වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමාවට හැට හයයි - සංස්ථාවට හතළිස් එකයි

සිනමාවට හැට හයයි - සංස්ථාවට හතළිස් එකයි

ශ්‍රී ලාංකේය සිනමාවට වසර හැට හයක් සපිරීම සහ ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ආරම්භ කොට වසර හතළිස් එකක් සපිරීම නිමිති කර ගනිමින් විශේෂ සමරු උත්සවයක් පසුගිය සඳු දින චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලා පරිශ්‍රයේදී පැවැත්විණ.

මෙහිදී අග්‍රගණ්‍ය සිනමාවේදී ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වියතාණන්ට උපහාර පිදීමක් ද සිදු විය. එමෙන්ම එතුමාණන් පිළිබඳ වාර්තා චිත්‍රපටයක් එදින තිරගත වූ අතර ඔහුගේ සිනමා දිවිය අලළා ආචාර්ය උදිත ගයාශාන් ගුණසේකර විසින් රචිත අසිරිමත් සිනමාවේදියා ග්‍රන්ථය එළිදක්වන ලදී. එමෙන්ම සිනමා ක්ෂේත්‍රයේ නියැළී සිටින පැරැණි ශිල්පීන් විසිපස් දෙනෙකුට විශ්‍රාම වැටුප් ප්‍රදානයක් ද සිදු කෙරිණ.

මෙම උළෙල අවසානයේදී ආචාර්ය ලෙස්ටර් විසින් අධ්‍යක්ෂණය කළ ගොළු හදවත චිත්‍රපටය තිරගත විය.

ආචාර්ය ලෙස්ටර් උත්සව සමාරම්භයට පහන දල්වන්න සූදානම්ව. රවීන්ද්‍ර රන්දෙණිය, චිත්‍රපට සංස්ථා සභාපති නීතිඥ අශෝක සේරසිංහ, චිත්‍ර බාලසූරිය සහ ප්‍රවීණ මාධ්‍යවේදී එඩ්වින් ආරියදාස මහාචාර්ය කාලෝ ෆොන්සේකා, ප්‍රසන්න විතානගේ, සුමිත්‍රා පීරිස් මැතිනිය යන අය ද මෙහි වෙති.

‘අසිරිමත් සිනමාවේදියා’ කෘතිය සංස්ථා සභාපතිවරයා විසින් එතුමාට පිළිගැන් වූ මොහොත.

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල

29 දා සිරිමාවෝ බණ්ඩාරනායක ශාලාවේ

රූපවාහිනී නිර්මාණ ක්ෂේත්‍රයේ විශිෂ්ට කුසලතා දක්වන ලද නිර්මාණකරුවන්ට රාජ්‍ය මට්ටමෙන් අගැයීමට ලක් කිරීම සඳහා පවත්වනු ලබන එකම සම්මාන උළෙල වන රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල අටවැනි වරටත් මෙම මස 29 වැනිදා සවස 6.00 ට සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේ පැවැත්වෙයි. මෙදින ප්‍රධාන ආරාධිත අමුත්තිය ලෙස ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිනිය සහභාගිවීමට නියමිතය.

මෙහිදී 2010 / 2011 වර්ෂවල විකාශය වූ නිර්මාණයන් සඳහා අංශ 42 ක් යටතේ සම්මාන පිරිනමනු ඇත. ඊට අමතරව රූපවාහිනී ක්ෂේත්‍රය පිළිබඳව ලිය වී ඇති ශාස්ත්‍රීය ග්‍රන්ථය සහ රූපවාහිනිය මඟින් විකාශය නොවූ ආධුනික නිර්මාණකරුවන්ගේ නිර්මාණ අගය කිරීම සඳහා හොඳම රූපවාහිනී කෙටි චිත්‍රපටය සඳහා ස්වර්ණ, රජත සහ ලෝකඩ පදක්කම් තුනක් පිරිනැමීම ද සිදු කෙරේ.

මෙදින රූපවාහිනී ක්ෂේත්‍රයට කරන ලද විශිෂ්ට සේවාව උදෙසා ප්‍රවීණ කලාකරුවෙක් ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත අතර රූපවාහිනී මාධ්‍ය කලාව පිළිබඳව ප්‍රවීණ ලේඛකයන් රැසකගේ ලිපි ඇතුළත් ‘රූපවාහිනී සමීක්ෂා’ ශාස්ත්‍රීය ලිපි සංග්‍රහයේ හයවැනි කළාපය නිකුත් කෙරේ.

රූපවාහිනී රාජ්‍ය සම්මාන උළෙල සංස්කෘතික හා කලා කටයුතු දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මඟින් සංවිධානය කරයි.

ඉන්දීය ජායිපූර් සිනමා උළෙලේ ශිෂ්‍ය ජූරියට නීටා යයි

අද සිට ඇරැඹෙන ඉන්දීය ජායිපූර් සිනමා උළෙලේ ශිෂ්‍ය අංශයේ ජූරි සභිකයකු ලෙස ක්‍රියා කිරීමට නීටා ප්‍රනාන්දු පසුගියදා පිටත්ව ගියාය.

එමෙන්ම ඇය නිෂ්පාදනය කළ ස්වර චිත්‍රපටය ද එම උළෙලේ තරගකාරී අංශයට තේරී පත්ව තිබීම විශේෂත්වයකි.

නීටා වරක් සිංගප්පූර් අන්තර් ජාතික චිත්‍රපට උළෙලේ හොඳම නිළිය වශයෙන්ද පිදුම් ලැබීය.

රටවල් දෙකේ එකමුතුවෙන් ට්‍රැවල් ටු රෝම් නිපදවේ

ඩිෂාන් ලෝව් අධ්‍යක්ෂණය කරයි

ඉතාලියත් මෙරටත් අතර ඇති සිනමාත්මක සබඳතා අලුත්කර ගනිමින් ඉතාලි ජාතික නිෂ්පාදකවරුන් දෙපොළක් වන පියෙතො ඉනුවෙන්ති, අංජලෝ අබාතෙ අප රංගන ශිල්පීන් යොදා ට්‍රැවල් ටු රෝම් නමින් චිත්‍රපටයක් නිර්මාණය කිරීමට සූදානම් වෙති. එය අධ්‍යක්ෂණය කරනු ලබන්නේ ඉතාලියේ වෙසෙන ශ්‍රී ලාංකිකයකු වන ඩිෂාන් ලෝව් විසිනි.

වැලැන්තිනා ඉනුවෙන්ති සමඟ සාරංග මෙන්ඩිස්ගේ තිර රචනයයි. මෙය ජානි ලෙයන්තෙ කැමරාව මෙහෙයවයි.

ලකී ඩයස්, රෙක්ස් කොඩිප්පිලි, ශ්‍රියන්ත මෙන්ඩිස්, පාලිත සිල්වා, වීණා ජයකොඩි, සබීතා පෙරේරා, කලණ ගුණසේකර, සම්පත් ජයවීර, ගාමිණී ජයලත්, නිරෝෂන් විජේසිංහ, සෝමවීර ගමගේ, ශේෂාද්‍රි ප්‍රියසාද්, ඩිනක්ෂි ප්‍රියසාද්, ශිරෝමිකා ප්‍රනාන්දු, ඉන්දිකා සුබසිංහ, අශිකා මතසිංහ, කුමාර තිරිමාදුර, සහන් රන්වල, සුනෙත් මැල්සිරිපුර, නිමන්ත වර්ණකුලසූරිය සමඟ වතික රවිනාත් මෙහි රඟපෑම සඳහා දැනට තෝරා ගෙන ඇත.

නිෂ්පාදන සම්බන්ධීකරණය සාරංග මෙන්ඩිස් සහ චාමිකා මෙන්ඩිස්ගෙනි. රංගන ශිල්පී සම්බන්ධීකරණය නිමන්ත වර්ණකුලසූරියගෙනි.

සේයාරුව – අමිත් එස්. සේනාරත්න

කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ට්‍රැවල් ටු රෝම් මුහුරත් උළෙලෙහි ප්‍රධාන මේසයෙහි අධ්‍යක්ෂ ඩිෂාන්, පියෙත්‍රෝ, ආන්ජලෝ නිෂ්පාදකවරුන් ජානි, වැලැන්තිනා සහ සාරංග

අසුන්ගෙන සිටි අයුරුයි මේ.

සිනමා ශිල්පීන්ගේ මහ සභා රැස්වීම 25 දා

දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානයේ 2013 වසරේ පළමු මහ සභා රැස්වීම ජනවාරි 25 වැනි සිකුරාදා සවස 4.00 ට කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ බස්නාහිර පළාත් සභා සෞන්දර්ය කලා නිකේතනයේදී (ග්‍රහ ලෝකාගාරය අසල) පැවැත්වෙයි.

සිනමා කර්මාන්තයේ නියැලෙන අධ්‍යක්ෂවරුන්, නළු නිළියන්, කාර්මික ශිල්පීන් යන සියලුම දෙනාට මේ සඳහා සහභාගී වන මෙන් එහි ලේකම් එරංග සේනාරත්න ආරාධනා කරනු ලබයි.

මාරම්බරී පුත්තලමේදී

විශාරද එඩ්වඩ් ජයකොඩිගේ ඒක පුද්ගල ගී ප්‍රසංගය මාරම්බරී මෙම මස 29 වැනිදා සවස පුත්තලම නගර ශාලාවේදී පැවැත්වේ.