වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




ලන්ඩන් උළෙලට රවී යයි

ලන්ඩන් උළෙලට රවී යයි

මෙවර ලන්ඩන් සිනමා උළෙල ඇරැඹියේ දීපා මෙහ්තාගේ මිඩ්නයිට් චිල්ඩ්රන් චිත්‍රපටය තිරගතවීමත් සමඟිනි. එහි විශේෂ ආරාධිතයකු වශයෙන් රවීන්ද්‍ර රන්දෙණිය සහ ගෝපි ධර්මරත්න සහභාගි විය.

මිඩ්නයිට් චිල්ඩ්රන් මෙරටදී රූගත කළ චිත්‍රපටයකි. එම චිත්‍රපටයෙහි මෙරට සියලු සම්බන්ධීකරණ කටයුතු කරන ලද්දේ රවීන්ද්‍ර රන්දෙණිය ප්‍රමුඛ ද ෆිල්ම් ටීම් කණ්ඩායම මඟිනි.

උදයකාන්ත ‘ඉතිහාසයට’ එකතු වෙයි

බෞද්ධ ථෙරී ගාථාවන්හි එන පටාචාරා පුවත ඇසුරෙන් එනමින්ම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට උදයකාන්ත වර්ණසූරිය සැරැසෙයි.

මේ දිනවල තිරගතවන සෙනසුරු මාරුවෙන් පසු තිරගත වන රන් කෙටිව 2 චිත්‍රපටය ද අධ්‍යක්ෂණය කළ උදයකාන්ත ඓතිහාසික පුවතක් චිත්‍රපටයට නගන්නේ මුල් වතාවටය.

පටාචාරා පුවත මෙයට පෙර ද විමලනාත් දිසානායක විසින් සිනමාවට නංවා ඇත්තේය. මෙය උදයකාන්තගේ දහනව වැනි චිත්‍රපටයයි.

චන්දන වික්‍රමසිංහගේ ‘කන්‍යා’ සහ සුගතෝ රෝයි චෞද්‍රි ගේ ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය අද

ප්‍රවීණ නර්තන ශිල්පී චන්දන වික්‍රමසිංහ සහ ඉන්දීය සරෝඩ් වාදන ශිල්පී සුගතෝ රෝයි චෞද්‍රි ඉදිරිපත් කරන කන්‍යා නර්තන ප්‍රසංගය හා ශාස්ත්‍රීය සංගීත ප්‍රසංගය අද දින පස්වරු 6.30 ට මියුසියස් විද්‍යාලයීය රඟහලේදී පැවැත්වේ.

නිර්මාණාත්මක නැටුම්, ශාස්ත්‍රීය නැටුම්, සංගීතය ඇතුළත් ප්‍රසංගයක් ලෙස එළිදැක්වෙන මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අයෝමා රාජපක්ෂ මහත්මියයි.

ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල හෙට සිට

තෙදිනක් සිනෙසිටි සිනමා ශාලාවේ ඉතාලි තානාපති කාර්යාලය මෙරට සහ ඉතාලි සිනමා සහයෝගීත්වය අරමුණු කර ගනිමින් පළමුවරට සංවිධානය කරනු ලබන ඉතාලි කෙටි සහ වෘතාන්ත චිත්‍රපට උළෙල මෙම මස 19, 20, 21 යන තෙදින තුළ මරදාන සිනෙසිටි සිනමා ශාලාවේදී පැවැත්වේ.

එයට සමගාමීව චිත්‍රපටකරණය පිළිබඳ වැඩමුළුවක් ද පැවැත්වෙනු ඇත.

උළෙලෙහි තෙදින වැඩසටහන් දිගහැරුම මෙසේය. 19 වැනිදා උදෑසන මයිකල් අන්ජලෝ අන්තෝනිගේ බිලෝව් අප් චිත්‍රපටය තිරගත වේ. සන්ධ්‍යාවේ ඉතාලි ජාතික චිත්‍රපට අධ්‍යක්ෂ පෝලා රැන්ඩිවිඩින් මෙහෙය වන වැඩමුළුව පැවැත්වේ. 20 වැනිදා උදෑසන බූඩි කීර්තිසේනගේ මිල්ලෙ සොයා චිත්‍රපටය සහ එය පිළිබඳ හඳුන්වා දීම.

සවස ඉතාලි ජාතික කෙටි චිත්‍රපට අධ්‍යක්ෂ කුරාටෝ ස්ටෙෆානෝ මාටිනාගේ ඉෆ්ටෝ පැරඩිස්කෝ කෙටි චිත්‍රපටය තිරගත වේ.

21 වැනිදා උදෑසන ඉහත ඉතාලි අධ්‍යක්ෂවරුන් දෙදෙනා මෙහෙයවන වැඩමුළුව. එදින සවස කොළඹ කොටියාඩ් හෝටලයේදී උළෙලෙහි සම්මාන ප්‍රදානය සිදු කෙරේ.

මාරිම්බරී දෙතැනක

විශාරද එඩ්වඩ් ජයකාඩිගේ මාරම්බරී මෙම මස 19 වැනිදා එනම් හෙට කුරුණෑගල රාජකීය ජාත්‍යන්තර පාසලේදී සවස 6.30 ට සහ 20 වැනිදා එනම් අනිද්දා ජාඇල ගුරුගේ නේචර්පාක් ප්‍රසංග ශාලාවේ සවස 2.30 ට සහ 6.30 ට වේදිකා ගතවේ.

මෙවන් තෑග්ගක උතුම් බව

ඇල්පිටියේ උදේනි නෙත්මිණි මෙවර ශිෂ්‍යත්ව විභභාගයට මුහුණ දුන් දැරියකි. ඇය සිතුවටත් වඩා එයට හොඳින් මුහුණ දීමට හැකි විය. උද්දාමයට පත් ඇය විභාගය ගැන නිවැසියන්ට දැන්වීය.

සිදු වූයේ අභාග්‍යයකි. එය අසා ඇගේ පියාට සතුට දරාගත නොහැකි විය. දැඩි කම්පනයට පත් වූ හෙතෙම මෙලොවින් සමු ගත්තේ උදේනි ඇතුළු බොහෝ දෙනෙකුව හඬවමිනි. ඇගේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අසන්නටවත් ඔහු සිටියේ නැත. ශිෂ්‍යත්වයෙන් සමත් වුවහොත් පරිඝණකයක් ලබාදෙන බව උදේනිගේ පියා පෙර දවසක ඇයට පොරොන්දු වී තිබිණ. පියා මෙන්ම එය ද උදේනිට අහිමි වී ගියේය.

මේ පුවත සිරස නිවුස් ෆස්ට් හී විකාශය විය. එය නැරැඹූ දහස් ගණන් වූ ජනතාව අතර සබීතා පෙරේරා සහ ඇගේ සැමියා වූ උපාලි ජයසිංහ සිටියේය. දයාබර හදවත් ඇත්තන් වූ ඔවුන් දෙපොළ උදේනිට පරිඝණකයක් ලබාදීමට තීරණය කළෝය. එපමණක් ද නොව මාසයෙන් මාසයට ඇගේ අධ්‍යාපන වියදමට මුදලක් වෙන් කිරීමට ද ඔවුන් ඉටා ගත්තෝය.

ඇයට පමණක් නොව ලංකාවේ වැඩිම ලකුණු ලැබ ශිෂ්‍යත්වයෙන් සමත් වූ මහනුවර තලාතුඔය අංජලී උපේක්ෂා දියණියට ද එලෙසම ත්‍යාගයක් සබීතා සහ උපාලි පිරිනැමීය.

මේ සියලු පරිත්‍යාගයන් සිදු වූයේ සිරස නිවුස් ෆස්ට් මැදිරියේදීය. මේ ඒ අවස්ථාවන් සේයාරූ ගත වූ අයුරුයි.

දීපිකා ප්‍රියදර්ශනීගේ ඒක පුද්ගල ප්‍රසංගය බංග්ලා දේශයේ

විශාරද දීපිකා ප්‍රියදර්ශනී පීරිස් විදෙස් රටකදී පවත්වනු ලබන පළමු ඒක පුද්ගල ප්‍රසංගය මේ මස 19 වැනිදා සවස බංග්ලා දේශයේ බංග්ලාදේශ් ශිල්ප කලා ඇකඩමියේ පැවැත්වේ.

සංගීත අධ්‍යක්ෂණය ආචාර්ය රෝහණ වීරසිංහගෙනි. සුරේෂ් මාලියැද්ද, කලණි පෙරේරා, ධනංජය සෝමසිරි, මහේන්ද්‍ර පැස්කුවල් සමඟ ජානක බෝගොඩ මේ සඳහා වාදනයෙන් සහය වේ.

මෙම ප්‍රසංගය ශ්‍රී ලාංකේය සේවා වනිතා ඒකකය සහ කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සංවිධානය කරනු ලබයි.

දීපිකා, මාතොටින් එන උතුරු සුළඟේ (සරෝජා) ගීතය ගැයීම වෙනුවෙන් ගුසී සාම ත්‍යාගයෙන් පසුගියදා පිදුම් ලබන ලදී.