වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




 ‘සිරි සදහම් අමා වැසි’ ග්‍රන්ථය 23 දා දොරට වඩී

 ‘සිරි සදහම් අමා වැසි’ ග්‍රන්ථය 23 දා දොරට වඩී

රිදියගම ඉන්ද්‍රාලෝක හිමි ලියූ ‘සිරි සදහම් අමා වැසි’ බෞද්ධ ග්‍රන්ථය මේ මස 23 වැනිදා අඟහරුවාදා පෙරවරු 10.00 ට මරදාන දයාවංශ ජයකොඩි සහ සමාගමයේ පොත් ප්‍රදර්ශනාගාරයේදී දොරට වඩී.

‘සංහිඳ’ වැඩසටහන 21 දා ස්වාධීන රූපවාහිනියේ

‘මාතලන්’ චිත්‍රපටයේ සියලු ගී රචනා කළ ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දුගේ සංගීත දිවිය අළලා සැකසුණු ‘සංහිඳ’ විශේෂ වැඩසටහන මෙම මස 21 වැනිදා රාත්‍රී 10.00 ට ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය වේ.

ආචාර්ය ආරියදාස පීරිස්, ලතා වල්පොල, රංජිත් එදිරිසිංහ, සුනිල් මිහිඳුකුල, තිලක් වැලිකල, ඩබ්ලිව්. කේ. ඒ. ඩබ්ලිව්. ප්‍රනාන්දු යන ශිල්පීන් හා විද්වතුන් සහභාගි වන මෙම වැඩසටහන මෙහෙය වන්නේ ඉන්ද්‍රසිරි සුරවීරය. ‘සංහිඳ’ උදය කුමාර තෙන්නකෝන් ගේ නිෂ්පාදනයකි.

පුංචි තියටර් වසර නවය සපුරයි

බොරැල්ල නාමෙල් - මාලිනී පුංචි තියටර් රඟහලට වසර 09 ක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන ‘නාමෙල් - මාලිනී නාට්‍ය මංගල්‍යය’ මෙම මස 18 වැනිදා සිට 31 වැනිදා දක්වා බොරැල්ල පුංචි තියටර්හිදී පැවැත්වේ.

18 වැනිදා - සුනිල් චන්ද්‍රසිරිගේ ‘ආදරණීය සංවාදයක්’, 19 වැනිදා – දයානන්ද ගුණවර්ධනගේ නරිබෑනා සහ ජසයා ලෙන්චිනා, 20 වැනිදා – ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ධවල භීෂණ’, 21 වැනිදා පසිඳු කලායතනයේ ‘අපේ කමට පුංචි අපෙන්’ නැටුම් සංදර්ශනය, 22 වැනිදා – තරිඳු තාරක අතාවුදගේ ‘මුහුණු තුනක්’ කෙටි නාට්‍ය, 23 වැනිදා - නාමෙල් වීරමුනිගේ ‘මාධ්‍යවේදියකුගේ අසිපත’, 24 වැනිදා - කේ. බී. හේරත්ගේ ‘කළු කුමාරි’, 25 වැනිදා – බුද්ධික දමයන්ත ගේ සිංදු කිරිල්ලී, 26 වැනිදා – ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘ඒකා අධිපති’, 27 වැනිදා – ජී. ඩී. එල්. පෙරේරාගේ ‘රටගිය ඇත්තේ’, 28 වැනිදා – නාමෙල් වීරමුනිගේ ‘නැට්ටුක්කාරී’, 30 වැනිදා – නාමෙල් වීරමුනිගේ ‘දීගෙක ඇවිත්, කන්දොස්කිරියාව’, 31 වැනිදා – නාමෙල් වීරමුනිගේ ‘පණ්ඩිත පිල්ලෙයි, හෙයියන්මාරුව’ යන වේදිකා නාට්‍ය වේදිකා ගතවීමට නියමිතය. -තිලානි

තුමිඳු දොඩන්තැන්නගේ පියා අභාවප්‍රාප්ත වෙයි

රංගන ශිල්පී, කතිකාචාර්ය තුමිඳු දොඩන්තැන්නගේ ආදරණීය පියාණන් වූ ඒ. එස්. එම්. දොඩන්තැන්න මහතා පසුගියදා අභාවප්‍රාප්ත විය.

මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ විශ්‍රාමික අධ්‍යක්ෂවරයෙකු වූ එතුමා සබරගමුවේ ජනකවි නම් පර්යේෂණ ග්‍රන්ථයේ හා සද්විෂද් නැමැති උපදේශ ග්‍රන්ථයේ කතුවරයා ද වේ.

තාරුණ්‍යයේ මාධ්‍ය ඇකඩමියට සිසුන් බඳවා ගැනේ

වේයන්ගොඩ තාරුණ්‍යයේ මාධ්‍ය ඇකඩමිය මඟින් මෙහෙය වන නිවේදනය, ටෙලි නාට්‍ය, වේදිකා නාට්‍ය, නර්ථනය, බෙර වාදනය යන පාඨමාලා සඳහා නවක සිසු සිසුවියන් මේ දිනවල බඳවා ගැනේ.

මේ සඳහා මූලික සම්මුඛ පරීක්ෂණය මේ මස 21 වැනිදා වේයන්ගොඩ ඒ. එස්. එම්. අධ්‍යාපන ආයතනයේදී පැවැත්වේ.

මෙම සියලුම වැඩසටහන් නොමිලයේ පැවැත්වෙන අතර ඒවා මෙහෙයවනු ලබනුයේ රූපවාහිනී ළමා වැඩසටහන් නර්ථන අධ්‍යක්ෂවරයකු වන අමිල චන්ද්‍රසේකරයි.

වසන්තා කිරිවත්තුඩුව මිය යයි

ජනප්‍රිය චිත්‍රපට නළුවකු මෙන්ම අධ්‍යක්ෂවරයකු, නිෂ්පාදකවරයකු ද වන නැසීගිය එල්. එම්. පෙරේරාගේ දයාබර බිරිය වූ රංගන ශිල්පී චතුර පෙරේරා සහ හරිඳු පෙරේරීගේ මෑණියන් වූ වසන්තා කිරිවත්තුඩුව අභාවප්‍රාප්ත විය.

මිය යන විට හැට දෙහැවිරිදි වියෙහි පසු වූ ඇය පස්දරු මවකි. රංගන ශිල්පිණියක ද වූ ඇය හතර වටේ ඇතුළු චිත්‍රපට ගණනාවක රැඟුවාය. ඇයගේ අවසන් කටයුතු පසුගියදා මහරගම ගොඩිගමුව සුසාන භූමිියේදී සිදු විණ.

සොඳුරු සැරිසර - සේද මාවත දිගේ සහෘද සම්භාෂණය අද

ප්‍රවීණ මාධ්‍යවේදී සමන් අතාවුද හෙට්ටි ලියූ තීරු ලිපි මාලාවක් ඇසුරින් සැකසුණු ‘සොඳුරු සැරිසර - සේද මාවත දිගේ’ කෘතිය පිළිබඳ සහෘද සම්භාෂණයක් අද දින පස්වරු 3.30 ට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ‘ඒ’ කමිටු මැදිරියේ දී පැවැත්වේ.

ආචාර්ය ඉත්තෑපානේ ධම්මාලංකාර අනුනායක හිමි, ආචාර්ය හව් වේමින්, අර්වින් වීරක්කොඩි, මහාචාර්ය සරත් විජේසූරිය සහ නන්දා මාලිනී යන විද්වත්හු මෙහිදී අදහස් දක්වති. මේ සහෘද සම්භාෂණයට සහභාගි වීමට ඔබටත් ආරාධනා කර සිටී.

නිරෝෂන්ට ටැපලිලා රාජගුරු පිහිට වෙලා

පසුගිය සතියේ ‘තාරාවෝ ඉගිලෙති’ අකරතැබ්බ ගැන ලිව්වට, මේ සතියෙත් ඒ තාරාවෙකුටම තවත් අකරතැබ්බයක් වෙලා. ඒ අපේ හිතවත් අනුර බණ්ඩාර රාජගුරුට. තාරාවෝ ඉගිලෙති හි වයසක පියාගේ චරිතය රඟන්නේ අපේ රාජගුරු.

‘තාරාවෝ ඉගිලෙති’ පුංචි තියටර් හි වේදිකා ගත වූ මොහොතේ පටන් මහා හයියෙන් හිනාවෙන කාන්තාවක් ප්‍රේක්ෂකාගාරයේ සිටියා. ඇය දැකගන්නට රාජගුරුට මහත් ඕනෑකමක් ඇති වුණා. වේදිකාව පිටුපසට වී සිටි රාජගුරු ඊළඟ අවස්ථාවේදී තමාගේ රංගනය සඳහා වේදිකාවට ගොඩ වුණා.

වේදිකාවේ ලොකු වගකීමක් තිබුණත් අර කොක් හඬලා හිනා වෙන කාන්තාව දැක බලා ගැනීමේ වුවමනාව රාජගුරුගේ හිතට තදින්ම දැනුණා. කොහොම හරි අවස්ථාවක් ලද සැණින් වේදිකාවේ ඉදිරි කොනට පැමිණි රාජගුරු පිටපතේ නැති දෙබසක් කියමින් අර තරුණිය දෙසට අත දිගු කළා. මේ දැකපු තරුණිය තවත් හයියෙන් කොක් හඬලා සිනාසුණා.

ඊළඟ මොහොතේදී රාජගුරු සමඟ වේදිකාවේ සිටියේ නිරෝෂන් විජේසිංහයි. නිරෝෂන් මේ සිද්ධිය හොඳින්ම දුටුව නිසා එළියට පැමිණි සිනහව මැඬගෙන ඊළඟ දෙබස් කියන්නට උත්සාහ කළත් ඔහුට දෙබස් පැටලුණා.

ක්ෂණිකව මේ සිදුවීම වටහා ගත් රාජගුරු ‘මොකද බං තෙපර බාන්නේ . . . කියන දෙයක් තේරෙන්න කියපංකෝ’ කියලා පිටපතේ නැති වුණත් ඒ විදියට කියලා වැටුණු අමාරුවෙන් නිරෝෂන්ව ගොඩ ගත්තා. බොරු නම් එදා තාරාවෝ ඉගිලෙති’ බලපු අයගෙන් අහලා බලන්නකෝ.