වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




අර්ජුන්ගෙන් අහන්න

අර්ජුන්ගෙන් අහන්න

මෙම තීරුවට තැපැල්පත් යොමුකරන විටදී ඔබේ දුරකථන අංකය පැහැදිලිව සටහන් කරන්න. එමෙන්ම පැහැදිලි අත් අකුරින් ලියා තැපැල්පත් යොමු කරන්න.

චිත්‍රපට සංස්ථා සංරක්ෂණාගාරයේ සිරිසේන විමලවීරයන්ගේ ‘අසෝකා, මා ආලය කළ තරුණිය, පොඩි පුතා, සරදියෙල්, සිරකරුවා, දුප්පතාගේ දුක’ වැනි චිත්‍රපට තිබේද?

තිලකරත්න විල්වල – කෑගල්ල

නැහැ.

දක්ෂ වේදිකා රංගන ශිල්පිනියක් වූ රත්මලී ගුණසේකර දැන් රඟපාන්නේ නැද්ද?

සරත් වික්‍රමසිංහ – අතුරුගිරිය

නැහැ. ඇය දැන් විදේශගත වෙලා.

ගෝතමී පතිරාජ රංගන ශිල්පිනිය ගැන අලුත් තොරතුරක් කියන්නකෝ?

මැණිකේ විල්වල – තටාකය පාර – කෑගල්ල

ඇය දැන් අමරිකාවේ ජීවත් වෙනවා. මෑතක ඇය ගැන තොරතුරක් ලැබුණොත් දන්වන්නම්. මේ ඔබේ ප්‍රශ්නය දුටුවොත් ඇය අපව අමතාවි යැයි විශ්වාස කරනවා.

අපි කුඩා කල චිත්‍රපටයක් නරඹන විට එම චිත්‍රපටයේ නම, රඟපාන අයගේ මුවින් කිහිප වාරයක් කියැවෙනවා. අද චිත්‍රපටවල රඟපාන අයටවත් නම මතක නැහැ. මෙහෙම ගියොත් අර්ජුන් මහත්මයා සිංහල චිත්‍රපටවලට දෙයියන්ගෙම පිහිටයි නේද?

හේවගේ සිරිල් ප්‍රනාන්දු - දෙල්පකඩවර

මට ඔය ප්‍රශ්නයට දෙන්න තියෙන්නේ වෙනස්ම උත්තරයක්. ඒ කාලේ නිර්මාණය වුණු චිත්‍රපට ප්‍රමාණය ඉතාම අඩුයි. ඒ වගේම හැමෝටම මතක හිටියා. දැන් විශාල චිත්‍රපට ප්‍රමාණයක් නිර්මාණය වෙනවා. අපි හැමදාම අතීතකාමයෙන් වෙලී සිටිනවා විනා ඒ ගැන හරියට හිතලා බලන්නේ නෑ කියන එකයි මගේ හැඟීම. ඒ කාලෙත් මෙලෝ උපන් යකෙකුට බලන්න බැරි චිත්‍රපට කීයක් තිරගත වුණාද?

සිංහල චිත්‍රපටවල හින්දි නළු නිළියෝ රඟපානවා. ඇයි හින්දි චිත්‍රපටවල සිංහල නිළියන්ට රඟපාන්න බැරිද?

ආනන්ද වික්‍රමාරච්චි - ඉහළ තල්දූව

ඇයි අනේ ජැකලයින් ෆර්ඩිනැන්ඩස් දැනටමත් හින්දි චිත්‍රපටවල රඟපාන්නේ.

විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ නියුතුව සිටියදී ‘පාර්ට් ටයිම් ජොබ්’ එකක් විදියට පුවත්පතක වැඩ කළ හැකිද?

කේසර සමරදිවාකර – අස්ගිරිය

පුවත්පතක වැඩ කිරීමට තිබිය යුතු මූලිකම සුදුසුකම වන්නේ හොඳට ලියන්නට හැකිවීමයි. ඒ වගේම කැපවීමෙන් වැඩ කරන්නත්, කාලය පිළිබඳ සිතන්නෙ නොමැතිවීමත් වැදගත්.

දෛවයෝගය චිත්‍රපටයේ මුගලන්ගේ චරිතය නිරූපණය කළ ශිල්පියා කවුද?

රේමන් ලියනගේ – මුදුන්ගොඩ

හෙක්ටර් හේවාවිතාරණ.

‘තරු මිහිර’ විශේෂාංගයට සහභාගිවීමේ සුදුසුකම හැම විටම ස්ත්‍රී පක්ෂයට ප්‍රමුඛත්වය දෙන්නේ ඇයි?

කරු මන්දාවල – නාත්තන්ඩිය

අපට මතක හැටියට ඔබත් වතාවක් සහභාගි වුණා නේද?

හඳගමට වෙන වචන නැද්ද පිංතූරවලට දාන්න. එයා අර චිත්‍රපටයට ‘ඉනියවන්’ කියලා දාලා තියෙන්නේ. සිංහල ශබ්ද කෝෂයේ එහෙම වචනයක් නැහැනේ. මෙයට පිළිතුරක් දෙන්න.

එම්. මල්ලිකා - මොනරාගල

මල්ලිකා, ඉනියවන් යනු දමිළ වචනයක්. ඒ වගේම එය දෙමළ චිත්‍රපටයක්. ඉනියවන් කියන්නේ ‘එතනින් එහාට ඔහු’ යන සිංහල තේරුමයි.

චලන චිත්‍ර සිනමා පත්‍රය මුලින්ම මුද්‍රණය කරලා පළ කළේ සෝමපාල රණවීර ද? එස්. එම්. නායගම් ද?

විමල් රණසිංහ - කොළඹ 14

එස්. එම්. නායගම්. රණවීර එහි කතුවරයායි. පසුව රණවීර ලංකා චලන චිත්‍ර නමින් පුවත්පතක් එළි දැක් වූවා.

නෙට්පැක් ජූරිය, ෆිප්රෙක්සි ජූරිය, එසේ නම් කිරීමට හේතු මොනවාද?

සුජාතා ගුණවර්ධන – කඩවත

සමහර ජාත්‍යන්තර සිනමා උළෙලයන් හි ප්‍රධාන සම්මානවලට අමතරව තවත් විවිධ අංශවලින් සම්මාන දෙනවා. නෙට්පැක් යනු දකුණු ආසියානු සිනමා සංවර්ධන අංශයයි. ෆිප්රොක්සි යනු ජාත්‍යන්තර සිනමා විචාරක සංවිධානයයි. ඒ අංශවල නියෝජිතයන් අදාල සිනමා උළෙලට සම්බන්ධ කර ගනිමින් එබඳු සම්මාන සිනමා උළෙලට ඇතුළත් වෙනවා.

සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ සෝමරත්න දිසානායකයන් චිත්‍රපටයක රඟපා තිබේද?

තිලකරත්න විල්වල – කෑගල්ල

ඔව්, මඩොල් දූව චිත්‍රපටයේ ඔහු රඟපෑවා.

රෝහණ වීරසිංහයන් ගයන ‘මුතුකුඩ ඉහළන මල් වරුසාවේ’ ගීතයේ පද රචනය කාගේද?

සරත්වික්‍රමසිංහ – අතුරුගිරිය

ලූෂන් බුලත්සිංහලයන්ගේ.

වැඩිම චිත්‍රපට සංඛ්‍යාවක් තිරගත වූ වර්ෂය නම් කරන්න. චිත්‍රපට කීය ද? පුළුවන් නම් චිත්‍රපටවල නම් පළ කරන්න.

සරත් සේනාධීර – ජාඇල – කල්එළිය

1982 වසරේදී. තිරගත වූ චිත්‍රපට ගණන 38 යි. ඒ සඳා, තණ ගිරවි, මහ ගෙදර, බඹර ගීතය, රෑ මනමාලි, සක්විති සුවය, යස ඉසිරු, බයිසිකලේ, අධිෂ්ඨාන, තනි තරුව, ආයාචනා, සුදු අයියා, පෙතිගෝමර, ඒක දිග කතාවක්, සනසන්න මා, අනුරාධා, රහසක් නැති රහසක්, ජීවිතයෙන් ජීවිතයක්, රිදී නිම්නය, ප්‍රදීපා, වතුර කරත්තය, කිරි සුවඳ, සිතාරා, හලෝ ශ්‍යාමා, සිටු දියණිය, තක්කිට තරිකිට, මිහිදුම් සිහින, මේජර් සර්, චතුමධුර, කැලෑ මල්, මලට නොඑන බඹරු, බිත්ති හතර, පාරමිතා, නැවත හමුවෙමු, මිස් මල්ලිකා, රේල් පාර, යහළු යෙහෙළි, කඩවුණු පොරොන්දුව, ඒ චිත්‍රපට 38 යි.

‘වීර විජය’ සිංහල චිත්‍රපටය කැමරාගත කර ඇත්තේ ලංකාවේද?

කේ. පී. පියසේන - රේමන් සිල්වා - බොරගොඩවත්ත

ඉන්දියාවේ සේලම් නගරයේ මොඩර්න් චිත්‍රාගාරයේ.

අමරසිරි පීරිස් ගයන හන්තානට පායන සඳ ගීතයේ පද රචකයා කවුද?

කමල් චිත්‍රසේන - මොරටුව

ධම්මික බණ්ඩාර.