වර්ෂ 2013 ක්වූ ජනවාරි 17 වැනිදා බ්‍රහස්පතින්දා




තරු මිහිරට ඇවිත් ‘ධනා’ සියලුම සිත් ගියා පිනා

තරු මිහිරට ඇවිත් ‘ධනා’ සියලුම සිත් ගියා පිනා

සිරි දෙව් දුව වෙනුවට සිරියාව පතුරන පුතෙකුගේ පැමිණීම අපේක්ෂාවෙන් සිටින පිරිසකි. මේ පිරිස දෑස් දල්වාගෙන සිටින්නේ මේ සිරියාවන්ත, හැඩකාර, කටකාරයාගේ ආගමනය සිදුවන තුරුයි.

ක්‍රම ක්‍රමයෙන් වේලාව ගත වුණත් මේ පිරිසගේ සිතේ ඇති තිගැස්ම නම් නවතින හැඩක් නැත. ඒ තමන් හදවතින්ම ආදරය කරන සිරියාවන්තයාගේ පැමිණීම සිදුවන තුරුයි.

‘හැමෝටම ආයු බොහෝ වේවා. ඔන්න මම විනාඩි කිහිපයක් පරක්කුª වුණත් ඔයාලට වුණු පොරොන්දුව ඉටු කරන්න ආවා.’

ධනංජය සිරිවර්ධන සිරියාව කැන්දමින් සරසවිය පාඨකයන් අතරට පැමිණියේ එසේ සුබාශිංශන ද එක්කරමින්.

‘අනේ ඉස්සරවෙලාම ඔයාලව හඳුනා ගමුකෝ.’ ඒ ධනංජයගේ ඉල්ලීමයි.

මම කාවින්ද කල්එළිය ඉඳන් ආවේ.

මම අනූෂා සීදූවේ ඉඳන් අවේ.

මම දම්මිකා පානදුර ඉඳන් අවේ.

එතකොට මේ කවුද?

ආ . . . ඒ අපෙත් එක්ක ආපු අපේ ඥාතීන්නේ. දම්මි කටකාර ලෙස පැවසුවා.

එතකොට තුන්දෙනයිනේ ඉන්නේ?

නැහැ ඉරෝමියි එයාගේ මහත්තයායි මග එනවලු. එයාලා මාතලේ ඉඳන්නේ එන්නේ’ දම්මි කටකාර ලෙස පැවසුවා.

හා . . . එහෙනම් ඉරෝමි එනකන් අපි කතා කරමු.

අයියේ ඔයාගේ පළමු නාට්‍යය මොකක්ද?

මීට වසර දහයකට විතර පෙර ‘නේත්‍රාංජලී’ ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඒක තමයි මගේ ප්‍රථම ටෙලි නාට්‍ය. එතකොට මම පාසලෙන් අයින් වුණා විතරයි.

ඔයාගේ පාසල මොකක්ද? ඒ නිහඬව සිටි කාවින්දගේ ප්‍රශ්නයයි.

කොළඹ ආනන්ද විද්‍යාලය.

ඔයාගේ පවුලේ හැමෝම සංගීතය හා සම්බන්ධයි. පියා සුනිල් සිරිවර්ධන. අම්මා සුසිරි. ඒ වගේම අයියා මධු. ඇයි ඔයා ගායනයට යොමුවෙන් නැත්තේ? මෙතෙක් වේලා සිතේ සිර කරගෙන සිටි පැනය දම්මිගෙන් එළියට පැමිණියා.

මට රඟපාන්න පුළුවන්. හැබැයි ගීත ගායනා කරන්න නම් බැහැ. මම කවදාවත් ප්‍රසිද්ධ මාධ්‍යයක් ඉදිරියේ ගීත ගායනා කරලත් නැහැ. ඉදිරියට කරන්නෙත් නැහැ. ඊට හේතුව තමයි මට ගීත ගායනා කරන්න බැහැ. බැරි දේවල් කරන්න ගිහිල්ලා මගේ රසික රසිකාවන් ඉදිරියේ හාස්‍යයට ලක්වෙන්න කැමැති නැහැ. හැමෝටම හැම දේම කරන්න කියලා නියමයක් නැහැනේ.

එතකොට නිවේදන කලාව? නැවතත් පැනයක්.

මම ප්‍රසිද්ධ නිවේදකයකු ලෙස කලඑළි බැස්සේ ‘ශ්‍රී ලංකන් ලයිෆ්’ හරහා. ඒ දේ මට හැකියි කියලා හිතෙනවා. ඒක නෙමේ මම මේ බලාගෙන හිටියේ ධම්මි ඔබව මට හොඳට හුරුයි. දැකලා පුරුදු ගතියකුත් තියෙනවා.

ඔව්, හැබැයි ධනංජය ඔයාටත් වඩා ඔයාගේ අයියට නම් මාව සුවිශේෂයි. හරි මම කවුද කියලා යන්න පෙර කියන්නම්.

දම්මි එසේ කියන විට හැමෝටම කුතුහලයක් ඇති වුණා. නමුත් සරසවිය කර්තෘ මාණ්ඩලිකයන් නම් එහි රහස ඒ වන විටත් දැනගෙන සිටියා.

හරි එහෙනම් මම යන්න ඉස්සර වෙලා ඒ රහස කියන්න ඕනෑ , ඒ ධනංජයගේ ඉල්ලීමයි.

අයියේ ඔයාට පෙම්වතියක් නැතිද? ඇයි බඳීන්නේ නැත්තේ. ඔයා ආදරේ කරනවද දැන්? එක හුස්මට කාවින්දගෙන් ප්‍රශ්න වැලක්.

මම පෙම්වතියකට ආදරේ නොකළා කිව්වොත් බොරුකාරයෙක් වෙනවා. ඒ වගේ ආදරයක් තිබුණා. ඒත් දැන් නැහැ. මගේ ජීවිතේ අරමුණු ඉටු කරගෙන නැවත ආදරයක් ගැන කල්පනා කරනවා. එක අතකට මගේ රසික රසිකාවන්ගේ ආදරේ මට නොඅඩුව ලැබෙන නිසා පෙම්වතියකගේ ආදරේ නැති එක මට දැනෙන්නේ නැහැ.

මෙවර සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා ලෙස සම්මාන ගත්තානේ. ඒ ගැන මොකද හිතෙන්නේ?

දම්මිගෙන් නැවත ප්‍රශ්නයක්.

මම මනාප 43000 ක් ලබා දුන්නේ ඔයාලා වගේ රසික රසිකාවන්. ඇත්තටම ඒ ඔයාලගේ ආදරේ නිසා තමා මට සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා වුණේ.

ඔයා කැමැති හොඳම නළුවටද? ජනප්‍රියම නළුවටද? නැවතත් කාවින්දගෙන් ප්‍රශ්නයක්.

මම හොඳම නළුවා විදියටත්, ජනප්‍රියම නළුවා විදියටත් සම්මාන ලබල තියෙන නිසා ඒ දෙකම එක සේ වැදගත්.

කතාව මෙසේ ඉදිරියට ඇදී යන විටම සරසවිය ඡායාරූපාගාරයට දෙදෙනකු ඇතුළු වූවා. ඒ මාතලේ සිට පැමිණි ඉරෝමි සහ ඇගේ සැමියා සමන්.

ධනංජය අපිට හරි අකරතැබ්බයක් වුණේ. අපේ දුවත් ඔයාව බලන්න එන්න ඕනේ කිව්වා. එයත් ආවා. යක්කල හරියට එනකොට එයාට හොඳට අසනීප වුණා. ගම්පහ අපේ ඥාති නිවෙසක නවත්තලා ආවේ. ඒකයි ටිකක් පරක්කු වුණේ. මේ මගේ මහත්තයා සමන්. එයා තමයි මටත් වඩා ඔයා රඟපාන ටෙලි නාට්‍ය බලන්නේ.

‘එහෙනම් අපි සරසවිය ගානේ දෙන කේක් එක කපමු’ එසේ කියූ ධනංජය සැවොම එක්කරගෙන කේක් කපා හැමෝටම සංග්‍රහ කලා. ‘ ඉරෝමි මේ කේක් කෑල්ල දෝණිට ගිහින් දෙන්න’ යැයි ඉරෝමිගේ දියණියටත් කේක් කෑල්ලක් ලබා දුන්නා.

ඔයාල නම් ගොඩක් කතා කරන්න ඇති. ධනංජය ඔයා නළුවෙකු නොවුණා නම් මොකද කරන්නේ?

අනිවාර්යෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වේවි. අපේ සරසවියේ මිතුරෝ නම් දන්නවා අපේ ක්‍රිකට් ගැහිල්ල ගැන.

ඔයා මේ දවස්වල රඟපාන ගුරුවරයාගේ චරිතය හරිම ලස්සනයි. ඒ ඉරෝමිගේ සැමියා සමන්ගෙන් පැනයක්.

ඔය කොයි ගුරුවරයා ද? මේ දවස්වල මම රඟපාපු ගුරු චරිත දෙකක් තියෙනවා. එකක් පිපෙන මල් ටෙලි නාට්‍යයේ හොඳ ගුරුවරයා. අනික සංසාර සක්මනේ නරක ගුරුවරයා.

පිපෙන මල් හි ගුරුවරයා. ඒ උත්තරය සමන්ගෙන්.

ඔයා රඟපාලා නැති රඟපාන්න කැමැති චරිතයක් තියෙනවද? ධම්මිගෙන් නැවත ප්‍රශ්නයක්.

මම මේ රටේ ප්‍රසිද්ධ හාමුදුරු නමකගේ චරිතයක් රඟපාන්න කැමැතියි.

ඔයාගේ රසික රසිකවෝ ගැන මොනවද හිතෙන්නේ, අනුෂාගෙන් පැනයක්.

මට විවිධ තරාතිරමේ රසික රසිකාවෝ සිටිනවා. මාළු විකුණන අය, ගොවියෝ, වෛද්‍යවරු, නීතිඥයන් මේ වගේ විවිධ අය. මේ හැමෝම රසික රසිකාවෝ විදියට මට එකයි. මේ හැමෝම තරාතිරමකින් තොරව මම ආදරය කරන මට ආදරය කරන රසික රසිකාවෝ.

ඔයා අහංකාරයිද? කාවින්ද විමසුවා.

අනේ මම අහංකාර වෙලා මොනව ගන්නද?

විවිධ කතා හා විහිළු තහළු මැද ක්‍රම ක්‍රමයෙන් කාලය ගෙවී ගියා.

‘තරු මිහිර’ තෑගි අනුග්‍රහකයා වන ලක් සළුසල වෙතින් පිදෙන තෑගි වවුචර් වෙනදා වගේම මෙවර කලා තරුව වූ ධනංජය අතින් ප්‍රේක්ෂකයන්ට බෙදා දුන්නා. එහිදී ලක් සළුසල මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරිනී රෝමා රෝසි ;මන්ම ශ්‍යාමෙන්, ජනක ඇතුළු සළුසල හිතවතුන් මතක් කරන්නට ධනංජය අමතක කළේ නැහැ.

ධනංජය ගෙනා ඔහුගේ ඡායාරූප කිහිපයක් පැමිණි පිරිසට බෙදා දුන්නා. ඒ අතරේ අනූෂා, කාවින්ද, දම්මි ගෙනා තැගී ද ධනංජයට ලබා දුන්නේ හද පිරි සතුටින්.

ඒක නෙමේ දම්මි දැන්වත් ඔයා කවුද කියනවද?

ඔයාගේ අයියට ‘සිත් සිත්’ ගීතය ලියපු හේමසිරි හල්පිට මගේ මහත්තයා. මම ධම්මි හල්පිට. කියමින් ධනංජයට රහස එළි කළා.

මේ කතාව අහපු ධනංජය මඳකට ඇසිපිය නොහෙලා දම්මි දෙස බලා සිටියා.

කලා රස මවමින් ගලා ගිය සුන්දර හෝරා කිහිපයක නිමාව දකින මොහොතේ ඔවුනොවුන් සමුගත්තේ සදා නොමැකෙන මතක සටහන් තම සිත් හි සඟවා ගනිමින්.