වර්ෂ 2012 ක්වූ ඔක්තෝම්බර් 18 වැනිදා බ්‍රහස්පතින්දා




'සෙනසුරු මාරුව'ත් රැගෙන ශ්‍රීනාත් මාරු වෙයි

කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේ පිටවීමේ පර්යන්තය ළඟට අමුත්තෙක් ඇවිත් සිටියා. අතින් කටින් බඩුමලු උස්සාගන සිටි අමුත්තා වටේට වැඩි වේලාවක් යන්නට පෙර සෙනඟ පිරෙන්නට ගත්තා.

ඒ අමුත්තා වෙන කවුරුත් නෙමේ, දිගු කාලයක් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර පදිංචි වෙලා සිටි ජනප්‍රිය නළු ශ්‍රීනාත් මද්දුමගේ.

හදිසිියේ මවුබිමට ශ්‍රීනාත් පැමිණියේ අති විශේෂ කටයුත්තකටලු. ඒ උදයකාන්තගේ ‘සෙනසුරු මාරුව’ චිත්‍රපටයේ මුල් පිටපත රැගෙන.

ශ්‍රීනාත් දුටු ශ්‍රීනාත්ගේ රසිකයන් දිගු කාලයකින් දුටුව තම රංගන හිතවතා වටකර ගත්තේ කුතුහලයත් සමඟින්. රසිකයන්ගෙන් බේරෙන්නට ශ්‍රීනාත් කොච්චර උත්සාහ කළත් වැඩේ නම් හරි ගියේ නැහැ.

මේ කරදරේ ‘සෙනසුරු මාරුව’ නිසා ද කියලාත් ශ්‍රීනාත්ටම හිතුණාලු.

අතින් කටින් එල්ලගෙන ඉන්නේ මොනවද කියලා රසිකයන් ඇසූ විට ශ්‍රීනාත් පිළිතුරු දුන්නේ ‘සෙනසුරු මාරුව’ කියලලු.

කොහොම හරි ශ්‍රීනාත් ඇනවුම් කළ වාහනය ශ්‍රීනාත් ළඟට ආවට පසු ශ්‍රීනාත්ට හිතුණේ ඇත්තටම දැන් තමයි ‘සෙනසුරු මාරු’ වුණේ කියලාලු.

හැබැයි තතු දන්න හැමෝම කියන්නේ ශ්‍රීනාත් කටුනායක ඉඳන් ‘සෙනසුරු මාරුව’ අරන් කෙළින්ම මාරු වුණේ උදයකාන්තගේ ගෙදරට කියලයි.

ඒ උදය ඕස්ට්‍රේලියාවේ ‘සෙනසුරු මාරුව’ පෙන්නපු මුල් පිටපත මෙරටට තිරගත කිරීමට අරන් ඒමේ වගකීම ශ්‍රීනාත් ස්වේච්ඡාවෙන්ම භාර ගත් නිසා.


පුංචි දුලාජ් හමුවෙමු

‘රංගනයටම උපන් හපන්කම් ඇති දරුවෙක්’ දුලාජ් පුතාගේ හපන්කම් දැක්ක බොහොම දෙනෙක් කිව්වා. ඒ කිව්ව කාරණය හැබෑ කරමින් දුලාජ් චාමර හසලංකට මෙවර රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේදී හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා.

ඒ ‘මමයි මමයි හරි යාළුයි’ කියන වේදිකා නාට්‍යයේ විහඟගේ සිත ලෙස රඟපාමින් කළ රංගනයටයි. ඒ විතරක් නෙමෙයි ඒ උළෙලේ විවෘත අංශයේ ඉංග්‍රීසි නාට්‍ය අංශයෙන් ඉදිරිපත් කළ ‘ලේසි වන් පීල්ඩ්’ කියන වේදිකා නාට්‍යයේ රඟපෑ පොතේ ගුරුගේ චරිතය සඳහාත් ඔහුටම හොඳම සහාය නළුවාට හිමි සම්මානය හිමි වුණා. රංගනයට අත්පොත් තබන්න ඉන්නා දුලාජ්ට මේ ලැබුණු සම්මාන මහ මෙරක් තරම්.

‘මගේ දක්ෂතා දැක්ක බොහොම දෙනෙක් මට සම්මානයක් ලැබෙන බව කිව්වා. සම්මාන දෙන වෙලාවේ මගේ හිතේ පුංචි තිගැස්මක් තිබුණා. සිතේ ඇතිවුණු සතුටට මම අම්මට තුරුලු වුණා. හැමෝගෙම ඔල්වරසන් හඬ මැද්දේ වේදිකාවට නැග්ග මගේ සිතට දැනුණේ පුදුම සතුටක්.’ දුලාජ්ගේ ජයග්‍රහණයෙන් ඔහු වගේම සතුටට පත්වෙන තවත් අයෙක් ඉන්නවා. ඒ ඔහු අධ්‍යාපනය ලබන හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨය පාසලයි.

‘මගේ දක්ෂතා මුලින්ම හඳුනා ගත්තේ පාසලයි. එතනදි පුබුදු සුභාෂණ කුරුගල ගුරුතුමාට විශේෂ ස්තුතියක් හිමි විය යුතුය. මගේ දක්ෂතා හඳුනා ගත්ත පුබුදු සර් ඔහු අධ්‍යක්ෂණය කළ ‘කම්මැලියා පැනලා ගියා’ පාසල් නාට්‍යයට තමයි මාව මුලින්ම තෝරා ගත්තේ. පාසල් නාට්‍ය උළෙලේදී හොඳම පාසල් නාට්‍යය විදියට අපට සම්මානයක් ලැබුණා. ඊළඟට සමස්ත ලංකා ගණිත නාට්‍ය තරගයට ඉදිරිපත් කළ ‘පුංචි එකා’ නාට්‍යයටත් ප්‍රථම ස්ථානය හිමි වුණා. මේ අතරෙදි 2011 වසරේ තිබුණු ජාතික ළමා නාට්‍ය උළෙලට පුබුදු සර් ‘චූටි බබා ලොකු ළමයෙක්’ නාට්‍යය ඉදිරිපත් කළා.

ඒ නාට්‍යයේ මම රඟපෑවේ ප්‍රධාන චරිතයයි. ඒ චරිතයට මට හොඳම නළුවාට හිමි සම්මානය ලැබුණා. මගේ ජීවිතයේදී මට මුලින්ම ලැබුණු මේ සම්මානය රංගනයට නැඹුරු කරන්න හේතුවක් වුණා. අදත් මගේ පාසල් විෂයයන් අතරින් මා වඩාත් කැමැති නාට්‍ය හා රංග කලා විෂයයට වගේම සෞඛයය විෂ්‍යයටයි. මගේ අනාගත බලාපොරොත්තුව හොඳින් ඉගෙන ගෙන දක්ෂ රංගන ශිල්පියෙක් වන්නයි.

හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යා පීඨයේ 9 ශ්‍රේණියේ අකුරු කරනා දුලාජ් චාමර ඉගෙන ගන්නත් දක්ෂයා. අධ්‍යාපන කටයුතු අතරේ සවස් යාමය වෙන් කරන්නේ නාට්‍ය පුහුණුවීම් කටයුතුª වෙනුවෙන්. නැත්නම් සිරස නාලිකාවේ උදෑසන විකාශය වන පුංචි ළමයින් අතර ප්‍රසිද්ධ කාටුන් වැඩ සටහනක් වන ‘චණ්ඩි’ කාටුන් වැඩ සටහනින් චණ්ඩිට හඬ කවන්නයි.

‘පාසලේදී චණ්ඩිට ලැබෙන ප්‍රතිචාර නම් ගොඩක් හොඳයි. ඒ වගේම මේ වෙන කොට ඒකාංගික ටෙලි නාට්‍ය කිහිපයකටම මා රංගනයෙන් සහභාගි වුණා. බෞද්ධ නාලිකාවේ පෝයට විකාශය වුණු ‘ආශාව’ ඒකාංගික ටෙලි නාට්‍යයේ සුනෙත් කියන ළමයාගේ චරිතය මම බොහොම ආශාවෙන් රඟපෑවා. ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘අඳුර බිඳි සඳ’ කියන ඒකාංගික ටෙලි නාට්‍යයේ හාමුදුරුවන්ගේ චරිතයටත් මම ගොඩක් ආදරෙයි.’

දුලාජ්ගේ ජීවිතයේ ලබා ගන්නා ජයග්‍රහණයන් පසු පස්සේ ඉන්න සෙවනැල්ල ඔහුගේ අම්මා සුභානි දීපිකා. පිළියන්දල රජයේ රෝහලේ සෞඛ්‍ය සහායිකාවක් විදියට කටයුතු කරන ඈ සිය පුතුගේ දක්ෂතාවය හඳුනා ගත්ත දයාබර මවක්.

‘මම නිතරම උත්සාහ කරන්නේ පාසල් කටයුතුත්, නාට්‍යය කටයුතුත් සම බරව කරගෙන යන්නයි. මේ දක්වා රංගන කටයුතු දියුණු කර ගන්න උදව් කළ හැමෝටම මම ස්තුති කරනවා. අම්මා වගේම තාත්තා නිමල් ප්‍රේමසිරිත්, අයියා විශ්ව ප්‍රමෝද් ආදරයෙන් මතක් කරන්න ඕනෑ.’

දුලාජ් චාමරගේ සතුට ඉහවහා ගිහින්. ඔහු අම්මාට තුරුලු වුණා. ඒ ඇයත් සමඟ ඒ සතුට බෙදා හදා ගන්න වගේ.


නිල් කඳු යාය සමඟ එන සුමින්ද

සුමින්ද ශ්‍රීමාල් ගායකයකු මෙන්ම වාදකයකු ලෙසින් ද සංගීත ක්ෂේත්‍රයේ නමක් සනිටුහන් කරන්නට උත්සාහ ගන්නා යොවුන් තරුණයෙකි.

ඔහු මේ වන විට නිල් කඳු යාය නමින් සංයුක්ත තැටියක් ද එළි දක්වා ඇත. මේ ඔහු සමඟ කළ පිළිසඳරකි.

මගේ ගම මාතර. වර්තමානයෙහි පදිංචිය නම් තලවතුගොඩ. කොළඹ ඇවිත් කිහිප දෙනෙකු ළඟ සංගීතය හැදෑරුවා. ඒත් මම අපේක්ෂා කළ දැනුම ලැබුණේ නැහැ. එහෙත් මට අහඹු ලෙස කේමදාස මාස්ටර්ව මුණ ගැසුණා. ඔහු ගාව වසර ගණනානවක් අධ්‍යාපනය ලැබුවා.

මගේම ස්ව උත්සාහයෙන් ගිටාර්, කීබෝඩ්, ඩ්‍රම්ස්, බටනලා, වයලීන් ආදී වාද්‍ය උපකරණ වැයීමට පුරුදු වුණා.

මං මෑතකදියි මගේ කුලුඳුල් සංයුක්ත තැටිය වූ නිල් කඳුයාය එළි දැක් වූයේ. එහි පද රචනයට මම සමඟ නිශාදි මන්ත්‍රිගේ සහ රෝහිනී නිශංකා එකතු වුණා. මං තමයි එහි සියලුම ගී තනු නිර්මාණය කළේ ජයලත් වටවලගේ සංගීතයට. ඒ වගේම රංගන සංගීත් නාද ශික්ෂණය කළා.

මං දැනට බත්තරමුල්ලේ මගේම ආයතනයක සංගීතය උගන්වනවා. මගේ මේ ගමනට උදවු කළ දළුපොත උපාලි හිමි, බියුලා පුෂ්පමාලි, ලසන්ත ජයසිංහ, ප්‍රමෝද් සේනානායක, ස්වර්ණ මධුරානි, සංජය යන පිරිසට බෙහෙවින් තුති පුදනවා.

මේ සුමින්දගේ දුරකතන අංකය 0774749674.