වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




රිදී රැයක් ඩී. වී. ඩී. තැටිය 29 දා එළි දකී

රිදී රැයක් ඩී. වී. ඩී. තැටිය 29 දා එළි දකී

පසුගියදා නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ පැවැති දසවැනි රිදී රැයක් ප්‍රසංගයේ ඩී. වී. ඩී. තැටිය මෙම මස 29 වැනිදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි බී. සී. අයි. එස්. ශ්‍රවණාගාරයේදී එළි දැක්වේ. එයින් ලැබෙන ආදායම සිනමාකරුවන්ගේ අභිවෘද්ධියට හා සත්කාරක සේවා මැනවින් පවත්වා ගෙන යාමට යොදා ගැනේ. එය සංවිධානය කරනුයේ සිනෙස්ටාර් පදනමයි. මේ වන විටත් රිදී රැයක් පියෝ ටී. වී. ඔස්සේ නැරැඹීමට ප්‍රේක්ෂකයන්ට හැකියාව ලැබී ඇත.


අභිනික්මන් අත්තනගල්ලේ

නිශාන්ත රත්නායකගේ අභිනික්මන වේදිකා නාට්‍යයෙහි මංගල දැක්ම මෙම මස 27 වැනිදා එනම් එන ඉරිදා අත්තනගල්ල හග්ගල්ල ශ්‍රීී නාගවනාරාම විහාරස්ථානයේ ශාලාවේදී වේදිකා ගතවේ.

නිශාන්ත රත්නායක, නිමල් උඩවත්ත, රෝහිණී පුෂ්පලතා, කීර්ති පීරිස්, උදය සේනාධීර, ඉන්ද්‍රාණි සේනාරත්න සහ ඕෂධී කුමාරි ආදීහු චරිත මවති.

මෙමගින් ලැබෙන සියලු ආධාර එම විහාරයේ අභිනව ධර්ම ශාලාවේ වැඩ කටයුතු සඳහා බැර කෙරේ.


‘සුබ සහ යස’ අද පන්නල පුරහලේදී

සයිමන් නවගත්තේගම නාට්‍ය නිර්මාණ ‘සුබ සහ යස’ අද පන්නල පුරහලේදී වේදිකා ගතකෙරේ. ශි‍්‍රයන්ත මෙන්ඩිස්, කුසුම්රේණු, වසන්ත විච්ටච්චි, නිහාල් ප්‍රනාන්දු, කුමාර තිරිමාදුර, තාරුකී අමායා මෙන්ඩිස් රංගනයෙන් දායක වෙති. පන්නල ආදි ශිෂ්‍ය සහෝදරත්ව පදනම මෙය ඉදිරිපත් කරයි. මෙහි නව අධ්‍යක්ෂණය ශි‍්‍රයන්ත මෙන්ඩිස් ගෙනි.


හරේන්ද්‍රගෙන් පොත් දෙකයි වෙබ් අඩවියයි

ස්වර්ණවාහිනියේ ප්‍රවෘත්ති හරහා ඔබ හමු වූ හරින්ද්‍ර ජයලාල් කට හදන පොත හෙවත් නූතන සකස්කට සහ දන්න සිංහලෙන් ධම්ම පදය නමින් රචනා කරන ලද පොත් යුගලක් මෙම මස 28 වැනිදා සවස 3.00 ට කොළඹ 05 සම්බුද්ධත්ව ජයන්ති මන්දිර රුහණු ශ්‍රවණාගාරයේදී එළිදකියි. මෙයට සමගාමීව හරේන්ද්‍රගේ සියලු විස්තර ඇතුළත් www.harindrajayalal.com යන වෙබ් අඩවිය ද එදිනම අන්තර් ජාලයට මුදා හරිනු ඇත. මෙයට අමතරව ඔහුගේ බෙස්ට් වොයිස් මාධ්‍ය ඇකඩමියේ දෙවන සහ තෙවන කණ්ඩායම්වල සිසු සිසුවියන්ට සහතික පත්‍ර ප්‍රධානය ද සිදු කෙරේ.


ජොනෙත් යළි ඇරැඹෙයි

දශක හතරකට ආසන්න කාලයක් ගී පටිගත කිරීමේ ක්ෂේත්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ජොනෙත් ශබ්දාගාරය නව පහසුකම් යටතේ බොරැල්ලේ කිංසි පාරේ අංක 45 දරණ ස්ථානයේදී නැවතත් විවෘත විය. මහේෂ් ජයවර්ධන එහි වර්තමාන ශබ්ද පරිපාලකවරයා ලෙස කටයුතු කරයි.


ගාමිණී විජිත් රචිත මොනරවිල 29 දා දොරට වඩී

1818 කැරැල්ල අලළා ලියවුණු අලුත්ම නවනතාව වන ‘මොනරවිල’ මෙම මස 29 අඟහරුවාදා උදෑසන 10.00 ට කොළම මරදානේ පූජ්‍ය එස්. මහින්ද හිමි මාවතේ දයාවංශ ජයකොඩි සහ සමාගමේ පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩියි. එය ගාමිණී විජිත් සමරකෝන් රචනා කරන ලද්දකි.


Hansel and Gretel : Witch Hunters

සැවෝයි-ලිබර්ටි ලයිට් සිනමාහල්වල තිරගත වේ

ත්‍රාසජනක සිදුවීම් පෙළක් රැගත් ‘හැන්සෙල් ඇන්ඩ් ග්‍රෙට්ල් : විච් හන්ටර්ස්’ නවතම හොලිවුඩ් ක්‍රියාදාම චිත්‍රපටය හෙට (25) සිට සැවෝයි සහ ලිබර්ටි ලයිට් සිනමාහල්වලදීී තිරගතවීමට නියමිතය.

ටොමී වීර්කෝලා විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටය වෙනුවෙන් ඩොලර් මිලියන 60 ක මුදලක් වැය කර තිිබේ. ජෙරම් රෙනර්, ගැමා ආටර්ෂන්, ෆේම්ක් ජෙන්සන්, පීටර් ස්ටෝටර් හැන්සල් ඇන්ඩ් ග්‍රේට්ල් : විච් හන්ටර්ස් හි ප්‍රධාන චරිත නිරූපණය කරති.


 

ග්‍රෙගරි යුවළ 40 සමරයි

සරසවිය සුබපැතුම්!

විවාහය මනුෂ්‍යයකුගේ ජීවිතයේ සුවිශේෂී කඩඉමක්. විවාහ දිවියට එළැඹෙන දෙදෙනකුට එම ජීවිතය සාර්ථකව සතුටින් ගත කරන්නට ලැබීම වාසනාවක්. චිත්‍රපට අධ්‍යක්ෂ ඇන්ටන් ග්‍රෙගරි මහතා සිය සාර්ථක විවාහ දිවියේ සුවිශේෂී සන්ධිස්ථානයකට පැමිණීමේ ප්‍රීතිය සමරන්නට සූදානම්. එනම් ලබන ජනවාරි 30 වැනිදාට ග්‍රෙගරි මහතා සිය බිරිඳ ත්‍රීසා සමඟ විවාහ දිවියට එළැඹ 40 වැනි වසර සපුරනවා. ග්‍රෙගරි යුවළට සරසවියේ උණුසුම් සුබපැතුම්.


මියැසි ගී දහරා 2013 ලුම්බිණි රඟහලේ

ජනප්‍රිය ගායක ගායිකාවන්ගේ ගීත රැසකින් ගීතවත් වන ‘මියැසි ගී දහරා 2013’ ප්‍රසංගය ලබන 28 වැනිදා කොළඹ ලුම්බිණි රඟහලේදී පැවැත්වේ. පුන්සිරි සොයිසා, අසංග ප්‍රියමන්ත පීරිස්, ධනපාල උඩවත්ත, රූපා ඉන්දුමතී, මයිකල් පෙරේරා, ටෙරාන් නානායක්කාර, වජිර එදිරිමාන්න, තුෂාර සුබසිංහ යන ගායක ගායිකාවන් මෙම අවස්ථාවට සහභාගී වෙති.


නාට්‍ය හා රංග කලා සිසුන්ට වේදිකා නාට්‍ය වැඩමුළුවක්

නාට්‍ය හා රංග කලාව විෂය හදාරන පාසල් සිසු දරුවන් වෙනුවෙන් නොමිලේ ප්‍රායෝගික නාට්‍ය වැඩමුළුවක් මේ මස 25 වැනි දින පෙ. ව. 11.30 ට හා සවස 6.30 ට කඹුරුපිටිය උපාලි විජේවර්ධන රංග ශාලාවේදී පැවැත්වේ.

මෙය වේදිකා නාට්‍ය නිෂ්පාදනය, රංගනය, රචනය, වේශ නිරූපණය, සංගීතය හා රංගාලෝකය මූලික කරගත් වැඩමුළුවකි.

නාට්‍ය වැඩමුළු අවසානයේදී යෞවන සම්මාන හා රාජ්‍ය සම්මානයට පාත්‍ර වූ ආලෝක සම්පත්ගේ ‘තනියෙන් විශිෂ්ටයි’, ලසන්ත ෆ‍්‍රැන්සිස්ගේ ‘කෝච්චිය එනකං’, නුවන් දර්ශනගේ ‘ඩයිනෝසර් ප්‍රේමය’ මෙහිදී වේදිකා ගතවන කෙටි නාට්‍ය වේ. සංවිධානය නාරංදෙණිය මහ විදුහලේ නාට්‍ය සංසදය විසිනි.


කලා පොළ 26 - 27 නෙළුම් පොකුණ මාවතේ

ජෝර්ජ් කිට් පදනම මඟින් විසිවැනි වරටත් සංවිධානය කරනු ලබන කලා පොළ වාර්ෂික කලා ප්‍රදර්ශනය මෙම මස 26 සහ 27 යන දිනයන්හි කොළඹ නෙළුම් පොකුණ මාවතේදී පැවැත්වේ.

පළමු දිනයේ උදෑසන ශ්‍රී ලංකාවේ හා මාල දවයිනේ ප්‍රංශ තානාපති ක්‍රිස්ටීන් රොබිෂෝන් මැතිනිය අතින් විවෘත වන මෙය දෙදින පුරා උදෑසන 8.00 – රාත්‍රී 9 තෙක් විවෘතව පවතියි.

මෙවර කලා පොළෙහි සුවිශේෂී අංගයන් සහ එහි වේලාවන් මෙසේය.

කලා වෙන්දේසිය – 26 දා උදෑසන 10.30 – 12.00 දක්වා.

කලාව පිළිබඳ දේශන මාලාව එදිනම සවස 2.00 – 6.00 දක්වා

ළමුන් වෙනුවෙන් වැඩමුළුව එදින රාත්‍රී 7.00 – 9.00 දක්වා

තුන්සීයකට අධික නිර්මාණකරුවන්ගේ නිර්මාණයන් විසි වැනි කලා පොළ කලා ප්‍රදර්ශනයේදී ඉදිරිපත් වනු ඇත.