටන්ය. එදිනට ලංකාව පුරාම චිත්‍රපට දර්ශන ගැනීම් නතර විය. සිනමා කර්මාන්තයට සම්බන්ධ සියලු වැඩ එදාට නතර කෙරිණි. සෑම කෙනෙක්ම සම්මාන රාත්‍රියේ මිහිර විඳීමට එක් වූවේය. අපේ දූ දරුවන්ගේ මංගල්‍යයකට ලක ලෑස්ති වන අයුරින් හැම කෙනෙක්ම වටිනා ඇඳුම් ආයිත්තම්වලින් හැඩ වෙලාය. පළවෙනි සරසවිය සම්මාන උළෙල ද මට මතකය. එදා ලේක්හවුස් එක ළඟ සිට සම්මාන උළෙල පැවති අශෝකා සිනමාහල වෙත සිනමා නළු නිළියන් රැගත් තාරකා යානයක් සැරිසැරුවේය. පාරවල් පුරා අතුරු සිදුරු නැතිව පිරී සිටි රසිකයන් එහි චමත්කාරය විඳ ගත්තේ අත්පොලසන් නඟමිණි. පුවත්පතට ඒ වන විට නවකයකුª වූ මා සම්මාන රාත්‍රිය නැරැඹීමට දායක වූවා මිස එහි කිසිදු කටයුත්තකට දායක වීමක් සිදු නොකළෙමි.

සරසවියේ සිටි කුමාරදාස වාගිස්ට සිනමා නළු නිළියන්ගේ රසබර තොරතුරු ලිවීමට රුසියෙක් විය. එවක තිබූ කඳානේ එස්. පී. එම්., හැඳල විජය, තිඹිරිගස්යායේ ලංකා, කිරිබත්ගොඩ නව ජීවන, වැල්ලම්පිටිය ආර්. ටී. චිත්‍රාගාරවල කරක් ගසන වාගි ආපසු එන්නේ මොනවා හෝ රසබර තොරතුරක් රැගෙනය. සමහර සිද්ධි පත්තරයේ පළ කිරීමටත් බැරි දේවල්ය.