වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘සන්නාලි සිහිනය’ සිහිනය සැබෑ වූවෝ

 ‘සන්නාලි සිහිනය’ සිහිනය සැබෑ වූවෝ

වාදන අංශයේ කිරුළ මනෝජ්ට
අනු ශූරතාව කෝලිතට

හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරය ඇරැඹෙන්නේ 1870 වර්ෂයේදීය. පසු කලෙක ශ්‍රී ලංකාව තුළ කර්මාන්ත ශාලා 18 ක් ආරම්භ කරමින් තරුණ තරුණියන් 30,000 කට පමණ රැකියා අවස්ථා ලබා දී තිබේ.

අද හයිඩ්‍රාමනී කර්මාන්ත ශාලා ඉන්දියාව, බංග්ලා දේශය, වියට්නාමය, චීනය, ඉන්දුනීසියාව, හොංකොං ආදී රටවලටද ව්‍යාප්ත වී ඇත. එදා සිට අද දක්වා සිය සේවක සේවිකාවන් වෙනුවෙන් ඉටු කරනු ලැබූ සුබසාධන ක්‍රියාදාම වැඩ පිළිවෙළෙ හි එක් අලංකාර සෞන්දර්යාත්මක සංධිස්ථානයක් නොබෝදා කලඑළි දුටුවේය. එනම් ‘සන්නාලි සිහිනයයි’.

සන්නාලි සිහිනය තුළින් අද ඔබ අතරට ගෙන එන්නේ වාදන අංශයෙන් සිහිනය සැබෑ කරගත් දෙදෙනෙකි.

මනෝජ් මධුශංඛ

සේද කිරුළේ වාදන අංශයෙන් ප්‍රථම ස්ථානය මනෝජ් මධුසංඛ හිමි කර ගත්තේ ජනප්‍රිය ගායක ජගත් වික්‍රමසිංහ ගායනා කළ සාගර තරංගා ගීතයේ අනුවාදනය සැක්සෆෝනය ඔස්සේ ප්‍රේක්ෂකයන්ට සවන්දීමට සලස්වමිනි. ඔහු සී. කේ. ටී. ඇහැලියගොඩ ආයතනයේ තත්ත්වපාලන අංශයේ තත්ත්ව පාලන නිලධාරී ලෙස මාස තුනක කාලයක් සේවය කරයි. ගැටහැත්තේ අනුර මහා විද්‍යාලයෙන් හා රත්නපුර සීවලී විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ මනෝජ් පාසල් කාලයේ සිටම සංගීතය හැදැරූ අයෙකි.

පාසල් අවදියේදීම රූපවාහිනී වැඩසටහන්වලට පෙනී සිටින්නට වරම් ලැබූ මනෝජ් බටනළා, ගිටාර් වැනි සංගීත භාණ්ඩ වාදනය කර සමස්ත ලංකා ජයග්‍රහන රැසක් හිමි කර ගැනීම ද විශේෂත්වයකි.

මවුපිය සෙනෙහස නොලැබුණ මනෝජ් අද සමාජයේ අනෙක් තරුණයන්ට හොඳ ආදර්ශවත් දිවියක් ගෙවයි. ඒ සඳහා ඔහු මෙහෙයුවේ ඔහුගේ බාප්පා සහ පුංචි අම්මා දෙදෙනායි. පාසල් යන සහෝදරියක් සහ සහෝදරයෙක් සිටින මනෝජ්ගේ ඉදිරි බලාපොරොත්තුව ඔහුගේ ජයග්‍රහණයෙන් ලැබුණු රුපියල් 70,000 ක මුදල ඉදිරි අධ්‍යාපන කටයුතුවලට යොදවමින් සංගීත ක්ෂේත්‍රයෙන් ඉදිරියට යෑමයි.

සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නට අත දුන් විශ්ව පරණයාපා, චන්දි දසනායක ගුරුවරුන්ට ද, තමන්ගේ හැකියාවන් සමාජගත කරන්නට අවස්ථාව දුන් හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරීත්වයට හා සමස්ත සේවක මණ්ඩලයට ද, තමන්ගේ ජයග්‍රහණය භුක්ති විදින මේ අවස්ථාවේදී තමන්ට නොයෙක් අයුරින් සහාය දුන් මිතුරු මිතුරියන්ට ද තම පෙම්වතියටද ස්තුති කරන්නට මනෝජ් අමතක නොකළේය.

සියලු බාධක ජයගෙන උඩුගම් බලා යන මනෝජ්ගේ ඉදිරි බලාපොරොත්තු දිනෙන් දින සඵල වේවායි සරසවිය අපගේ පැතුමයි!

කෝලිත ක්‍රිෂාන්ත

සේද කිරුළේ වාදන අංශයේ අනු ශුරතාව දිනා ගත්තේ කෝලිත ක්‍රිෂාන්ත ගුණතිලකයි. සී. කේ. ටී. අගලවත්ත ආයතනයේ තත්ත්වපාලන අංශයේ නිලධාරියෙක් ලෙස වසර දෙකක කාලයක් සේවය කරන කෝලිත කළුතර ජාතික පාසලෙන් අධ්‍යාපනය හැදෑරූ අයෙකි.

පාසල් අවදියේම සංගීත ක්ෂේත්‍රයට අත් පොත් තැබූ කෝලිත, ඩ්‍රම්ස් වාදනයෙන් හා තබ්ලා වාදනයෙන් සමස්ත ලංකා තරග ජයග්‍රහණ රැසකටම හිමිකම් කිව්වෙකි.

තවමත් මවුපිය සෙනෙහසේ වැඩෙන කෝලිතට වැඩිමල් සහෝදරයෙක් සිටී. අයැදුම්පතක් යොමු කිරීමෙන් රැකියාව ලබාගත් කෝලිත රැකියාවෙන් ඉදිරියට යන අතරේ තමන්ගේ කලා කටයුතු වැඩි දියුණු කර ගැනීමට තමන් ලද ජයග්‍රහණයෙන් ලැබුණු රුපියල් 35,000 ක මුදල යොදවන්නට බලාපොරොත්තුවෙන් සිටී.

ඇඟලුම් ක්ෂේත්‍රයට මෙවන් වැඩ සටහනක් හඳුන්වා දෙමින් සැඟවුණු දක්ෂතා ලොවට පෙන්වන්නට සැලැස් වූ හයිඩ්‍රාමනී සමූහ ව්‍යාපාරයේ ඉහළ කළමනාකාරිත්වයට, තම මවුපියන්ට මෙන්ම සමස්ත සේවකයන්ගෙන් ලැබුණු සහායට ස්තුති කරන්නට කෝලිත මෙය අවස්ථාවක් කර ගත්තේ තමන්ගේ ජයග්‍රහණය ආයතනයේ ජයග්‍රහණයක් බව පවසමිනි.