වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




කයිට්ස් වෙරළේ මං සිහි නැතුව වැටුණා

කයිට්ස් වෙරළේ මං සිහි නැතුව වැටුණා

ඉනියවන් හැඩ කළ නිරංජනී සරසවියට කතා කරයි

සතියකට එපිට මතකයට මම ඔබව කැඳවාගෙන යමි. ඒ පසුගිය සරසවියේ තෙවැනි පිටුව වෙන් වූ ඉනියවන් චිත්‍රපටයෙහි පිච්ච මල් කුමාරි හෙවත් සුභාෂිණී බාලසුබ්‍රමනියම් වෙතටයි. අද එම ඉඩකඩ සිතුවිලිවලින් පුරවනුයේ ඇයත් සමඟ රංගනයේ යෙදෙන ඉනියවන්හි දෙවැනි උප ප්‍රධාන චරිතය මවන මේ රුවැත්තියයි. ඇය එන්. එස්. නිරංජනීයි.

ඉනියවන් තුළින් සිනමා රංගන චාරිකාව ආරම්භ කළ ඇය සුභා මෙන්ම වෘත්තිමය නිවේදිකාවකි. කැමරාව ඉදිරියේ රංගනයට ආධුනික වුවත් ඒ බව දක්ෂතාවයෙන් වසා ගනිමින් පුරුදුකාරියක ලෙස ඉනියවන් තවත් ආකර්ෂණය කළ නිරංජනී ‘සරසවිය’ හමු වූ මොහොතයි මේ.

මං නිරංජි කියන්නද නිරා කියන්නද?

ඕන නමක් කියන්න. නිරා කියලා කතා කරන්නේ මගේ යාළුවෝ. ඒත් මගේ පෙට් නේම් එක දිව්‍යා. පොඩි කාලේ ඉඳලා ගෙදර අය කතා කරන්නේ ඒ නමින්.

කොහොමද ඉනියවන් සමඟ යාපනයේ ගෙව්ව ජීවිතේ?

හරිම බයෙන් දර්ශන තලයට ගියේ. පළමුවතාවට තමයි යාපනයේ යන්න අවස්ථාව ලැබුණේ. ගමනට ප්‍රථම චරිතය ගැන හොඳ අධ්‍යයනයක් ලබා දුන්නා. ඒක නිසා රඟපාද්දි නම් බය හිතුණේ නැහැ. හැබැයි යාපනයේ රස්නය රූගත කිරීම් ඉවර වෙනකම්ම මට වද දුන්නා.

ඉනියවන් හි ඔබේ චරිතය ගැන යමක් කිව්වොත්?

චරිතයේ නම කියන්න බැහැ. අනිත් විස්තර කියන්නම්.

ඒ මොකද?

අධ්‍යක්ෂවරයා කිව්වා කිසිම වෙලාවක නම් කියන්න එපා කියලා.

ඒත් සුභා චරිතයේ නම කිව්වනේ?

‘පිච්ච මල් කුමාරි’ ඇයගේ පෙට් නේම් එක. මට එහෙම එකක් නැහැ.

හරි කමක් නැහැ. චරිතයේ අනිත් විස්තර කියමු?

ඒක හරිම ධනාත්මක චින්තනයකින් හෙබි චරිතයක්. ඕනෑම අභියෝගයකට බය නැහැ. යුද්ධයෙන් පීඩා විඳි ඇයව හදා වඩා ගන්න ඉන්නේ මව විතරයි. මොන දේ අහිමි වුණත් ජීවත්වෙලා ඉන්න එක ගැන ඇය සතුටුයි.

මේවා අතරින් නිරාට සමීප ගතිගුණය මොකක්ද?

මමත් බය නැහැ. අභියෝගවලට මුහුණ දෙනවා ඉතා හොඳින්.

ඒ කියන්නේ නිරා චණ්ඩි කෙල්ලෙක්?

අනිවාර්යයෙන්ම.

කොහොමද ඔබට අශෝක හඳගමයන්ව මුණ ගැසෙන්නේ?

සුභාගෙයි අශෝක සර්ගෙයි මුණගැසීම මතකද? ඊට ගොඩක් සමානයි මගෙයි ඔහුගෙත් හමුව. මටත් යා ටී. වී. ආයතනයේදී තමයි ඔහු ගැන සහ චිත්‍රපටයේ විස්තර මුලින්ම ලැබෙන්නේ. ඒ ඉනියවන් හි සහාය අධ්‍යක්ෂවරයකු වන අමල් අල්විස් අයියා හරහා. එහිදීම අශෝක සර්ව හමු වුණා. චිත්‍රපටයේ විස්තර කිව්වා.

ඔබ හඳගමගෙ චිත්‍රපට මිට ප්‍රථම නරඹලා තියනවාද?

නැහැ.

එසේ නම් කොහොමද ඔහුව විනිශ්චය කරගෙන මෙම චිත්‍රපටයෙහි රඟපෑවේ?

මං මගේ සිංහල යාළුවන්ගෙන් ඇහැව්වා එතුමා ගැන. ඔවුන් එක හෙලාම කියා සිටියේ ඔහු වගේ සම්මාන දිනාගත් අධ්‍යක්ෂවරයකු දුන් අවස්ථාව මඟ හරින්න එපා කියලා.

ඔබෙනුත් ඔවුන් සම්මානයක් බලාපොරොත්ත වන්නට ඇති?

අනේ මන්දා, ඒත් මං එහෙම බලාපොරොත්තුව නෙවෙයි මෙයට සම්බන්ධ වුණේ. තවත් විස්තර පවසලා යාළුවො මට පෙරැත්ත කළා ඉනියවන් හි රඟපාන්න. ඔවුන්ව විශ්වාස කරලා රඟපෑවා. දැන් මට තේරෙනව මගේ යාළුවො කොච්චර හොඳ ද කියලා.

ඉනියවන් රඟපාලා ගෙදර ආවට පසුව රංගනය ගැන ඔබට අලුත් ආකල්පයක් ඇති වුණා නේද?

නැතුව. මං සිංහල චිත්‍රපට බලලා තිබුණෙම නැති තරම්. සුන්දර හින්දි චිත්‍රපටවලටයි මං ආස. ඒවායේ ඉන්න නළු නිළියෝ හරිම ලස්සනයි. ඇඳුම් එහෙමත් හරි ප්‍රසන්නයි. ඉනියවනුත් ඒ මට්ටමට දාලා මං හිතුවා. ඒත් එතන ඊට හාත්පසින්ම වෙනස්. රංගනය කියන්නේ මොකක්ද යන්න මං ඉගෙන ගත්තේ එතැනින්. ඒ වගේම රඟපෑම සීනි බෝල කනවා වගේ කරන්න බැහැ කියලත් දැනගත්තා.

යාපනයේ රස්නය හේතුවෙන් ක්ලාන්තය හැදුනා කියන්නේ ඇත්තද?

ඔව්නේ. කයිට්ස් වෙරළෙදියි එහෙම වුණේ. රූගත කිරීමත් කල් ගියා මං හින්දා.

එතකොට අර සිය පාරක් විතර වරද්ද වරද්ද කියපු වාක්‍ය මතකද?

මං ඉපදුණේ නුවර. එහෙ කතා කරන දෙමළ සහ යාපනයේ කතා කරන දෙමළ දෙවිදිහක්. ඉතින් ඒ වාක්‍යය යාපනේ විදිහට කියනකම්ම අශෝක සර් සිය පාරක් විතර ඒ දර්ශනය ගත්තා.

වාල් වේන් ද සේන්ද වාල්වම්, ෂාවෙන් ද සේන්ද සාවන් . . . මේ එහි කොටසක්. තවත් ගොඩක් දිගයි ඒක.

සුභා වගේම ඔබත් නිවේදිකාවක්?

නේත්‍රා ටී. වී. එකේ මං ලන්ච් ටයිම් මියුසික්, සමයල් ගැලරි, නේත්‍රා ඒක්ස්ප්‍රස්, එම් 9.30 සහ කවීතා ටැලන්ට් ෂෝ යන වැඩ සටහන් කරනවා.

සුභායි මමයි එකම දවසේ නේත්‍රා ටී. වී. එකේ ඉන්ටර්වීව් ආවේ. එකටමයි චිත්‍රපට රංගනයට ආවේ. අවුරුදු හතරක් තිස්සේ ඇය මගේ හොඳම යාළුවා.

නිරා මීට කලින් වේදිකා නාට්‍යවලට දායක වෙලා තියනවා?

ඔව්. ෆෝමැට්, රියැලිටි යන නාට්‍යවලට ඉඳලා තියනවා. ෆෝමැට් නාට්‍යයේ රංගනය වෙනුවෙන් 2012 යොවුන් නාට්‍ය උළෙලේ හොඳම නිළිය මං.

සිංහල ටෙලි නාට්‍යයකට කතා කළොත් රඟපානවද?

මං ආසාවෙන් බලාගෙන ඉන්නවා ඒ ආරාධනාව ලැබෙනකම්.

මෙගා වුණත්?

ඒත් කමක් නැහැ. චරිතය හොඳ නම් රඟපානවා.

පවුලේ විස්තරත් කියමු?

තාත්තා මං පොඩි කාලෙදිම නැති වුණා. අම්මයි, අක්කයි එක්ක පුංචිලා, බාප්පලා, ලොකු අම්මලා ඉන්න එක ගෙදරක හැදුනෙ මං.

මේතාක් පැමිණි ගමනේදී කවුද ඔබට අත හිත දුන් පිරිවර? ඔවුනට තුති පුදන වෙලාවයි මේ?

පළමුව අශෝක සර්ට ස්තුති කරනවා. ඒ වගේම මාව වේදිකා නාට්‍යකට පළමුව ගත්ත තරංගා ප්‍රියදර්ශනී අක්කට, යා ටී. වී. එකේ ජානක අයියට, අමල් අල්විස්, වතීෂා යන අයව මතක් කරන ගමන් තුති පුදනවා.

අවසන් කොට ඔබ ගැන සරලව හදුන්නවා දෙමු?

හරිම සරල කෙනෙක්.

[email protected] යන විද්‍යුත් ලිපිනය ඔස්සේ නිරංජනී සමඟ අදහස් හුවමාරු කරගත හැකියි.