වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




මහසෝන් සමයමට කොටස් තුනයි

මහසෝන් සමයමට කොටස් තුනයි

මේ මැද එක

“මහ සමයම” ගැන මහාචාර්ය ආරියරත්න ඇතුගල ගේ අදහස්

ජැක්සන් මහසෝනා වෙද්දී

ශ්‍රියන්ත ගෝඨයිම්බර ලෙස ...

‘මහසෝනා’ යැයි කියූ විට අප සිතට නැඟෙන්නේ භීතියකි. අසා පමණක් ඇති, කිසිදා දැක නැති මේ ‘මහසෝනා’ කවරකු ද? අපේ ජනප්‍රවාදයේ කියැවෙන්නේ ‘මහසෝනා’ යනු මහ සොහොන් පිටිවලට අරක්ගත් බලගතු යක්ෂයකු බවය. ‘මහ සොහොන් සමයම’ උගෙන් වන උවදුරු දුරු කිරීමට කරනා තොවිලයකි. එය ආතුරයා වෙනුවෙන් කරනා ප්‍රබල ශාන්ති කර්මයක් සේ ද සැලකේ.

මහසෝනාගේ උප්පත්තිය පිළිබඳ ඉතා විචිත්‍රවත් වූ කතා ජනශ්‍රැතියේ කියැවේ. තව නොබෝ දිනකින් කරළිය මත රඟ දැක්වෙන ‘මහ සමයම’ වේදිකා නාට්‍යයට ප්‍රස්තුත වී ඇත්තේ ඒ එක් උප්පත්ති කතාවකි.

පුරාණෝක්තිය, යාතු කර්ම තුළින් බිහි වූ ජන නාට්‍යය සම්ප්‍රදාය සමඟ වර්තමාන මානව පරිකල්පනයේ නිර්මාණාත්මක අනුභූතීන් හා රංගන චර්යාවන් ඔස්සේ අද්‍යතන මානව සිතිවිලි ගවේෂණය ‘මහ සමයම’ නාට්‍යය කෘතියේ අරමුණයි.

මේ දැවැන්ත නිර්මාණ කාර්යයේ පෙරටුගාමී චරිතය මහාචාර්ය ආරියරත්න ඇතුගලය. අනන්ත, අප්‍රමාණ වෙහෙසක් දරා ඔහු ‘මහ සමයම’ දෘෂ්‍ය කාව්‍ය ‘නෙළුම් පොකුණ’ට ගෙන එන්නේ මෙරට නාට්‍ය ප්‍රේක්ෂකාගාරයට නවමු අත්දැකීමක් ලබා දෙමිනි.

‘මහ සමයම’ ඔබ නම් කර තිබෙන්නේ දෘෂ්‍ය කාව්‍යයක් හැටියට?

‘ඔපෙරා’ කියන එකට සිංහල යෙදුමක් නැහැ. ‘ඔපෙරා’ කියලමයි අපි භාවිත කරන්නේ. මම හිතන්නේ ඒ අර්ථයෙන් තමයි මම මෙය දෘෂ්‍ය කාව්‍යක් ලෙස හඳුන්වන්නේ. අද ලෝකයේ නාට්‍ය කලාව නූතන තාක්ෂණය හා එකතු වෙමින් රූපය සමඟ විවිධාකාර චිත්‍රණයන් සමඟ තමයි ගමන් කරන්නේ. පැරැණි සමාජයේ තිබුණ දේවලුත් අප දෘෂ්‍ය කාව්‍ය හැටියට තමයි හඳුන්වන්නේ. මට හිතුණා දෘෂ්‍ය කාව්‍ය කියන එක ඔපෙරා කියන අර්ථයෙන් ලංකාවේ පාවිච්චි කරන්න පුළුවන් කියලා.

ඒ කියන්නේ ‘මහ සමයම’ ඔපෙරාවක්?

ඔපෙරාවක් කිව්වට මේක එක විදිහකට ශ්‍රී ලාංකේය නැතිනම් ආසියානු ඔපෙරාවක්. මොකද ඔපෙරාව උපදින ඉතාලිය වගේ රටවල තිබෙන ඒ ඔපෙරා සංස්කෘතිය ලංකාවේ නැහැ. නමුත් ඔපෙරාව කියන්නේ මහා කලාවක්. දෙබස් සහිත වේදිකා නාට්‍ය ශාස්ත්‍රීය වූත්, සෞන්දර්යාත්මක වූත් ඒ වගේම නිර්මාණාත්මක වූත් ඉදිරි ගමනක් යන්නේ ඔපෙරාව හරහා. ඉතින් ඒ නිසා ඔපෙරාව වගේ දේවල් ලාංකේය සමාජය ඇතුළේ අද වෙන කොට නිර්මාණය වෙන්න ඕනෑ.

ඊට අවශ්‍යය පසුබිම සැකසෙමින් පවතිනවා, විශේෂයෙන්ම මේ ‘නෙළුම් පොකුණ’ වගේ රඟහලවල් ඇතිවීමෙන්. මේවා හුදු සංදර්ශන පවත්වන්නට ඉඩ හරිනවාට වඩා නව නාට්‍ය සම්ප්‍රදායක් ඇති කර ගැනීමට උපයෝගී කර ගන්නවා නම් වඩා වැදගත්.

වේදිකාවත් සමඟ ඔබේ එහෙම ලොකු ගනුදෙනුවක් තිබුණේ නැහැ. නමුත් ඔබ අති දැවැන්ත නිර්මාණ කටයුත්තක් එක්කයි මේ වේදිකාවට ප්‍රවේශ වන්නේ. ඇත්තටම මේ ආගන්තුක බව ඔබට අභියෝගයක් වුණේ නැතිද?

මීට පෙර වේදිකාවත් සමඟ විශාල සම්බන්ධතාවක් තිබුණා ද, නැද්ද කියන එක ඒතරම් වැදගත් වන්නේ නෑ මම හිතන්නේ නිර්මාණකරණයේදී. දැන් අපි ගත්තොත් පාසල් වේදිකාවේ හා විශ්ව විද්‍යාල වේදිකාවේ මම යම් යම් ආකාරයට නාට්‍ය කලාව හා සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම ලංකාවේ වේදිකා නාට්‍ය දකිමින්, ගැවසෙමින් ඒ පිළිබඳ අධ්‍යයනය කර තිබෙනවා. සුගතපාල ද සිල්වා, සාලමන් ෆොන්සේකා, සුනන්ද මහේන්ද්‍ර වගේ ප්‍රවීණයන් සමඟ කළ සාකච්ඡා, සංවාද නාට්‍ය පිළිබඳ හැදෑරීමට උපකාර වුණා. ඊට අමතරව හොඳ නාට්‍ය නිර්මාණත් එක්ක ගැවසිලා තියෙනවා. නාට්‍ය පිළිබඳ කිසිම දෙයක් නොදන්න අයත් නාට්‍ය කරලා තියෙන මේ සමාජයේ මම හිතන්නේ ‘මහ සමයම’ මට විශේෂ අභියෝගයක් වුණේ නැහැ.

දැන් ලංකාවේ කලාව ඇතුළේ විශේෂයෙන්ම මේ ‘ඔපෙරා’ කිව්වම එක්වරම අපේ මතකයට නැගෙන්නේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්. ‘මානසවිල’ වගේ නිර්මාණයක් ඊට කදිම නිදසුනක්. ඔබට එවැනි නිර්මාණ හරහා යම් ආභාෂයක් නොඑසේනම් කිසියම් උත්තේජනයක් ලැබුණාද?

අපි ‘සඳකිඳුරු’ නාඩගම නැතිනම් වෙනත් එවැනි අංගයක් ගත්තත් ගායනය සහිත නර්තනය තිබෙන දේවල්. ඔපෙරාවේ මූලික ලක්ෂණ ලාංකේය පැරැණි කලාවේත් තිබුණා. අනෙක් පැත්තෙන් මම කියන්නේ සරච්චන්ද්‍රයන් තමයි ඔපෙරාව මේ රටේ පළමුව ඇති කරන්නේ. ඒ කියන්නේ ‘මනමේ’, ‘සිංහබාහු’ නාට්‍යවල තියෙනවා අර සාමාන්‍ය දෙබස් කියැවීමෙන් වෙන්වුණ ඔපෙරාවේ තිබෙන ලක්ෂණ. සිංහබා කියන ගීතය ගත්තත් ඔපෙරාවේ හඬ. අනෙක් පැත්තෙන් සිංහයා නටන්නේ නෝ කබුකි වගේ දේවල්. අපේ රටේ තිබෙන උඩරට, පහත රට, සබරගමු නර්තන රටාවන් නෙවේ. ඒ නිසා සරච්චන්ද්‍රයන්ගේ මේ නාට්‍යවල විශ්වීය ඔපෙරාවේ හැඩතල තිබුණා කියා මම හිතනවා.

එතකොට ඔපෙරාව සම්බන්ධව අපේ ඉතිහාසය වසර පනහකටත් වඩා පැරැණියි?

ඔව්. සාම ඔපෙරා කණ්ඩායමක් පවා අපේ රටේ ඉඳලා තියෙනවා සාම කටයුතුª සම්බන්ධව කටයුතුª කරන්න. එතකොට ඩබ්ලිව්. බී. මකුලොළුව වගේ පර්යේෂකයන් මේ ‘දෙපානෝ’ වැනි නාට්‍යයක් නම් කළේත් ඔපෙරා විදිහට. ඊට පස්සේ තමයි කේමදාසයන්. බටහිර වර්ධනය වූ සංගීතයට විශේෂ තැනක් දෙන ඔපෙරාවේ ගති ලක්ෂණ අනුව තමයි ඔහු ‘මානසවිල’ වගේ දේවල් පටන් ගන්නේ. මේ සියලු දේවල දිගුවක් හැටියට නැතිනම් එහි ඉදිරි ගමනක් හැටියට තමයි ‘මහ සමයම’ මම සලකන්නේ.

වචනාර්ථයෙන් ගත්තොත් ‘මහසෝන් සමයමේ’ කොටස් තුනක් තිබෙනවා. ඒ සන්ධ්‍යා සමයම, මහ සමයම සහ අලුයම් සමයම යනුවෙන්. එහි මැද එක එනම් මහ සමයම තමයි මම මේ නිර්මාණයට පාදක කර ගත්තේ. මහසෝනා කියලා කියන්නේ මේ රටේ එක්තරා විදිහක අපේ මනස් ඇතුළේ ජීවත් වුණු යක්ෂ සංකල්පයක ප්‍රධාන ධාරාව. මුඛ්‍ය චරිතය. ඒක ඇතුළේ ඉන්දියානු ආභාෂය සහ විදේශ ආභාෂයත් අපට ලැබී තිබෙනවා. ඒ වගේම අපේම දේවල් මේකට එකතු වෙමින්, අපේ මනස වැඩී තියෙන හැටි සහ අපේ සංස්කෘතික වටපිටාව මේ සියල්ල මේක ඇතුළේ තියෙනවා. ‘මහසෝනා’ කියන්නේ එක්තරා විදිහක මිථ්‍යා ප්‍රබන්ධයක්.

එහෙම මිථ්‍යා සංකල්පයක්, වසර දහස් ගණනක් තිස්සේ මිනිසුන්ගේ මනසේ, ජන විඥානයේ තැන්පත් වෙලා තියෙන රහස මොකක්ද?

ඇත්තටම පුරාණෝක්ති කියලා කියන්නේ එවක දැනුම ගබඩා කර ගන්න තිබුණ ක්‍රමවේදයක්. හැබැයි මේක ඉතාම නිර්මාණශීලී, විද්‍යාත්මක ක්‍රමවේදයක්. අද අපි ඒක ලඝු කරනවා කතන්දර බවට. දැනුම එකිනෙකාට හුවමාරු කරගන්න ඒ කාලේ ක්‍රමවේද තිබුණේ නෑ. මෙය අතිශය නිර්මාණශීලී ප්‍රකාශන ක්‍රමයක්. ඒක ජන විඥානයත් එක්ක බද්ධ වූ දෙයක්. බ්‍රෙෂ්ට් ගේ ‘හුනුවටයේ කතාව’ ගත්තොත් ඔහු කරන්නේත් ඒ දේම තමයි. ඒක සරච්චන්ද්‍රයනුත් කළා. ඒ නිසා මම හිතන්නේ ඒ ජන විඥානයට තිබෙන සම්බන්ධතාවය රටක නිර්මාණ ප්‍රකාශනයක් සඳහා පාදක කර ගැනීම ඉතාම වැදගත්. ඒ නිසා තමයි මම මේ නිර්මාණ කටයුත්තට අත ගැසුවේ.

කවුද එතකොට මහසෝනා?

ජැක්සන් ඇන්තනි තමයි මහසෝනාගේ චරිතය රඟදක්වන්නේ. මම හිතන්නේ විශාල රංගන හැකියාවක් තියෙන නළුවෙක්. ඒ වගේම ඔහුට ජීවිත අත්දැකීම් තියෙනවා මහසෝනා හා රංග කාර්යය පිළිබඳ අධ්‍යනය කරලා. මම හිතන්නේ ඔහු මේ නිර්මාණයට ඉතාම හොඳ මැදිහත්වීමක් කරනවා.

එතකොට ශ්‍රියන්ත මෙන්ඩිසුත් මෙහි විශිෂ්ට රංගනයකට දායක වෙනවා?

ශ්‍රියන්ත තමයි ගෝඨයිම්බර. එක්තරා විදිහකට දේශීයත්වය හඳුනා ගත්ත වීරවරයෙක්. මේ වීරවරයා නියෝජනය කරන්නේ ශ්‍රියන්ත මෙන්ඩිස්. ඔහුගේ රංගනයත් ඉතා මැනවින් මෙහි හුවා දැක්වෙනවා.

බලි තොවිල්, යාතුකර්ම වැනි දේවල් තවමත් අපේ ජන ජීවිතත් එක්ක බැඳී පවතිනවා. ඒ පිළිබඳ කිසියම් අදහසක් මේ නාට්‍යය නිර්මාණය හරහා ගම්‍ය වෙනවා නේද?

පැහැදිලිවම මෙතෙක් නොකරපු ආකාරයට. පසුතල ගත්තොත් එහෙම ලංකාවේ ගල් කැටයම් කලාව සහ මහ සොහොන් සමයමේ එන රූපණයන් තමයි මේකේ දකින්න ලැබෙන්නේ. සංගීතය පැත්තෙන් ගත්තොත් විශ්වීය ගුණ තිබෙන ලාංකේය දේවල්, ඒ කියන්නේ මෙරට යාතුකර්ම සහ පුරාණෝක්තියේ තිබෙන හැඩ තලයන් තමයි පාවිච්චි කරන්නේ.

මෙහි සංගීත නිර්මාණය සඳහා ඔබ යොදා ගන්නේ සමන්ත පෙරේරා කියන ප්‍රතිභාපූර්ණ සංගීත අධ්‍යක්ෂවරයා?

ඔව්. සමන්ත පෙරේරා මම හිතන්නේ කේමදාසයන්ගෙන් ඉතිරි වෙච්ච ඉතාම අග්‍රගණ්‍ය සංගීතවේදියා. ඔහු තරුණයි. හැම පැත්තකින්ම ඔහුගේ මැදිහත්වීම ශක්ති සම්පන්නයි. ඒ මැදිහත්වීම මට විශාල ආලෝකයක් වුණා.

මෙහි නර්තන වින්‍යාසය සඳහා ඔබ නර්තන ශිල්පීන් තිදෙනකු භාවිත කරනවා. එයත් විශේෂයක්?

චන්න විජේවර්ධන, රවිබන්ධු විද්‍යාපති, දර්ශන පියරත්න යන තිදෙනා. අද තියෙන නර්තන කලාවන් නියෝජනය කරන ප්‍රධාන ධාරාවේ අය ඔවුන්. මේ අයට විවිධ ශෛලීන් තියෙනවා. මේ ශෛලීන් මිශ්‍ර වූ එකක් තමයි මම හොයන්නේ. ඒ කියන්නේ මේ නැටුම් මෙයාගේ, මේ නැටුම් මෙයාගේ කියනවාට වඩා අපේ රටේ ඉපදුණ දූ පුතුන්ගේ නර්තන හැඩතලයන් සමානුරූපව මැදිහත් කරගන්න තමයි ඔවුන් තිදෙනා සම්බන්ධ වුණේ.

ප්‍රවීණ සහ නව පරපුරේ නළු, නිළියන් රාශියක් මෙයට නිර්මාණ දායකත්වය ලබා දෙනවා?

ඔව්. එකසිය පනහකට විතර ආසන්න පිරිසක්. මේ පිරිසත් එක්ක වැඩ කරන කොට දවස ගෙවා ගන්නේ කොහොමද කියන ප්‍රශ්නයත් තිබෙනවා. අපි තුන්හතර දෙනෙක් අරගන මේසයක්, පුටුවක් තියාගෙන නාට්‍ය කරපු සංකල්පයෙන් මිදෙන්න ඕනෑ දැන්. 56 වෙනකොටත් සරච්චන්ද්‍රයනුත් නාට්‍ය කළේ පනහක, හැටක පිරිසක් යොදාගෙන. ඒ තමයි සම්භාව්‍ය නාට්‍යයේ ස්වභාවය සහ ආකෘතිය. මොන යම් හේතුවක් නිසා හෝ චූල ගණයට වැටී තිබෙන අපේ නාට්‍ය කලාව නව ප්‍රබෝධයක් ඇති කර ගැනීම සඳහා මේ නිර්මාණය හේතු සාධකයක් වුණොත් මට ඇති. කවුරුන් හෝ නාට්‍ය සංස්කෘතිය වෙනස් කිරීම සම්බන්ධයෙන් යම් දායකත්වයක් දක්වනවා නම් ඒකයි වැදගත් වෙන්නේ.

වර්තමානයේ එහෙම උසස් ගණයේ නාට්‍ය නිර්මාණ නැහැ කියලද ඔබ කියන්නේ?

බොහෝ නාට්‍ය චූල ගණයේ ඒවා. ධර්මසිරි බණ්ඩාරනායක වගේ කෙනෙක් තමයි ‘ධවල භීෂණ’ වගේ නාට්‍යයකින් ශක්තිමත් වෙනසක් ඇති කළේ. අනෙක් අය එක්කෝ බෙරයක් බැඳ ගන්නවා. නැතිනම් දේශපාලනික හාස්‍යය යොදාගෙන සරල කතන්දරයකට තමයි යන්නේ. අපේ නාඩගම්කාරයාවත් ඔය සරල කතන්දර ගත්තේ නෑ. ඒවත් අර මහා සම්ප්‍රදාය අතපත ගාපු කොටස්. මං හිතන්නේ මෙන්න මේ කතිකාවත ඇතිවීමටත් මෙය හේතුවක් වෙයි කියලා.

අපේ රටේ වගේම වෙනත් රටවලත් නාට්‍යවේදීන් තමන්ගේ නිර්මාණ හරහා ඔවුනගේ දේශපාලන මතවාදය පිළිබිඹු කළා. ‘මහ සමයමේ’ එබඳු දේශපාලන දැක්මක් නැතිද?

මගේ පෞද්ගලික දේශපාලනයක් එහි නැහැ. නමුත් පවතින දේශපාලන සංස්කෘතියේ හැඩතල මෙහි දකින්නට තිබෙනවා. මේකෙන් කිසිම පුද්ගලයකුට ගැලවෙන්නට බැහැ. ඔබ, මම හැමෝම මේක නියෝජනය කරනවා. අපේ ආධ්‍යාත්මය හැදිලා තියෙන හැටි, අපි බලය සමඟ ගැවසෙන හැටි සහ අපේ රටේ මේ වර්තමාන ස්වභාවය. මේවා දෙස විවිධාකාරයෙන් බලන්න පුළුවන් වන කැඩපතක් වගේ තමයි මම මේක නම් කරන්නේ.

අද බොහෝ විට අපේ නාට්‍ය ප්‍රේක්ෂකයන්ට සිදුව තිබෙන්නේ අනුවර්තන හෝ පරිවර්තන නාට්‍ය නිර්මාණ සමඟ ගැවසෙන්නයි. නමුත් ඔබේ නිර්මාණය මේ ප්‍රවණතාවෙන් මිදුණු එකක්?

ඇත්තෙන්ම මෙය මගේ ස්වතන්ත්‍ර නිර්මාණයක්. දීර්ඝ කාලයක් අධ්‍යයනය කරලා පොත, පත ඇසුරු කරලා, පුද්ගලයෝ ඇසුරු කරලා, පොත පත ලියලා ඒ විදිහට තමයි මේක ගොඩ නගා ගන්නේ.

මේ අලුත් ආරක අත්දැකීම බාර ගන්න අපේ ප්‍රේක්ෂකාගාරය සූදානම්ව ඇති බව ඔබට විශ්වාස ද?

ඒක මට හරියටම කියන්න බැහැ. ඒ සඳහා සමාජය සකස් කිරීමේ වගකීම මාධ්‍යයට හා වෙනත් කතිකාවන් සිදු කරන අයට පැවරී තිබෙනවා. මම මේ කාර්යය කරනවා, සමහර විට ප්‍රේක්ෂක ප්‍රතිචාර තිබෙන්නටත් පුළුවන්. නොතිබෙන්නටත් පුළුවන්.

‘මහ සමයම’ නෙළුම් පොකුණ රඟහලේ දින කිහිපයක් පුරාවට වේදිකාගත වෙනවා?

ජනවාරි 30 වැනිදා අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිඳුන්ගේ ප්‍රධානත්වයෙන් මෙහි ප්‍රථම දර්ශනය පැවැත්වෙනවා. 31 වැනිදා පාසල් ළමුන් සඳහා දර්ශනයකුත්, පෙබරවාරි 01 සහ 02 දිනයන් මහජනයා වෙනුවෙනුත් ‘මහ සමයම’ වේදිකා ගත කෙරෙනවා.

දවස් හතරක්. ලෝකයේ වෙනත් රටවල ඇත්තටම මේවා එහෙම තමයි කරන්නේ. සමහර රටවල මාස ගණන් එක දිගට පෙන්වනවා. ඒත් අපට එහෙම කරන්න බැහැ. මේ විදිහට තමයි සැලසුම් වෙලා තියෙන්නේ. මීට මැදිහත් වන සියලුම පාර්ශවයන්ට මම ස්තුතිවන්ත වෙන්න ඕනෑ මේ කාර්යයට දිරි දීම සම්බන්ධයෙන්.

ඔබ හොඳ සිනමා රසිකයෙක් වගේම ඒ පිළිබඳ දැනුවත් අයෙක්. රූපවාහිනියෙන් වේදිකාවට පියමැන්නා වගේ සිනමාවේ ඔබ සතු නිර්මාණ ශක්‍යතා එළි දක්වන්නට බලාපොරොත්තුවක් නැතිද?

ඕක හුඟක් ඉස්සර ‘සරසවිය’ පත්තරෙන්ම තමයි කිව්වේ. 80 දසකයේ මුලදී තමයි සුනිල් මිහිඳුකුලයන් මට කිව්වේ ඇතුගල සිනමාකරුවකු විය යුතුයි කියලා. නමුත් මම හරි කම්මැලියිනේ හුඟක් දේවලට. මේක මේ කාලයක් නිකං ඉඳලා පුපුරා ගිය වැඩක්. සිනමාව සම්බන්ධයෙන් මට ලැබුණු දේවලුත් කෙරිලා නෑ.

අනෙක් පැත්තෙන් මගේ ලොකු කලකිරීමක් තියෙනවා මේ ටෙලිවිෂන් එක එක්ක ඉඳලා ඉඳලා මොකක්ද මේ වෙන්නේ කියලා. අද ටෙලි නාට්‍ය කියලා කියන්නේ, කිසිම හරයක් නැති, අද්භූත රචනාවක්නේ. මේ වගෙ දුක්ඛාන්තයක් පිටුපස තමයි මම මේ වේදිකාවට ප්‍රවේශ වන්නේ. මොකද මේ වේදිකාව ඉතා බලසම්පන්නයි. හැබැයි ඉතින් රූපවාහිනිය තරම් ජනප්‍රිය නැහැ. කලාවේ අංග පෝෂණය කරන්න හොඳම තැන වේදිකාව කියලයි මම හිතන්නේ.