වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50

මුල්ම ජේම්ස් බොන්ඩ් චිත්‍රපටය තිරගත වී මේ වසරට වසර 50

මුන්රේකර් ලෝහතහඩු ටොන් 100 ක දර්ශන තලයක්

ලන්ඩනය වෙත පියාසර කරන අධිවේගී පෞද්ගලික ජෙට් යානයක සුඛෝපභෝගී මැදිරියක් තුළ සුරූපී ගුවන් සේවිකාවක් සමඟ විවේක සුවයෙන් ගත කරන සුවිශේෂී පුද්ගලයෙකි. සූක්ෂම ලෙස ඔහුගේ ගිනි අවිය සොරා ගන්නා ඇය මොහොතකින් එය ඔහුට එල්ල කරමින් තෙවැනනකුට මැදිරිය තුළට ඒමට ඉඩ සලසයි.

පැරෂූටයක් පැලඳගෙන ගිනි අවියක් ද මානාගෙන පැමිණි ඔහු තරුණියට ද පැරෂූටයක් ලබා දෙයි. ලද අවසරයකින් අනෙකා එල්ල කළ පා පහරින් ඔහු අත වූ ගිනි අවිය පසෙකට විසි වී යන අතර දෙදෙනා අතර දරුණු සටනක් ඇවිලෙයි. සුළු පමාවකින් යානයේ දොර විවර වී දෙදෙනාම එක පොදියට ගුවනට විසි වෙයි.

අසීමිත වේගයකින් පොළවට ඇද වැටෙද්දී ගුවනේ කෙරෙන දරුණු සටනක අවසානයේ පැරෂුට්කරුගේ පැරෂූටය ගලවාගෙන එය පැලඳ ගැනීමට අනෙකා සමත් වෙයි. ගොදුර දඩයක්කරු බවට පත්වෙද්දී අනෙකා නිදැල්ලේ මරණය සොයා මහ පොළොව දෙසට ඇදී යයි. එහෙත් සටන එතෙකින් නිමා නොවේ.

දිළිසෙන වානේ දත් සහිත මුව අයාගෙන ගුවනේ සිට ඔහු මත කඩා පනිනා දැවැන්තයකු ඔහුගේ කකුලක් ඩැහැ ගනී. ජේම්ස් බොන්ඩ් සහ ‘ජෝස්’ ගේ ප්‍රථම හමුවීම සිදුවන්නේ එලෙසටයි. ගුවනේදී ඇරඹෙන සටන මිහිමත දී පමණක් නොව ඈත අභ්‍යවකාශය දක්වා ද ඇදී යන අතර සටනේ අවසානය කෙසේ සිදු වන්නේ ද යන්න විසඳෙන්නේ ‘මුන්රේකර්’ චිත්‍රපටය තිරගතවීමෙන් අනතුරුවයි. ‘මුන්රේකර්’ කතාව ගෙතී ඇත්තේ හියුගෝ ඩ්‍රැක්ස් නමැති පුද්ගලයකුගේ සමාජ විරෝධී අත්තනෝමතික ක්‍රියාදාමයක් වටාය.

ඔහු බ්‍රිතාන්‍යය සතු ‘මුන්රේකර්’ නම් අජටාකාශ ෂටලයක් පැහැර ගනී. ඔහු පෘථිවිය වටා කක්ෂයක සඟවා ඇති අජටාකාශ මධ්‍යස්ථානයක් තුළ ජාන තාක්ෂණය උපයෝගි කර ගනිමින් මිනිස් පරපුරක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරයි. මධ්‍යස්ථානය තුළ නිපදවෙන විෂ රසායනයක් පෘථිවියට එවා මිහිපිට සියලු මනුෂ්‍ය වර්ගයා සමූලඝාතනය කොට කලක් ගත වූ පසු ජාන තාක්ෂණයෙන් නිර්මාණය කළ ගැහැනු, පිරිමින් මඟින් මිහිමත නව ප්‍රජාවක් ස්ථාපිත කොට තමා එහි පාලකයා වීම ඩ්‍රැක්ස් ගේ උමතු අරමුණ වෙයි.

මෙහිදී ඔහුගේ ආරක්ෂකයා වන්නේ අයිකිඩෝ සටන් ශිල්පියකු වූ චැන්ග් නැමැත්තෙකි. වානේ දත් ඇති ‘ජෝස්’ ද ඔවුන්ගේ කඳවුරේ වෙයි. ඔවුන් හට පැවරෙන ප්‍රධාන කටයුත්ත වන්නේ සිය ව්‍යාපෘතියට එරෙහිව එය විනාශ කිරීමට පැමිණෙන බ්‍රිතාන්‍ය රහස් නියෝජිත ජේම්ස් බොන්ඩ් සහ සී. අයි. ඒ. නියෝජිතවරිය වන හෝලි ගුඩ්හෙඩ් ඝාතනය කිරීමයි.

මෙහෙයුම අතරතුරදී තම ජීවිතය බේරා දුන් බොන්ඩ් සමඟ එක්ව කටයුතු කිරීමට හෝලි ගුඩ්හෙඩ් එකඟ වෙයි.

පැහැර ගත් ‘මුන්රේකර්’ ෂටලය සඟවා ඇත්තේ ඩ්‍රැක්ස්ගේ අජටාකාශ නැවතුම්පොළේ බව ඔවුන් දැන ගනී. ඒ අනුව එය මුදා ගැනීමත්, ඩ්‍රැක්ස්ගේ අජටාකාශ තිප්පොළ විනාශ කර දැමීමත් බොන්ඩ් සහ හෝලිගේ අභිප්‍රාය වෙයි. ඩ්‍රැක්ස් ගේ සැලසුම් ව්‍යාප්ත වී ඇති කැලිෆෝනියාව, වැනීසිය, බ්‍රසීලය හා ඇමසන් වනාන්තරය හරහා අජටාකාශය දක්වා ගමන් නොකොට මෙම හපන්කම කිරීම උගහටය. ඔවුන් දෙදෙනා මෙම අභියෝගය ජය ගන්නේ කෙසේද?

‘මුන්රේකර්’ ජේම්ස් බොන්ඩ් සිනමාවලියේ එකොළොස් වැන්න වන අතර රොජර් මුවර් බොන්ඩ් ලෙස පෙනී සිටින සිව්වැනි චිත්‍රපටයයි. එය අධ්‍යක්ෂක ලුවිස් ගිල්බට් ගේ තුන්වැනි සහ අවසාන චිත්‍රපටය ද වෙයි. වර්ෂ 1954 දී ඉයන් ෆ්ලෙමින් විසින් රචිත නවකතාව පාදක කොටගෙන තිර නාටකය රචනා කරන ලද්දේ ක්‍රිස්ටෝපර් වුඩ් විසිනි.

‘ද ස්පයි හූ ලව්ඩ් මී’ චිත්‍රපටයේ ප්‍රධාන නිළි චරිතය සඳහා තෝරාගෙන සිටියදී බාබරා බැච් ගේ හදිසි පැමිණීම නිසා එම අවස්ථාව අහිමි වී ගිය ලොයිස් චයිල්ස් නම් අමෙරිකානු රූමතිය මෙහි ප්‍රධාන නිළිය විය.

සී. අයි. ඒ. රහස් නියෝජිත විද්‍යාඥ හෝලි ගුඩ්හෙඩ් ගේ චරිතය නිරූපණය කළේ ඇය විසිනි. හියුගෝ ඩ්‍රැක්ස් හෙවත් බොන්ඩ් ගේ ප්‍රධාන ප්‍රතිවාදියා වූයේ මයිකල් ලෝන්ස්ඩේල් නම් ප්‍රංශ ජාතික නළුවෙකි.

ඔහුගේ ආරක්ෂකයා වන චැන්ග් ගේ චරිතය රඟපෑවේ ටොෂිරෝ සුගා විසිනි. ඔහු චිත්‍රපටයේ විධායක නිෂ්පාදක මයිකල් ජේ විල්සන් ගේ සටන් ගුරුවරයා වන ජපන් අයිකිඩෝ සටන් උපදේශකවරයෙකි. වානේ දත් ඇති ‘ජෝස්’ රිචඩ් කීල් ද ඔහුගේ සහාය සඳහා විය. ඩ්‍රැක්ස් ගේ පුද්ගලික ගුවන් නියමුවරිය වන කොරින් ඩුෆෝ ලෙස රඟපෑවේ කොරින් ක්ලරිය.

ඉතිරි කොටස ලබන සතියේ