වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




PHONE කරමුද? FILM හදමුද?

PHONE කරමුද? FILM හදමුද?

සුදත් මහදිවුල්වැව

සුදත් මහදිවුල්වැව අපේ රටේ සිනමාව ඇසුරු කරන්නන්ට ආගන්තුකයකු නොවේ. අපේ රටේ සුබාවදී සිනමා කලාව වෙනුවෙන් වෙහෙසෙන කණ්ඩායමේ ප්‍රමුඛයකු ලෙස හඳුනා වෙන් කොට ගත හැකි සුදත් අතින් නිර්මාණය වූ කලා අංගයන් තුළ ඔහුගේ පරිණත බව දක්නට ලැබේ.

තමා උගත් දැනුම නිරතුරුවම නව පරපුර වෙත තිළිණ කරනු ලබන සුදත් හැකි හැම විටකදීම සිනමා කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් දහදිය හෙළන අපූරු චරිතයකි. මේ වන විට ඩිජිටල් ෆිල්ම් ඇකඩමියෙහි මූලික බර කරට ගනිමින් දස දෙස විසිරී පැතිරී සිටින සිනමාවට ප්‍රවිෂ්ට වීමට මං සොයන නවකයන්ට මඟක් සදන්නට වෙහෙසෙන සුදත් තවත් නව අපූරු කටයුත්තක් ආරම්භ කොට තිබේ. ඒ ජංගම දුරකථනය මඟින් චිත්‍රපට තැනීමේ කලාව අපේ රටේ ව්‍යාප්ත කිරීම උදෙසාම නිර්මාණය වූ ඉතා සැලසුම් සහගක අර්ථවත් වැඩමුළුවකි.

නිරතුරුවම අපේ අතේ රැඳෙන අත්‍යවශ්‍ය උපකරණයක් වන ජංගම දුරකතනය මඟින් සමාජ ප්‍රශ්න පිළිබඳ තැනෙණ වීඩියෝ හරහා හොඳ කතිකාවතක් ගොඩ නැගීම මෙම වැඩමුළුවේ ඒකායන අරමුණයි.

කලාව වෙනුවෙන් වගකීම් සහගත දිගුª ගමනක යෙදෙන පුවත්පතක් ලෙස අප මෙම ඉඩ වෙන් කරන්නේ මේ අලුත් සුබ ගමන ගැන කතාබහ කරනු පිණිසය. අපේ රටේ සුබවාදී සිනමා සිහිනය යථාර්ථයක් බවට පත්කර ගැනීමට අවශ්‍ය සම්පත් සොයා යන මේ ගමන ගැන සුදත් දැක් වූ අදහස්ය මේ.

අපේ රටට විධිමත් සිනමා පාසලක අවශ්‍යතාවය ඇති වුණේ අද ඊයේ නොවෙයි. න්‍යායික දැනුම කොතරම් තිබුණත් ප්‍රායෝගික දැනුම පරිපූර්ණව ලබාදෙන ආයතනයක් අපට තිබුණේ නැහැ. ඒ අනුව තමයි ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය ඇරඹෙන්නේ. මේ පාඨමාලාව ශ්‍රී ලංකා පදනම් ආයතනය මඟින් මෙහෙයවන්නක්. දම්මික ගුණතිලක මහතාගේ මූලිකත්වය යටතේ ඩිප්ලෝමා පාඨමාලාවක් ලෙසටයි මේ කටයුත්ත ඇරඹුණේ. මේ සඳහා මම, හඳගම, ප්‍රසන්න විතානගේ, එම්. ඩී. මහින්දපාල වැනි සම්පත් දායකයින් සහභාගි වුණා.

ලංකාවේ යහපත් සිනමා කර්මාන්තයක් වෙනුවෙන් යමක් කරන්නටයි අප මේ ලෙස සංවිධානය වුණේ. මේ පාඨමාලාව කරගෙන යද්දී අපට දැනුණා මේ වෙනුවෙන් ඉතාමත් උනන්දුවෙන් කටයුතුª කරන බොහෝ පිරිසක් ඇති බව. මෙම මස 18 පූර්ණකාලීන පාඨමාලාව ඉතාමත් යහපත් විදියට පටන් ගන්නට සිදු වුණා.

න්‍යායික දැනුම වගේම ප්‍රායෝගික දැනුමත් ඉතා ඉහළින් ලබා දෙන්නට අපි කටයුතු කළා. මෙහෙම කලක් අපේ පාඨමාලාව ඉතාමත් උසස් ප්‍රමිතියකින් ගලාගෙන ගියා. මේ අතරතුරදී එංගලන්තයේ බකින්හැම් විශ්ව විද්‍යාලයේ ලබාදෙන ශාස්ත්‍රපති (සිනමාව සහ රූපවාහිනී) උපාධිය ලබා දෙන්නට එකඟතාවකට එන්න අපට හැකි වුණා. ඒ අනුව එම විශ්ව විද්‍යාලය සමඟ අපි ගිවිසුමකට පැමිණියා.

ඒ අනුව මෙම පාඨමාලාව ජාත්‍යන්තර ප්‍රමිතියකට අනුව හැඩගන්වා ගන්නට හැම දෙනාම වෙහෙසුණා. විවිධ අංශ යටතේ මෙම පාඨමාලාවේ කටයුතු සිදු වුණා. දිවයිනේ හැම තැනකම ඉන්න චිත්‍රපට කලාව සමඟ සම්බන්ධ වෙන්නට කැමැති පිරිස් මෙම පාඨමාලාව සඳහා එක් වන්නට මඟ බලන් හිටියා.

මේ හේතු කාරණා නිසා අපි තේරුම් ගත්තා ලංකාවේ චිත්‍රපට කර්මාන්තයට පිවිසෙන්නට බොහෝ දක්ෂයන් මඟ බලා ඉන්නා වග.

මේ නිසාම අපි තවත් අලුත් පියවරකට මුල පිරුවා. ඒ තමයි ජංගම දුරකථනයෙන් කෙටි චිත්‍රපට තැනීම.

ජංගම දුරකථනය කියන්නේ අපි හැමෝටම හුරු පුරුදු සමීප මෙවලමක්. නමුත් අද මේ මෙවලම අදහස් හුවමාරුවට වඩා අංග රැසකින් සමන්විත වෙලා. මේ දුරකතනයේ කැමරාව බොහෝ දෙනකු යොදා ගන්නේ අසුභවාදී කටයුතුවලට. එක්කෝ කාගේ හරි චරිතයක් කෙලෙසීමට, එහෙම නැත්නම් හරසුන් දේවලට. අපි කල්පනා කළා හැමෝටම හුරු පුරුදු මේ මෙවලම යොදාගෙන සමාජයේ ප්‍රශ්නවලට විකල්ප විදිහට මැදිහත් වෙන්නේ කොහොමද කියලා.

ඒ අනුව අපි තවත් පාඨමාලාවක් පවත්වන්නට තීරණය කළා. මෙහි මුල් අදියර ලෙස සමාජ ප්‍රශ්නයක් ඔහුට හෝ ඇයට දැනෙන ලෙස නිර්මාණය කරන්නට පුළුවන්. පළමුවෙන්ම ඒ සමාජ ප්‍රශ්නය තමාට දැනෙන ලෙස අපට ලියා එවිය යුතුයි. ඒ වෙනුවෙන් තිර පිටපතක් ලියා තිබෙනවා නම් ඒ පිටපත එවීමටත් පුළුවන්. ඉන් අනතුරුව අපි සම්මුඛ පරීක්ෂණයක් පවත්වනවා. ඇත්තටම මේ සමාජ ප්‍රශ්නයට ඔහුගේ ඇස සංවේදී කියලා දැනගන්නට.

ඉන් පසුව අපි මේ අයදුම්කරුවන් අතරින් දස දෙනකු තෝරා ගැන්මට කටයුතු යොදා තිබෙනවා. මෙම පාඨමාලාව සඳහා නේවාසික පහසුකම් මෙන්ම ආහාරපානත් ලබා දෙන්නට අපි කටයුතුª යොදා තිබෙනවා. නමුත් මේ අය කිරීම තුළින් ඒ හැම පහසුකමක්ම සපයන්නට බැහැ. ඒ නිසා අපි ඒ සඳහා අනුග්‍රාහකයන් ද ලබාගෙන තිබෙනවා.

මේ පාඨමාලාව අප පවත්වන්නේ ආධුනිකයන්ට. ඒ නිසා මූලික දැනුමක් අනවශ්‍යයි. ඒ වගේම වයස් සීමාවක්, නගර සීමාවක්, දිස්ත්‍රික් සීමාවක් මේ පාඨමාලාවට නැහැ. කෙනකු සිනමා කර්මාන්තය, රූපවාහිනිය ගැන උනන්දු වෙයි ද එය ප්‍රමාණවත්.

විශේෂයෙන්ම මෙම පාඨමාලාව ඇතුළදී තවත් බොහෝ දේ සාකච්ඡා කිරීමට නියමිතයි. උදාහරණයක් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධනයන් සමාජ ප්‍රශ්න හඳුනා ගැනීම පිළිබඳ දේශනයක් සඳහා පැමිණෙනවා. ඒ හරහා අපේ අලුත් පරම්පරාවට හොඳ, නවීන විධිමත් දැනුමක් දෙන්නට අපට හැකි වේවි.