වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




සුදත්ත තිලකසිරිගේ නිවසට හොරු පැනලා

සුදත්ත තිලකසිරිගේ නිවසට හොරු පැනලා

සුදත්ත තිලක්සිරි ද කතා කරන්නේ?

සරසවියෙන් අප හිතාදර සුදත්තට දුරකතන ඇමතුමක්. පොඩි කරදරයක් වුණා කියලා දැනගන්නට ලැබුණා. අනේ ඔව්. පොඩි කිව්වට පොඩි එකක්ම නෙවෙයි. සුදත්ත කතාව පටන් ගත්තා.

ඉරිදා රාත්‍රියේ තමයි මේ සිද්ධිය වුණේ. වෙලාව රෑ නවයට විතර ඇති. මුහුණු වහ ගත්තු තුන්දෙනෙක් පැපිලියානේ මගේ නිවසට ආවා. එයාලගෙ අතේ ආයුධත් තිබුණා. මට තර්ජනය කරලා අතේ තිබුණු සේරම දේවල් මංකොල්ල කෑවා.

ඊට අමතරව එවලෙහි නිවසේ සිටි අයගේ අත පැළැඳි දේවල් සේරමත් ඉල්ල ගත්තා. ඒත් නිවසේ අල්මාරි ඇද්දෙත් නැහැ. මගෙන් මුදල් ඉල්ලුවෙත් නැහැ. කොහොම හරි ලක්ෂ දහයක විතර බඩු භාණ්ඩ අපිට අහිමි වුණා.

මට දැනෙන විදිහට ඒ අය ඇත්ත මංකොල්ලකාරයෝ නෙවෙයි. මගේ සතුරන් පිරිසක් කියලයි මට හිතෙන්නේ. මං මේ බොහෝ දේවල් හම්බු කෙරුවෙ කලාවෙන්. ඒ නිසා හරි හම්බු කරපු මේ දේවල් මෙලෙස අහිමිවීම කණගාටුවක්.

අහංකාර ස්ත්‍රී ටෙලියක් වේ

එදා ළමා නිළිය වීණා අදත් චරිතයකට චිත්‍රපට ඇසුරෙන් ටෙලි නාට්‍ය කිහිපයක් පසුගිය කාලයේ බිහිවිය. ගඟ අද්දර, චංචල රේඛා, ගිනි අවි සහ ගිනි කෙළි, එක්ටැම් ගේ, පරසතු මල් (නිර්මාණය වෙමින් පවතින) ඒවා අතර තිබේ.

එහි අලුත්ම පුවත වනුයේ අහංකාර ස්ත්‍රී එලෙස ටෙලි නාට්‍යයක් බවට පත්වන බවය. ඒ ඩෙන්සිල් ජයවීරගේ අධ්‍යක්ෂණයෙනි. ආචාර්ය සහීඩා හෙට්ටිආරච්චි අහංකාර ස්ත්‍රී ටෙලි සිතුවම නිෂ්පාදනය කරයි.

එදා චිත්‍රපටයෙහි මුල් වරට ළමා චරිතයක් රැඟූ වීණා ජයකොඩි මෙදා වසර පනස් අටකට පසු ටෙලි සිතුවමෙහි ද රංගනයේ යෙදීම විශේෂත්වයකි.

ඇය සමඟ ආනන්ද වික්‍රමගේ, ජනක් ප්‍රේමලාල්, නයනා කුමාරි, උදිත් අබේරත්න, ශ්‍රියාණි මහවත්ත, ප්‍රියන්ත මංසිළු, ප්‍රසාද් ගලප්පත්ති, සුරන්දි සිල්වා, රාජසිංහ ලෝලුවාගොඩ, චාමි සේනානායක, නිලංගනී පෙරේරා, ගුණවර්ධන හෙට්ටිආරච්චි, අනෝජා වීරසේකර, නෙත්මි මිෂෙල්, නුවන් කළුආරච්චි, සුගත් ජානක ඇතුළු පිරිස රංගනයේ යෙදෙති.

අධ්‍යක්ෂණය මෙන්ම සංස්කරණය ද ඩෙන්සිල්ගෙනි. විධායක නිෂ්පාදනය සහ මූල්‍ය කළමනාකරණය මෝලි පෙරේරාගෙන්ය.

ගාමිණී කොස්තාගේ අංග රචනයකි. රාජසිංහ ලෝලුවාගොඩ තිර රචනය සකසයි. සහය අධ්‍යක්ෂණයෙන් නිම්ෂාන් වීරක්කොඩි, කලා අධ්‍යක්ෂණයෙන් සුසන්ත කැලුම් ද, කැමරා අධ්‍යක්ෂණයෙන් අමිත් කළුබෝවිල එක්වෙති. ලීලා විතානගේ ගේ රේඛීය නිෂ්පාදනයකි.

සිංහල සිනමා ඉතිහාසයේ විසි හය වැනි චිත්‍රපටය වූ අහංකාර ස්ත්‍රී 1954 වර්ෂයේදී තිරගත විය. එය ඒ. බී. රාජ්ගේ අධ්‍යක්ෂණයකි. එස්. එම්. නායගම් එහි නිෂ්පාදකවරයා විය.ලංකාරෙන් මලක් පිපී සැලෙන්නේ, ලෝකය පෙරළෙයි කාලෙ ගෙවී යයි වැනි අදටත් ජනප්‍රිය ගී ඇතුළත් වූයේ මෙම චිත්‍රපටයටය.

ක්ලැරිස් ද සිල්වා, රවීන්ද්‍ර රූපසේන, රත්නා කුමාරි ද සිල්වා, හියුගෝ ප්‍රනාන්දු, රෝහිණී ජයකොඩි, මාක් සමරනායක ආදී පිරිස මෙහි රංගන දායකත්වය සපයන ලදී. අහංකාර ස්ත්‍රී සඳහා පාදක වූයේ වේලක්කාර මාගල් පරාශක්ති නමැති දමිළ චිත්‍රපටයයි. අහංකාර ස්ත්‍රී ටෙලි සිතුවමෙහි අධ්‍යක්ෂ ඩෙන්සිල් ජයවීර වඩාත් ප්‍රකට සංස්කරණ ශිල්පියකු වශයෙනි. ඔහු දයාබර නිලූගෙන් පටන් ගෙන චිත්‍රපට හැටක පමණ සංස්කරණය කොට තිබේ. ඔහුගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය වනුයේ වස්සානේ සෙනෙහසයි. එය මෙම වසරේදී තිරගත විය.

කොළඹ ගලධාරි හෝටල් පරිශ්‍රයේ පැවති අහංකාර ස්ත්‍රී මුහුරත් උළෙලදා එහි පිරිවර සමූහ ඡායාරූපයකට මුහුණ දුන් අයුරුයි මේ.

චන්දිකගේ ගීත ඇල්බමය චමත්කාර හීන එළි දක්වයි

නවක ගායන ශිල්පී චන්දික විජයරත්නගේ කුලුඳුල් ගීත ඇල්බමය චමත්කාර හීන නමින් එළිදක්වා ඇත.

ගායනයෙන් පමණක් නොව වාදනයෙන්, තනු නිර්මාණයෙන් සහ පද රචනයෙන් දක්ෂතා පෙන් වූ ඔහු කලවාන මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ රත්නපුර සීවලී මධ්‍ය මහ විද්‍යාලයෙන් සිප් සතර හදාරා ඇත.

චන්දික තුරුණු ශක්ති සංගීත තරගාවලියේ තනු නිර්මාණ අංශයේ දෙවැනි තැන දිනා ගත් තැනැත්තාය.

අනූනනවයෙන් නවය ඉරිදා ස්වර්ණවාහිනියේ

වසන්ත මොරගොඩ දිගු කාලයකට පසු අධ්‍යක්ෂණය කරන ඇලපාත පිලිප්, බටුගෙදර හෙවත් අනූනවයෙන් නවය හාස්‍යෝත්පාදක ටෙලි සිතුවම පසුගිය ඉරිදා සිට විකාශය වීම ඇරැඹිණ. සෑම ඉරිදාවකම රාත්‍රී 7 ට ස්වර්ණවාහිනිය ඔස්සේ දිග හැරෙනු ඇත.

ඩබ්ලිව්. ජයසිරි, රිචඩ් මානමුදලි, සමන් ඒකනායක, මැණිකේ අත්තනායක, පියුමි ශානිකා, නිරෝෂා තලගල චරිත මවන මෙහි කලා අධ්‍යක්ෂණය සහන් බෙල්ලන්ගම සහ මෙරිල් සුසන්තගෙනි. ධනුෂ්ක එන්. පෙරේරා සමඟ චතුර එම්. ප්‍රනාන්දු සහය අධ්‍යක්ෂවරුන්ය.

ජයරත්න ගලගෙදරගේ සම්බන්ධීකරණයකි. පරිඝණක කටයුතු සුසන්ත පුෂ්පකුමාර විසිනි. චන්දන ඩිල්ෂාන්ගේ සංස්කරණයකි. මේනකා මොරගොඩ මුල්‍ය කළමනාකාරවරියයි.

ඕල්ටයිම් ලෙජන්ඩ් 21 දා

ක්ලැරන්ස් විජේවර්ධන, මිල්ටන් මල්ලවආරච්චි, එච්. ආර්. ජෝතිපාල, එඩී – රුක්මණී, සී. ටී. ප්‍රනාන්දු, එම්. එස්. ප්‍රනාන්දු, චිත්‍රා සෝමපාල, මොහිදීන් බෙග් සහ වොලී බැස්ටියන් යන ජනප්‍රිය කලාකරුවන් ගැයූ අමරණීය ගීත ඇතුළත් ‘ඕල්ටයිම් ලෙජන්ඩ්’ ගී ප්‍රසංගය මෙම මස 21 වැනිදා සවස මියුසියස් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඔවුන් එදා ගැයූ ගී මෙදා සුනිල් පෙරේරා, ශෙහාන් මිහිරංග, සංඛ දිනෙත්, අමිල පෙරේරා, ප්‍රියන්ත ප්‍රනාන්දු, රොනී ලීච්, කොරීන් අල්මේදා, අයෝමි පෙරේරා, ඉශාක් බෙග්, ශාන්ත ප්‍රනාන්දු ගයනු ඇත.

සංගීතය මෙහෙයවීම මහින්ද බණ්ඩාරගෙනි. ප්‍රසංගය විජය කොරයා මෙහෙයවයි. නර්තන වින්‍යාසය චන්දන වික්‍රමසිංහගෙනි.

ඩස්ට් ටෙලියේ මුහුරත් උළෙල දා

කලා අධ්‍යක්ෂවරයකු ලෙස ක්ෂේත්‍රයේ නමක් දිනා ගත් සුජීව ගුණරත්න ඩස්ට් නම් වූ ටෙලි සිතුවමක් නිර්මාණය කරමින් අධ්‍යක්ෂවරයකු බවට පත් විය. එහි මුහුරත් උළෙල ජයන්ත චන්ද්‍රසිරිගේ ප්‍රධානත්වයෙන් ගලධාරී හෝටල් පරිශ්‍රයේදී පැවැත්විණ.

වසන්ත කරුණාරත්නගේ පිටපතකට අනුව සැකසෙන අමුතුම අන්දමේ කතා සාරයක් රැගත් ඩස්ට්, රොහාන් කුමාරසිංහ නිෂ්පාදනය කරනු ලබයි.

රොෂාන් රවීන්ද්‍ර, අනුරුද්ධිකා පාදුක්කගේ ප්‍රධාන චරිත මවන ඩස්ට් හි ජනක් ප්‍රේමලාල්, ජගත් මනුවර්ණ, කළණ ගුණසේකර, සුමිත් රත්නායක, චලින් මනුරංග, ඩිනක්ෂි ප්‍රියසාද්, ගංගා ජීවනී වැලිවත්ත, රොෂානා ඔන්ඩච්චි, අනූෂා දිසානායක, දීපාල් ගුණරත්න, සීතා කුමාරි, දයා වයමන්, තිලක් ජයකොඩි, වෙලේගෙදර රණසිංහ, මොහොමඩ් අල්රජාස්, නිමල් යටිවැල්ල, මනූෂා පෙරේරා, ප්‍රියන්ත සිරිකුමාර, සරත් දික්කුඹුර, චම්පික ප්‍රියදර්ශන ද සිල්වා, පද්මා මෙන්ඩිස්, ඉනෝකා දයානි රංගන දායකත්වය සපයයි.

චින්තක සෝමකීර්තිගේ කැමරා අධ්‍යක්ෂණයකි. සුරංජිත් බණ්ඩාර යටවල කලා අධ්‍යක්ෂවරයාය. ලසන්ත පෙරේරා රේඛීය නිෂ්පාදනයෙන් එක්වන අතර ප්‍රියන්ත සිරිකුමාර අංග රචනයෙන් සහභාගී වෙති. ශමීර රංගන නාඔටුන්නගේ සහය අධ්‍යක්ෂණයකි. රොනිත් අධිකාරි නිෂ්පාදන කළමනාකරණයෙන් ද, රන්ජන් ප්‍රසන්න නිෂ්පාදන සම්බන්ධීකරණයෙන් ද, ලක්රුවන් ද සේරම් සංස්කරණයෙන් ද, දිමුතු ප්‍රියජනක පෙරේරා ඇඳුම් නිර්මාණයෙන් ද දායක වෙති.

ගී පද රචනා කැළුම් ශ්‍රීමාල්ගෙනි.

දර්ශන රුවන් බණ්ඩාර සංගීත අධ්‍යක්ෂවරයා වේ.